Friday, 28 January 2022


පක්ෂීන් ඇතුළු  විවිධ වන සතුන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක්   අධිවෙිගි මාර්ග මතදී වාහනවල හැපීමෙන්  සහ වාහන හේතුවෙන් ඇතිවූ  පරිසර දුෂණ බලපෑම්  හේතුවෙන්  පසුගිය කාලය පුරා මරුමුවට පත්ව ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවූ බව පරිසර සංවිධාන පවසයි.


මොනරුන් පමණක් දහසකට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ග මතදී වාහනවල හැපීමෙන් සහ එම  වාහන මගින් ඇති කළ  පරිසර දූෂණ බලපෑම් නිසා  මරුමුවට  පත්ව ඇතැයි  පරිසර සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.


මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ  අධිවේගී මාර්ගවලදී යම් යම් වන සතුන්ට ගැටලු මතුවන බව තමා  පිළිගන්නා බවයි.


පක්ෂීන් ඇතුළු විවිධ වන සතුන් ප්‍රිය කරන ගස් කොළන් අධිවේගී මාර්ග දෙපස  වැවීම නොකරන ලෙසට උපදෙස්දී ඇත්තේ   මේ තත්වය සැලකිල්ලට ගෙන බව පවසන  අදහස් ජනරාල්වරයා අධිවේගී මාර්ග ආරම්භ කළ කාලයට සාපේක්ෂව වන සතුන්ට වන හානි මේ වනවිට බෙහෙවින් අඩුවී ඇති බවයි.


අධිවේගී මාර්ග බලධාරීන්  වන සතුන් ආකර්ෂණය වන  ගස් කොළන් මාර්ග දෙපස වැවීමෙන් වැළකී සිටීමට දැනටමත් පියවර ගෙන ඇතැයිද  විශේෂයෙන් මොනරුන් සුලබව  සිටින ප්‍රදේශවල ඒ සම්බන්ධයෙන්  දැනුම්දීමට අධිවේගී මාර්ගවල  දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කැර ඇතැයිද   ඔහු වැඩිදුරටත් කීවේය


සමහර  වන සතුන් අධිවේගී මාර්ග මතදී ඇතිවන බලපෑම හේතුවෙන්  මරුමුවට පත්ව  සිටියදී සොයා ගැනුණේ  එම මාර්ගවලට  පිටත විවිධ  ස්ථානවල වැටී සිටියදී බව පරිසරවේදීහු ප්‍රකාශ කරති.

2021 වසරේ දී විදෙස් සේවා නියුක්තිකයින්ගෙන් ලැබීම් 22.7% කින් පහළට


2021 දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් විය. 2020 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 813 ක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී තිබුණි.


ඒ අනුව වාර්ෂික පදනම මත 2021 දෙසැම්බර් මාසයේ දී විදෙස්ගත සේවා නියක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ 60% කින් අඩු වී ඇත.


සමුච්ඡිත පදනම මත, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104ට සාපේක්ෂව 2021 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 5,491 ක් විය.


මෙය ඩොලර් මිලියන 1,613 ක හෙවත්  22.7% ක පහළ යාමකි.


ප්‍රධාන වශයෙන් පුහුණු (6,215), ගෘහ සේවිකා (5,507) සහ නුපුහුණු (4,889) යන කාණ්ඩවල දායකත්වයෙන්, විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ සමස්තය, 2021 වසරේ නොවැම්බර් මාසය තුළ දී පෙර මාසයට සාපේක්ෂව 19,805ක් දක්වා සියයට 25.9කින් වර්ධනය වී තිබේ.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2021 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.


 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් නිකුත් කරන නවතම දූෂණ සංජානන දර්ශකය අනුව ශ්‍රී ලංකාව තවත් ස්ථාන 8ක් පසුපසට ගොස් තිබේ.


(25) නිකුත් කළ එම දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2021 වසරේදී 102 වැනි ස්ථානයට පත්ව ඇති අතර 2020 වසරේදී ශ්‍රී ලංකාව 94 වැනි ස්ථානයේ පසුවිය.


මෙවර එම දර්ශකය ගණනය කිරීම සඳහා රටවල් 180ක දත්ත යොදාගෙන තිබුණි.


මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යවා 37කි. මෙහි අගය 0ක් නම් බෙහෙවින් දූෂිත රටක් ලෙස නම් කෙරෙන අතර එහි අගය 100ට ආසන්න වනවිට ඉතා පිරිසිදු රටවල් ලෙස නම් වෙයි.


එහි අගය 88ක් ලබාගනිමින් ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වන බවට පත්ව ඇති අතර අගය 13ක් වන සෝමාලියාව සහ සිරියාව මෙන්ම අගය 11ක් ලබාගනිමින් දකුණු සුඩානය එහි පහළ ස්ථානවල සිටියි.



කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ කර තිබේ.


මෙහිදී පෞද්ගලික සහ ව්‍යාපාර ලෙස කාණ්ඩ දෙකක් යටතේ ගාස්තු අයකරන බවත් පෞද්ගලික කාණ්ඩයේ පුද්ගලයන් දෙකේ සිට පහක උපරිමයට රුපියල් 30,000 ක් ද, පුද්ගලයන් හයේ සිට 10 කට රුපියල් 50,000 ක් ද, පුද්ගලයන් 10 කට වැඩිනම් ගාස්තුව වෙනස් වන බවත් වරාය නගර සමාගම පවසයි.


ව්‍යාපාරික කාණ්ඩයේ පුද්ගලයන් 10 කට අඩු නම් රුපියල් ලක්‍ෂයක් ද, පුද්ගලයන් 10 කට වැඩි නම් ගාස්තුව වෙනස් වන බවත් මෙම කාණ්ඩ දෙකටම එක අවස්ථාවකදී පැය තුනක කාලයක් හිමිවන බවත් එම සමාගම වැඩි දුරටත් කියයි.

 

2021 හා 2022 වසරවල ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පුන් පොහොය දිනෙන් ආරම්භ විය. එසේ ආරම්භ වන්නා වූ ශ්‍රී පාද වන්දනා සමය 2022 වසරේ වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනෙන් නිමාවට පත්වේ. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර දෙකක කාලයක් දෙස් විදෙස් බැතිමතුන්ට නිසි පරිදි ශ්‍රී පාද වන්දනාවේ යෙදීමට නොහැකි විය. එවැනි තත්ත්වයක් මත සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව මෙවර ශ්‍රී පාද වන්දනාවේ යෙදීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවකාශ ලබා දී තිබේ. 


මාස හයක් පුරාවට දිවා රාත්‍රී දෙකෙහිම ලක්ෂ සංඛ්‍යාත විවිධ ජාතීන් මෙන්ම විවිධ ආගම් අදහන්නන් සිරිපා වන්දනාවේ යෙදෙති. ගල් පඩි නගිමින් දැඩි සීතල මැද්දේ වැඩි දුරක් පා ගමනින් යමින් වන්දනාමාන කිරීමට ලෝකයේ ඇති එකම පූජා භූමිය ලෙස සමනල කඳු වැටියේ ඉහළම ස්ථානයේ පිහිටි ශ්‍රී පාදස්ථානය සැලකේ. එය වූ කලී ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳු ඵෙතිහාසික මෙන්ම අතිසුන්දර වූ පූජා භූමියකි.   


මුහුදු මට්ටමේ සිට මීටර් 2,243ක් උසකින් සමන්විත සමනල කඳුවැටියේ ඉහළම ස්ථානයේ පිහිටි ශ්‍රී පාදස්ථානයට පිවිසීමට මාර්ග කිහිපයක්ම තිබේ. එහෙත් දැනට බැතිමතුන් විශාල ලෙස භාවිත කරනුයේ මාර්ග දෙකක් පමණි. ඒ, හැටන්, නල්ලතන්නිය හරහා වැටී ඇති මාර්ගය සහ රත්නපුර, පලාබද්දල හරහා වැටී ඇති මාර්ගයයි. මෙම මාර්ග දෙකට අමතරව කුරුවිට, එරත්න මාර්ගය, මුක්කුවත්ත පාර, මුර්යාවත්ත පාර මෙන්ම මාලිබොඩ මාර්ග ද භාවිත කරමින් ශ්‍රී පාදයට පිවිසිය හැක. එහෙත් මෙකී මාර්ග අතරින් ශ්‍රී පාද වන්දනාවේ යෙදීමට ඇති ඉතා ආරක්ෂාකාරී මෙන්ම වඩාත් පහසුකම්වලින් සමන්විත මාර්ග දෙක වන්නේ හැටන්, නල්ලතන්නිය හා රත්නපුර, පලාබද්දල යන මාර්ගයන්ය. වඩාත් ප්‍රසිද්ධව ඇත්තේත් එම මාර්ග දෙකය. එබැවින් ඔබ ශ්‍රී පාදය වන්දනා කිරීමට යන්නේ නම් පහසුකම්වලින් හා ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයේ පවතින ඉහත සඳහන් මාර්ග දෙකින් එකක් භාවිත කිරීම වඩාත් සුදුසු වේ.   


වර්තමානයේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරයේදී කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන එන්නේ නම් එය සෞඛ්‍ය අංශ නිලධාරීන්ට වඩාත් පහසු කටයුත්තක් වනු ඇත. කොවිඩ් හා නිරෝධායන නීතිරීතිවලට අනුගතව සෞඛ්‍ය ක්‍රමවේදයන් නිසි ලෙස අනුගමනය කරමින් මෙවර බැතිමතුන්ට ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට සිදුවන අතර, ඔබත් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන්නේ නම් අනිවාර්යයෙන්ම එම නීතිරීතිවලට අනුගතව වන්දනාවේ යෙදීමට තරයේ වග බලාගත යුතුය. මුව ආවරණ පැළැඳීම මෙන්ම නිරන්තරයෙන් විෂබීජ නාශක දියර භාවිත කරමින් දෑත් පිරිසිදු කිරීමට පියවර ගත යුතුය.   


වර්තමානයේ රට තුළ පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් විවිධ රෝගවලින් පීඩා විඳින පිරිස් මෙවර වන්දනාවේ යෙදවීම සම්බන්ධයෙන් වන්දනා නඩ දෙවරක් සිතිය යුතුව තිබේ. එමෙන්ම කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ ඇත්තේ නම් කිසිවිටකත් ඔබ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටීම අන් බැතිමතුන්ගේ ආරක්ෂාවට මෙන්ම ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාවට හේතුවක් වනු ඇත.   


මෙම ඵෙතිහාසික පූජා භූමිය වන්දනාමාන කිරීමට ඔබ රත්නපුර, පලාබද්දල හරහා වැටී ඇති මාර්ගය භාවිත කරන්නේ නම්, සමනල කඳුවැටියේ කිලෝමීටර් හතර හමාරක ගල් පඩි තරණය කළ යුතුය. එසේම, ඔබ හැටන්, නල්ලතන්නිය හරහා වැටී ඇති මාර්ගය භාවිත කරන්නේ නම් එම දුරම ගල් පඩි තරණය කළ යුතුය. ශ්‍රී පාද වන්දනා වාරවලදී වන්දනාකරුවන් බහුලව භාවිත කරනු ලබන මාර්ගය ලෙස හැටන්, නල්ලතන්නිය මාර්ගය සැලකේ. වර්ෂාව සහිත කාලයේදී මෙම ගල් පඩි නැගීමේදී විශේෂයෙන්ම ඔබගේ නඩයේ වයෝවෘද්ධ මෙන්ම කුඩා ළමුන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ලිස්සා යාම්වලට ලක් විය හැකි බැවිනි. එහෙත් වර්තමානය වන විට මෙම මාර්ගයන්ගේ ගල් පඩි ඉතාමත් ආරක්ෂාකාරී ලෙස මහන්සියකින් තොරව ගමන් කිරීමට හැකි වන පරිදි සංවර්ධනය කොට තිබේ.   


ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන ඇතැම් වන්දනා නඩවල ඇතැම් පුද්ගලයන්ගේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් හේතුවෙන් සෑම වන්දනා වාරයකදීම පාහේ විවිධ අනතුරු සිදු කරගනී. එසේම එම මාර්ගයන්ගේ පිහිටි ගල් පඩි තරණය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂාකාරී ක්‍රියාවන් තුට්ටුවකට මායිම් නොකිරීම හේතුවෙන් වන්දනාකරුවෝ විවිධ අනතුරු හා අකරතැබ්බ සිදු කරගනිති. ඔබ ශ්‍රී පාදයට පිවිසෙන විටදී මේ පිළිබඳව වඩාත් උනන්දුවෙන් මෙන්ම වඩාත් කල්පනාකාරී වීම වටිනා ක්‍රියාවකි.   


ශ්‍රී පාදයට පිවිසෙන මාර්ගයන් ආසන්නයේ ශ්‍රී පාද වන්දනා අවාරයේදී බඹර කූඩු තැනීම බොහෝ විට සිදුවන සාමාන්‍ය දෙයකි. එහෙත් එකී තත්ත්වය පසුගිය වන්දනා වාරවලදී මෙන්ම මෙවර ද වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අනාවරණය කරයි.   


ශ්‍රී පාදස්ථානයට පිවිසෙන සෑම වන්දනා නඩයක්ම විදුලි පන්දමක් හෝ කිහිපයක් රැගෙන යාම වටිනා දෙයකි. ඒ මන්දයත් කිවහොත් ඔබගේ වන්දනා නඩයේ සිටින කුඩා දරුවන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් ගමන් ගන්නා විටදී ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට දැඩි පහසුවක් වන බැවිනි. වර්තමානයේදී සෑම ජංගම දුරකතනයකම පාහේ විදුලි පන්දම් සේවාව ලබාගත හැකි වුව ද එයින් පිට වන ආලෝකය ප්‍රමාණවත් නොවන අවස්ථාවන්ට මුහුණ දිය හැකි බැවින් විදුලි පන්දමක් රැගෙන යාමට වග බලාගැනීම නුවණට හුරු ක්‍රියාවකි.   


ශ්‍රී පාදස්ථානයට පිවිසෙන සෑම මාර්ගයකම බොහෝ ප්‍රදේශවල ජංගම දුරකතන සම්බන්ධතා (සිග්නල්) නොලැබී යාමේ අවස්ථා මතු වේ. එබැවින් ඒ පිළිබඳව මතකයේ තබාගෙන වන්දානාවේ යෙදීම වටී. ඒ මන්දයත් නඩයේ අයකු අතරමං වුවහොත් සොයා ගැනීමට බාධාවක් වන බැවිනි. එමෙන්ම මෙකී මාර්ගවලින් හඳුනා ගැනීමට විශේෂ ස්ථාන නොමැතිකම මෙන්ම ස්ථාන පැවැසීමට නොදන්නාකම නිසා අතරමංවූවකු සොයා බැලීම සඳහා ගැටලු‍ මතු වේ. එබැවින් ඒ පිළිබඳවත් වන්දනා නඩවල පිරිස් යම් දැනුවත්භාවයකින් සිටීම ඔබේ වන්දනා ගමනට පහසුවකි.   


සිරිපා කරුණා කිරීමේදී මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීම සියලු‍ම බැතිමතුන්ගේ උතුම් මෙන්ම යහපත් ක්‍රියාවකි. එමගින් පඩිපෙළ සහිත මාර්ගයේදී සිදුවිය හැකි විවිධ අනතුරු අවම කරගත හැකිය. එසේම බොහෝ අවස්ථාවලදී අපට දැකිය හැකි කරුණක් වන්නේ, ඇතැම් අය මාර්ගය අවහිර වන සේ නැවතී ගිමන් හැරීමය. එම පුරුද්දෙන් ඔබ වැළැකී සිටීමට කටයුතු කරන්නේ නම් එය ඔබ සතු හොඳ පුරුද්දක් සේම යුතුකමක් ද වන්නේය.   


වන්දනාවේ යෙදීමේදී සෑම වන්දනා නඩයක්ම හැකි සෑම විටම තමන්ට අවශ්‍ය කරනු ලබන විස්කෝතු වැනි ආහාර වර්ග, ජලය, තුවාල ප්ලාස්ටර්, වේදනා නාශක ඖෂධ වැනි විවිධ කළමනා හැකිතාක් රැගෙන යාමට පියවර ගත යුතුය. එය ඔබේ මුදල් පසුම්බියට ඉතිරියක් සේම සිරිපා නැගීමේදී සහ බැසීමේදී සිදුවන විවිධ වූ අපහසුතාවයන්ට ලක්වීමෙන් වැළැකී සිටීමට ඔබට එයින් හැකි වනු ඇත.   


ශ්‍රී පාදය වන්දනා කිරීමට යාමේදී හෝ වන්දනා කර ආපසු ඒමේදී එම මාර්ග අවට ඇති ජලාශ, දිය ඇලි, ඇළ, දොළ, දිය කඩිති, වැව්, ගංගා වැනි ස්ථානවලට බැස දිය නෑම හෝ වෙනත් අවශ්‍යතා ඉටු කරගැනීමට කටයුතු නොකිරීම සෑම දෙනෙකුම වග බලාගත යුතු කරුණකි. දිය නෑමට ඇති ආරක්ෂිත සුදුසු ස්ථානවල පමණක් දිය නෑම සිදු කිරීම ඇති හොඳම නුවණක්කාර දෙය වේ.   


මේ වන විට ශ්‍රී පාද මාර්ගය අවට පිහිටි සියලුම ලොකු කුඩා ජලාශ, ඇළ, දොළ, වැව්, ගංගා, දිය ඇලි ආදියේ ජලය පිරී පවතින හෙයින් ඒවාට අනාරක්ෂිත ස්ථාවලින් බැස දිය නෑම දැඩි සේ අනතුරුදායකය. මෙම මාර්ග අවට ඇති බොහෝ ජල පහරවල ජල මට්ටම හිටි හැටියේම ඉහළ යාමේ ප්‍රවණතාවයක් ද පවතී. මෝහිනී දිය ඇල්ල ඊට කදිම උදාහරණයකි. එබැවින් ඒ පිළිබඳව සියලුම වන්දනාකරුවන් දැඩි සේ සිතට ගත යුතු කරුණක් ලෙස හැඳින්විය හැක. මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවලත්, මස්කෙළි ඔයෙත් දිය නෑමට යෑම අනතුරු සහිත බැවින් ඒ පිළිබඳවත් වන්දනා නඩ වඩාත් සැලකිලිමත් විය යුතුය. 


 

ඔබ ගමන් කරනු ලබන රථවාහන ගාල් කොට තබන ස්ථාන පිළිබඳව අවදානමක් යොමු කිරීම ද වටිනා දෙයකි. ඒ මන්ද යත් කඳුකරයේ බොහෝ ස්ථාන නායයාම්, ගල් පෙරැළීම්, ගස් කඩා වැටීම්, පස් කඳු වැටීම් වැනි ආපදාවලට ලක්වීමේ අවදානමක් පවතින බැවිනි. මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් වාහන නවතා තැබීමේ ස්ථාන පවත්වාගෙන යනු ලබන බැවින් මුදලක් ගෙවා ඔබ යන වාහනය ද ඒවායේ ගාල් කොට තබා වන්දනාවේ යෙදිය හැක. ශ්‍රී පාදයට පිවිසීමට ඇති ඇතැම් මාර්ග පටු වීම නිසා රථවාහන ධාවනය කිරීමේදී ඒ පිළිබඳව ද රියැදුරන් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට වග බලාගත යුතුය. ශ්‍රී පාදය අවට මාර්ගවල බොහෝ ස්ථාන රාත්‍රී කාලයටත්, අලු‍යම් කාලයටත් ඇතැම් අවස්ථාවලදී දිවා කාලයටත් දැඩි මීදුම් තත්ත්ව හට ගනී. රියැදුරන් ඒ පිළිබඳව විමසිලිමත් විය යුත්තේ පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන රියැදුරන් එකී මාර්ග පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකම නිසාවෙනි.   


සිරිපා වන්දනා කිරීමට යාමේදී හා නැවත ආපසු බැසීමේදී සිරිපා මාර්ගයේ පමණක් පිහිටි වැසිකිළි හා කැසිකිළි භාවිත කිරීමට වන්දනාකරුවන් වග බලාගත යුතුය. ඇතැම් වන්දනාකරුවෝ වැසිකිළි හා කැසිකිළි යාමට මාර්ගයෙන් පිටත පිහිටි ශ්‍රී පාද රක්ෂිත කැලෑව තෝරා ගනිති. එයින් ඔබේ ආරක්ෂාවට තර්ජනයක් සේම අන් අයගේ සෞඛ්‍ය තත්ත්වයට ද මහත් තර්ජනයක් බව ඔබ තරයේ මතක තබාගත යුතුය. රාත්‍රී කාලයට කැලෑවට යාම තුළින් සතා සිවුපාවාගේ මෙන්ම ගල් අතරින් ලිස්සා වැටීම් සිදු විය හැකි අවදානම බහුලය. විශේෂයෙන් ශ්‍රී පාද රක්ෂිතයේ කඳුකර කොටියන් ද සිටින අතර ඔවුන්ගෙන් ද එවැනි අවස්ථාවලදී විවිධ හානි සිදු විය හැකිය.   


එසේ ඔබ යටිතල පහසුකම් සපයා ගැනීම සඳහා ශ්‍රී පාද රක්ෂිතය තෝරා ගැනීම හේතුවෙන් පරිසරය ද අපවිත්‍ර වේ. ඔබ ඉවක් බවක් නොමැතිව එසේ සිදු කිරීමේදී ඔබම අපවිත්‍ර කරනු ලබන ජලය ඔබගේ ගම් පළාත්වලටම ගලාගෙන යා හැකිය. ඒ මන්දයත් මෙම සිරිපා මාර්ගයේ පිහිටි ලොකු කුඩා සියලුම ජල පහරවල් සියල්ලම අවසන් වන්නේ මෙරට සතර දිග් භාගයේ ගලා බසිනා ගංගාවන්ට එක්වීමෙනි. ශ්‍රී පාදස්ථාන රක්ෂිතයත්, පරිසර පද්ධතියත් ඔබ දූෂණය කිරීමෙන් වැළැකී සිටිය යුත්තේ එබැවිනි.   


පරිසරයට බහාලන සියලුම අපද්‍රව්‍ය මාර්ග අවට තබා ඇති කසළ බඳුන් තුළට පමණක් බහාලීම අනිවාර්යයෙන්ම ඔබ සිදු කළ යුතුම දෙයකි. එවැනි කසළ බඳුන් සිරිපා මාර්ගයේ ස්ථාපිත කොට ඇති අතර, කිසිම අයුරිකින්වත් පොලිතින් හා ප්ලාස්ටික් වැනි නොදිරන විවිධ ඝන අපද්‍රව්‍ය සිරිපා බිමට ගෙන යාමෙන් වැළැකිය යුතුයි. 


තලවකැලේ

ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ

Thursday, 27 January 2022


ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රොන් ප්‍රභේදය 95%ක ප්‍රමාණයකට පැතිර ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


"අද දෙරණ" BIG FOCUS වැඩසටහන සමග එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා සිටියේ, ලංකාව තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යෑමට මාස දෙකකට වැඩි කාලයක් ගතව ඇති බවය.


"ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝගියා වාර්තා වෙලා,  දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. දැන් තමයි දත්තයන්වලින් අපිට පේන්නේ ලංකාවේත් ඔමික්‍රෝන් ප්‍රභේදය 95%කට එහායින් පැතිරිලා කියලා. මේකෙන් කියවෙන්නේ යම් අවස්ථාවක gene sequence ටෙස්ට් කරන සාම්පල සංඛාවෙන් සියයට 95කට එහා ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවෙන් දැන් වාර්තා වෙනවා."


ප්‍රශ්නය - ශ්‍රී ජයවර්ධනපුර විතරයි මේක වාර්තාවක් ලෙස එළිදැක්වුයේ. එතැනින් එහාට අපිට කියන්න පුළුවන් ද ඔවුන්ගේ වාර්තා පමණක් පදනම් කරගෙන ලංකාවේම ප්‍රබලම ප්‍රභේදය වෙලා තියෙන්නේ ඔමික්‍රෝන් කියලා. 


"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමා දිගටම ඒ කටයුතු කළේ. මෑතක ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙනුත් ඒ වාර්තාව ලැබෙනවා. gene sequence ඔවුන් දැන් අවස්ථා 4කදී වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ ඊයේ MRI රිපෝට් එකක් අවුට් වුණා. ඒකෙනුත් කියවෙන්නේ, 96%කට වැඩිය ඔමික්‍රෝන් ප්‍රභේදය තමා. මම හිතන්නේ ජයවර්ධනපුර හා MRI ලැබ් එකෙන් එකම විදියේ දත්ත තමා තියෙන්නේ. ලංකාවේ රෝගීන්ගෙන් පැතිරෙන වෛරසයෙන් 95%කට එහා ප්‍රමාණය දැනට වාර්තා වෙන්නේ ඔමික්‍රෝන් කියලා."



කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.


මේ වන විට දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.


(25) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අයි.ඩී.එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ඒ බව සඳහන් කළේය.


"විශේෂයෙන්ම පසුගිය සතිය හා සසදනකොට මේ සතියේ කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළුවන රෝගීන් 50%ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම සංකූලතාවලට ලක්වන අය, ඔක්සිජන් සැපයීමට අවශ්‍යවන අය, දැඩි සත්කාර ඒකකවලට යොමු කළ යුතු රෝගීන් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙනවා. භාහිර රෝගී අංශය හරහා අනුක ජීව විද්‍යාගාරය වෙත ඉදිරිපත්වන PCR පරික්ෂණවලින්  50%- 60% අතර ප්‍රමාණයක් ආසාදිත බවට තහවුරුවන බව අපට ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍යතුමිය ප්‍රකාශ කළා. ඒ අනුව කාරනා පෙළගැස්වීමේදී අපිට බලාපොරොත්තුවෙන් පුළුවන් ඉදිරි සති දෙක ඇතුළුත විශාල රෝගීන් සංඛ්‍යාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම  පහේ වාර්තා වෙයි කියලා."

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...