දරුවන් යොදාගෙන සිඟාකෑම පිළිබඳව අපේ රටේ ප්රධාන අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග්රහයේ 288 (1) වගන්තිය මෙසේ ප්රකාශ කර ඇත.
දිවයින පුරා ප්රධාන හෝ උප නගර වෙත පිවිසෙන ඕනෑම අයෙකුට දක්නට ලැබෙන සාමාන්ය දසුනක් බවට පත්ව ඇත්තේ සිඟමන් යදින කාන්තාවෝය. දැන් දැන් බිලිඳන් වඩා ගනිමින් හෝ කිරිදෙමින් හෝ ඇකයේ දරුවන් දෙදෙනකු හෝ හොවා නිදිකරමින් තමන්ගේ දුක් ගැනවිල්ල කියා අතපාන කාන්තාවෝ නැති තැනක් නැති සේය.
මහනුවර නගරයේ මේ වසරේ දක්නට ලැබුණ විශේෂිතම දර්ශන අතරට බිලිඳන් වඩා ගනිමින් සිඟමන් යැදීම ප්රමුඛ වූයෙන් ඒ පිළිබඳ තොරතුරු සෙවීම සඳහා උත්සාහ කළෙමි. ඊට දායකත්වය ලබා දීමට මහනුවර ජාතික රෝහලේ වෛද්ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ සහ මහනුවර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහත්වරු ඉදිරිපත් වූහ. ඊට හේතු වූයේ මෙම කාන්තාවන් අතරින් බහුතරය සවස් යාමය වන විට හෙරොයින් භාවිත කරන බවටත් අනතුරුව බිලිඳන්ට කිරිපොවන බවටත් ලද තොරතුරු සහ ඒවා සනාථ කර ගැනීමට ඇති වුවමනාවය.
මහනුවර දළඳා වීදිය දවස පුරා අධික ජනගහනයක් රැඳෙන බැවින්, සිඟමනට සුදුසුම පරිසරය එය විය. මේ කාන්තාවෝ වැඩි පිරිසක් එහි රැුඳෙනු ලක්නා ලැබිණි. එක් කාන්තාවක් බිලිඳකු රෙදි කඩකින් ඔතා ගෙන දිනපතා වීදිපුරා සරයි. මුහුණ පමණක් නිරාවරණය කොට ගෙන සිටි බිලිඳාට තදින් නින්ද ගොස් තිබූ අතර කාන්තාවගේ අතේ තරමක් ලොකු සුදු සහ නිල් පැහැති ගමන් මල්ලක් විය. රෝහලකින් නිකුත් කරන ලද බවට පෙනී යන කුඩා රෝග නිශ්චය කාඞ් පතක් ද ඇය අත විය. එම කාඞ්පත සහ දරුවා පෙන්වමින් ඇය සිඟමනේ යෙදුනේ දරුවාට බෙහෙත් අරන් දීමට මුදල් එකතු කරන බවක් පෙන්වමිනි. පැයකට ආසන්න පමණ කාලය තුළ ඇය රුපියල් පන්දාහකට අධික මුදලක් සිඟමන් ලෙස උපයා ගන්නා ආකාරය මාහට දැකගන්නට ලැබුණි. ටික වේලාවකින් එම ස්ථානයෙන් ඉවත් වූ කාන්තාව දරුවාද සමග අසල නවතා තිබූ වෛද්ය පාලිත මහතාගේ වාහනය වෙත පැමිණියාය. ‘‘මහත්තයා දරුවාට බෙහෙතක් ගන්න කීයක් හරි දෙන්න” බාගෙට ඇර තිබූ වාහනයේ වීදුරුව අසලට පැමිණ ඇය ඉල්ලා සිටියාය.
‘‘මොකක්ද දරුවාට ඕනේ බෙහෙත?” වෛද්ය පාලිත මහතා ප්රශ්න කළ අතර එම ප්රශ්නයෙන් කලබල වූ ඇය ‘‘මල්ටි විටමින් එකක්’’ යැයි ප්රකාශ කළේ ඇසූ ප්රශ්නයෙන් විපිළිසර වීම හේතුවෙනි. මල්ටි විටමින් යනු අත්යවශ්ය ඖෂධයක් නොවන බවත් දරුවා පෙන්වමින් මෙලෙස සිඟමනේ යෙදීම නීතිවිරෝධී බවත් වෛද්යවරයා ඇයට පවසා සිටියේය.
තමා සිඟමනේ යෙදෙන්නෙ පොලිසියේ දැනුවත් වීම මත බවත් ඕනෙම කෙනකුට කියලා පුළුවන් දෙයක් කරන ලෙසත් ඇය උස් හඬින් කතා කරමින් වෛද්යවරයා හට අභියෝග කර සිටියාය.
ඇය දුටු සෑම මොහොතකම දරුවා තද නින්දේ පසුවෙමින් සිටියාය. කුඩා දරුවන් මේ විදිහට අසීමිත ලෙස නිදාගන්න එක අස්වාභාවික තත්ත්වයකි. සුළු මොහොතකින් ඇය දරුවා ද රැගෙන මා සිටි ස්ථානයෙන් අතුරුදන්ව සිටියාය. පසුදින උදෑසන මා නගරය පුරාම ඇය සෙවූ නමුත් ඇය එදින නගරයේ නොසිටියාය. නමුත් නගරයේ නොයෙකුත් ස්ථානවල විවිධ වයස්වල ළදරුවන් යොදාගනිමින් කාන්තාවන් සිඟමනේ යෙදෙනු දක්නට ලැබුණි. ඒ බොහෝ දරුවන් ද ගැඹුරු නින්දේ පසුවන බව දක්නට ලැබුණි.
මේ පිළිබඳව වෛද්ය පාලිත බණ්ඩාර මහතා විසින් එදිනම මහනුවර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය වෙත ගොස් එහි ස්ථානාධිපති දිලේකා හමුකොටුව මහත්මිය වෙත සියල්ල පවසා පැමිණිල්ලක් කරන ලදී. ඒ අනුව ක්රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ කාන්තාව සහ තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. උසාවි නියෝග මත දරුවන් පරිවාසයටත් ළමා නිවාස වෙතත් භාර දෙන ලදී. මේ වන විට කාන්තාවන් පුනරුත්තාපනය සඳහා යොමු කොට තිබේ.
පෙර කී කාන්තාව තදින් මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇති තැනැත්තියකි. දිනකට රුපියල් 7000 ක ට අධික මුදලක් ඇය මත්ද්රව්ය සඳහා වියදම් කරන බව පදික වේදිකාවේ වෙළෙඳාම් කරන පිරිස විසින් පවසන ලදී. තවත් තොරතුරකින් කියවුණේ දරුවන් දෙදෙනකු වරින්වර ඇය විසින් මෙලෙස රැගෙනවිත් සිඟමනේ යෙදෙන බවයි. ඇයගේ වැඩිමහල් දරුවා මේ වන විටත් පරිවාසගත කර ඇති බවය.
මව්කිරි මගින් මත්ද්රව්ය දරුවාගේ සිරුරට ඇතුළු විය හැකියි..
දරුවාගේ මව මත්ද්රව්ය භාවිතා කරන්නේ නම් දරුවාට මව්කිරි මගින් එම මත්ද්රව්ය ශරීරගත වීම නිසා දරුවා දැඩි ලෙස නිද්රාශීලී විය හැකියි. එසේ නොවේ නම් දරුවාට යම් කිසි රසායන ද්රව්යයක් ලබාදීම නිසා මේ අන්දමට තද නින්දට වැටෙනු විය හැකියි. මේ නිසා මම පොලිසියේ පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේ මෙම කාන්තාවන් සහ දරුවන් පොලිස් භාරයට ගෙන වෛද්ය පරීක්ෂණයකට යොමු කරන ලෙසත්, එම කාන්තාවන් මත්ද්රව්යවලට ඇබ්බැහි වී තිබේද? දරුවන්ට මත් වීම සඳහා යම් රසායනිකයක් ලබාදී තිබේද? සහ එම දරුවන්ගේ සැබෑ මව්වරුන් වන්නේ එම කාන්තාවන් ද? යන්න සඳහා අධිකරණ වෛද්ය වාර්තාවක් කැඳවන ලෙසත්, දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා එම දරුවන් ළමා නිවාසගත කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා ලෙසත්ය.
ළදරුවන් මෙසේ සිඟමන සඳහා යොදා ගැනීම නිසා විශේෂයෙන්ම ශ්රී දළඳා මාලිගාව අබියස බැතිමතුන්ගේ අනුකම්පාව සහ පින් ලබා ගැනීමේ අභිලාෂයෙන් අයුතු ප්රයෝජන ලබා ගනිමින් මෙම කාන්තාවන් දිනපතා විශාල මුදලක් උපයා ගන්නා බව නොරහසක්. මහනුවර මෙන්ම රටේ ආගමික ස්ථාන බහුල ප්රදේශ විශාල ප්රමාණයක් අගනුවර ආදී ජනතාව බහුලව ගැවසෙන ප්රදේශවලත් මෙලෙස දරුවන් යොදාගෙන සිඟමන් ඉල්ලීම බෙහෙවින් සිදුවන බව දක්නට ලැබෙනවා. මින් සමහර දරුවන් දෛනිකව සුළු මුදලක් ගෙවා නියම දෙමාපියන්ගෙන් රැගෙනවිත් මෙලෙස සිඟමනේ යෙදෙන බව තතු දත් බොහෝ දෙනා පවසති. දරුවන්ට මත් වීමට රසායන ද්රව්යයන් ලබාදී, මෙලෙස සිඟමනේ යොදවන අයට මුදල් ලබා දීමෙන් සිදුවන්නේ තවදුරටත් එම දරුවා අපයෝජනයට පත් වීම පමණකි. දරුවා පෙන්වා විශාල වශයෙන් මුදල් එකතු කරන මෙම කාන්තාවන් එම මුදල් යොදවන්නේ මත්ද්රව්ය වැනි අපචාරයන් සඳහා බව පැහැදිලි සත්යයකි.
සිඟාකෑම නීතියෙන් තහනම්
සිඟාකෑම අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති ‘‘අපරාධයකි’’. මේ හා සම්බන්ධ පැරණිම පනත් අතර 1841 අංක 4 දරන අයාල ආඥා පනතේ 3 (අ) වගන්තියට අනුව වැඩ කිරීමෙන් හෝ වෙනත් ක්රම මගින් තම නඩත්තුව සලසාගත හැකි එහෙත් සිය කැමැත්තෙන්ම එසේ කිරීම ප්රතික්ෂේප කරන හෝ එසේ කිරීම නොසලකා හරින්නා වූත් ප්රසිද්ධ ස්ථානයක වීදියක මහා මාර්ගයක අංගනයක හෝ පටු මඟක සිඟමන් ඉල්ලීම හෝ දන් පිණිස රැඳී සිටින්නා වූත් එසේ කිරීම පිණිස තම පවුලේ කෙනකු යොදවන්නා වූ මෙහෙය වන්නා වූ හෝ පොළඹවන්නා වූත් සෑම කෙනෙක්ම සහ එම ආඥා පනතේ 4 (ඈ) වගන්තියට අනුව එහි මෙහි ඇවිදිමින් හෝ කිසියම් ප්රසිද්ධ ස්ථානයක වීදියක මහාමාර්ගයක අංගනයක හෝ ගමන් මගක රැඳී සිටිමින් තුවාල විකෘතිභාවය ලාදුරු හෝ වෙනත් පිළිකුල් සහගත රෝග ප්රදර්ශනය කරමින් සිඟමන් ලබාගන්නා සෑම පුද්ගලයෙක්ම වරදක් කරන බව දක්වා ඇත. එසේම එම ආඥා පනතේ 4 (ඉ) වගන්තියේ දක්වා ඇත්තේ කවර හෝ ආකාරයක අසත්ය හෝ වංචාකාරී රැවටිලි මගින් තමා සඳහා හෝ අන්යයන් සඳහා පුණ්යාධාර ලබා ගැනීමට තැත් කරන්නාවූ හෝ දානමාන රැස්කරමින් යන්නා වූ සෑම පුද්ගලයෙක්ම වරදක් කරන අතර පොලිස් නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව මොවුන් අත්අඩංගුවට ගත හැකි බවටත් දඬුවම් වශයෙන් බන්ධනාගාරගත කිරීම සහ දඩ මුදල් අයකර ගැනීම් සිදු කළ හැකි බවත් දන්වා ඇත.
මේ අනුව පොදුවේ සියලූ ආකාරයේ සිඟාකෑම් මේ අනුව අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති බව පැහැදිලියි.
දරුවන් යොදාගෙන සිඟාකෑම පිළිබඳව අපේ රටේ ප්රධාන අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග්රහයේ 288 (1) වගන්තිය මෙසේ ප්රකාශ කර ඇත. ‘‘සිඟාකෑම හෝ දන් ලැබීමේ හෝ දන් දීමට පෙළඹ වීමේ කාර්ය සඳහා (යම් සින්දු කීමේ, ක්රීඩා කිරීමේ, රංගනයේ යෙදීමේ, යම් දෙයක් විකිණීමට ඉදිරිපත් කිරීමේ හෝ වෙනත් ආකාරයක ව්යාපාරයක් ඇතත් නැතත්) යම් විදියක ස්ථානයක හෝ තැනක සිටීමට ළමයෙකුට සලස්වන හෝ කුට්ටනය කරන කවර හෝ තැනැත්තකු වරදක් කරනු ලැබූ විට අවුරුදු පහකට නොවැඩි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ද දඬුවම් කරනු ලැබිය යුතු අතර දඩයකට ද යටත් විය යුතුය” එසේම අපරාධ නඩු විධාන සංග්රහයේ 287 වගන්තියෙන් දක්වා ඇත්තේ එවන් වරදක් කරන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්තඩංගුවට ගත හැකි අතර එම වරද ඇප ලබා දිය නොහැකි වරදක් ලෙස ද සමතයකට පත්කළ නොහැකි වරදක් ලෙස ද දක්වා ඇත.
1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 40 වගන්තියේ දක්වා ඇත්තේ ළමා අපචාර යන්නට දණ්ඩ නීති සංග්රහයේ 288 වගන්තියේ දක්වා ඇති ළමයින් සිඟමනේ යෙදවීමද අයත් වන බවයි. එසේම 1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන (සංශෝධන) පනතේ 2 (1) හි ළමා අපචාර යන්න ද ඒ අයුරින්ම අර්ථ දක්වා ඇත.
මීට අමතරව 1939 අංක 48 දරන ළමා හා යෞවන ආඥා පනතේ 74 වගන්තියට අනුව දෙමාපියන් නොවන පුද්ගලයන් විසින් දරුවන් සිඟමනේ යෙදවීම තහනම් කොට ඇත. ඒ සඳහා වසරක කාලයක් දක්වා දෙයාකාරයකින් එක් ආකාරයක සිර දඬුවම් සහ දඩ නියම කොට ඇත.
මීට අමතරව දරුවාගේ භාරකාරත්වය කරා සිටිමින් දරුවාගේ සෞඛ්යයට හානිකර වන ලෙස යම් රසායන ද්රව්යයක් දරුවාට ශරීරගත කොට තිබේ නම් දණ්ඩ නීති සංග්රහයේ 308 (අ) වගන්තිය අනුව දරුවා කෲරත්වයට පත්කිරීම සම්බන්ධව වසර 2 සිට 10 දක්වා කාලයක් බරපතළ වැඩ සහිතව හෝ රහිතව සිර දඬුවම් සහ දඩයක් නියම කළ හැක.
මේ අයුරින් සලකා බලන විට ළමුන් සිඟමනේ යෙදවීමෙන් ආරක්ෂා කර ගැනීමට අප රටේ තදබල නීති පද්ධතියක් ඇති බව පෙනීයයි. එපමණක්ද නොව සියලූ ආකාරයේ සිඟමන් යැදීම තහනම් කොට ඇත.
සිඟාකෑම ඉහළ ආදායමක් ලබන ජාවාරමකි
බෞද්ධ සංස්කෘතියක් ඇති අපේ රටේ බොහෝ දෙනා පින් තකා මෙම සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් ආධාර ලබාදෙන බව නොරහසකි. නමුත් සත්ය වශයෙන්ම මෙම සිඟමනේ යෙදෙන පුද්ගලයන් ලංකාවේ ඉහළම ආදායම් ලබන පුද්ගලයන් බවත් ඔවුන් සත්ය වශයෙන්ම සිඟමනේ ‘‘ජාවාරමක” සාමාජිකයන් බවත් ඔවුන් ගැන සොයා බැලූවහොත් දක්නට ලැබෙනවා. අත් පා නැති බොහෝ සිඟන්නන් දළඳා මාලිගාව අබියසට ? පහන් වන විටම පැමිණ ස්ථානගත වන්නේ එර්දි බලයෙන් නොව ජාවාරමේ හිමිකරුවන්ගේ වාහන වලිනි. මහනුවර පමණක් නොව ලංකාවේ සුන්දර නගර බොහොමයක් යාචක පුරවරයන් බවට පත්ව ඇත්තේ මෙම ජාවාරම හේතුවෙනි. මෙම කිසිදු හිඟන්නකු වැඩිහිටි නිවාසයකට හෝ රැකවරණ මධ්යස්ථානයකට යෑම එකහෙළා ප්රතික්ෂේප කරනු ලබන්නේ මෙම ජාවාරමෙන් ඔවුන්ට ඉහළ මුදලක් උපයාගත හැකි බැවිනි. එම පුද්ගලයන්ට පින් තකා මුදල් ලබා දෙන ඔබ සිදු කරන්නේ එම ජාවාරමට තව තවත් සහයෝගය දීමකි. පින් කර ගැනීමට නම් සැබැවින්ම උපකාර අවශ්ය බොහෝ අසරණ දරුවන්, පවුල් අපේ රටේ බොහෝ සිටිති.
රාජ්ය නිලධාරීන්ගේ වගකීම
දැයේ දරුවන්ගේ සුබසාධනය සඳහා වැටුප් ලබා ගන්නා රාජ්ය නිලධාරීන් බොහෝ සිටිති. ප්රදේශයක් ගත් කල ප්රාදේශීය ලේකම්, ග්රාම නිලධාරී, ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරි, පරිවාස නිලධාරි, පොලිස් නිලධාරීන්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් සහ කම්කරු නිලධාරීන් මෙම ගණයට අයත් වනවා. නමුත් සිඟමනේ යෙදෙන දරුවන්, පාසල් නොයවන දරුවන්, රැකියා වලට යොදා ගන්නා දරුවන් විශාල ප්රමාණයක් නිරතුරුව අපට දක්නට ලැබෙනවා. උක්ත සඳහන් නිලධාරීන් උනන්දුවෙන් සහ කැපවීමෙන් සිය රාජකාරි ඉටු කරන්නේ නම් දරුවන් මෙවන් තත්ත්වයකට පත් නොවන බවට නම් සැකයක් නොමැත.
වගකිවයුතු පුරවැසි ඔබගේ වගකීම
නිලධාරීන් උකටලීව කටයුතු කළ ද වගකිවයුතු පුරවැසියන් ලෙස ඔබ නිහඬ විය යුතු නැත. ඔබ අද නිහඬව සිටිය හොත් මෙම වීදි දරුවන් අනාගතයේ විවිධ අපචාරවලට ගොදුරුවී සමාජ විරෝධී පුද්ගලයන් බවට පත් වී පාතාල අපරාධකරුවන් මත්ද්රව්ය ජාවාරම්කරුවන් සොරුන් මංකොල්ලකරුවන් ගණිකාවන් විය හැක. එවිට අනාගතයේ අපේ දරුවන්ට ද ජීවත්වන්නට සිදුවන්නේ එම සමාජය තුළමය. එබැවින් මෙම අසරණ දරුවන් එවන් තත්ත්වයකට පත් කිරීමට ඉඩ නොදී, නිලධාරීන් ලවා නීතිය ක්රියාත්මක කරවා ගැනීම ඔබ අප සැමගේ වගකීමකි.
සමන්තී වීරසේකර
No comments:
Post a Comment