රාජ්යයට බිස්නස් බැරිද
වත්මන් රජය විසින් 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අය-වැය පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ අදයි. ඒ නිසාම මෙවර කිවිදා දැක්ම ලිවිය යුත්තේ අය-වැය සම්බන්ධ කාරණා යැයි සිතීමේ වැරැද්දක් ද නැත. මුදල් අමාත්යවරයා විසින් 2022 වැය සම්බන්ධයෙන් වූ විසර්ජන කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඒ වියදම් වෙනුවෙන් රටේ ආදායම් උපදවන්නේ කෙසේද යන කාරණා අද ඉදිරිපත් වෙන අය-වැය කතාවෙන් යෝජනා කරන්නට නියමිතය.
රටේ මූල්ය උත්පාදනය වෙනුවෙන් අය - වැයෙන් යෝජනා කරන්නට යන්නේ කුමක්දැයි අප තවම දන්නේ නැත. එහෙත් අපේ රටේ මූල්ය කළමනාකරණය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් ක්ෂේත්ර ගණනාවක්ම පවතින බව සත්යයක්ය. මගේ මේ සතියේ කිවිදා දැක්ම වෙන්වන්නේ අය-වැයට සම්බන්ධ විශේෂ පැත්තක් ගැන සාකච්ඡා කරන්නටය.
මා ලියන්නට යන්නේ රාජ්ය ව්යාපාර (public Enterprise) පිළිබඳවය. ඒ කියන්නේ රාජ්යය විසින් සිදු කරනු ලබන බිස්නස් පිළිබඳවය. රාජ්යයේ තිබෙන පොදු ව්යාපාර පිළිබඳව විමර්ශනය කරන්නට පාර්ලිමේන්තුවේ තිබෙන පසුවිපරම් කමිටුවට කියන්නේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව කියාය. ඒ කියන්නේ කෝප් කමිටුවටය. එහි අරමුණ වන්නේ රාජ්යයේ පොදු මුදල් අයිති ජනතාවට නිසා ඒ පොදු මුදල්වලට සම්බන්ධ සියලුම ව්යාපාරවල තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් සොයා බැලිය යුතු බවයි. රාජ්ය මුදල් පිළිබඳව ජනතාවට (පාර්ලිමේන්තුවට) ඇති බලය පාවිච්චි කරන්නට යොදාගන්නා තවත් වැදගත් මෙවලමක් වන්නේ විගණකාධිතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තායි.
රාජ්ය ව්යාපාරවල තත්ත්වය සහ ඒවායේ අනාගතය පිළිබඳව පළල් සාකච්ඡාවක්ද අපේ රටේ තිබේ. මේ විෂය පිළිබඳව ගැඹුරින් සිදු කළ අධ්යනයක්ද මේ වනවිට ඉදිරිපත් වෙමින් පවතී. සුසිල් ප්රේමජයන්ත මැතිතුමා විසින් ස්වකීය ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා මේ විෂය සම්බන්ධයෙන් සිදු කළ අධ්යනයක් පසුගිය දිනක ප්රකාශයට පත්විය. ඒ අවස්ථාවේ මවිසින් මතු කරන ලද එක් නිරීක්ෂණයක් (ප්රශ්නයක්) වූයේ ‘රාජ්යයට බිස්නස් කරන්නට බැරිද? (Can the state run business) යන්නයි. මෙතැන රාජ්යය (state) කියන්නේ එක රජයක් පිළිබඳව නොව සමස්තයක් ලෙසින් වූ රාජ්යය පිළිබඳවය.
මගේ මේ ප්රශ්නයෙන් කියන්නේ රාජ්යයකට කිසිම ව්යාපාරයක් කරන්නට බැරිවා කියා නොවේ. ලෝකයේ සමහර රටවල ව්යාපාර ඉතාමත් ප්රයෝජනවත් සහ ලාභදායක ආකාරයෙන් පවත්වා ගෙන යන බව සත්යයක්ය. ආසියාවේ තිබෙන හොඳම උදාහරණයක් වන්නේ සිංගප්පූරු ගුවන් සමාගමයි. (Singapore airline) සමහර රටවල එසේ වෙද්දී අපේ රටේ තත්ත්වය තියෙන්නේ ඉතාමත් නරක තැනකය. රාජ්යය සතු ව්යාපාර ටිකෙන් ටික විනාශ වෙමින් හෝ වැසී යමින් පැවතීම අපේ රටේ තිබෙන එක ප්රශ්නයක්ය. අනෙක් ප්රශ්නය වන්නේ නොවැසී පවත්වාගෙන යන සමහර රාජ්ය ව්යාපාර පවතින්නේ රාජ්යයට විශාල බරක් ලෙසින් වීමය. වැසී යමින් පවතින රාජ්ය ව්යාපාර සහ රාජයට විශාල බරක් හෙවත් සුදු අලියකු ලෙසින් පවතින ව්යාපාර යන පැති දෙකට අමතරව අපේ රටේ තිබෙන්නේ නීති විරෝධී ආකාරයෙන් රාජ්යයෙන් ගලවාගෙන පෞද්ගලික ව්යාපාර ලෙසින් පවත්වාගෙන යන ඒවාය.
රාජ්ය ව්යාපාර ප්රමාණය
මේ වනවිට අපේ රටේ රාජ්ය ව්යාපාරවල ස්වභාවය පිළිබඳව රටේ ජනතාව සමහර කරුණු දන්නා නමුත් රටේ තිබෙන පොදු ව්යාපාර (රාජ්ය ව්යාපාර) ගණන කීයද කියා හරියටම දන්නේ නැත. මේ කාරණය ඉතාමත් වැදගත් වන්නේ සමහර රාජ්ය පොදු ව්යාපාර මේ වනවිට පවතින්නේ එහි සිටින සේවකයන් කීප දෙනාට පඩි ගෙවන්නට පමණක් නිසාය. දැනට කෝප් කමිටුවට කැඳවන රාජ්ය ව්යාපාර අතර ප්රධානතම රාජ්ය ආයතන 260 පමණ වේ. ඒවා අතර සංස්ථා (Corporation) තෙල් සංස්ථාව, ඉංජිනේරු සංස්ථාව වැනි) අධිකාරීන් (Authority) (එනම් නාගරික සංවර්ධන අධිකාරිය, මධ්යම පරිසර අධිකාරිය වැනි) මණ්ඩල (ගමනාගමන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය වැනි) කොමිෂන් සහ කවුන්සිල් (Commission & Council) – විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම, පුවත්පත් කොමිසම) වැනි ප්රධාන ආයතන වේ. එයට අමතර මහ බැංකුව ඇතුළු රාජ්ය බැංකු පද්ධතිය, රටේ සියලුම විශ්වවිද්යාල ඇතුළත් පද්ධතිය සහ විශේෂ පනත් මගින් පවරා ගත් ලේක් හවුස් ආයතනය වැනි ව්යාපාරික ආයතන පද්ධතිය ද මේ මූලික ආයතන 260ට අයත්ය. 2007 සමාගම් පනත යටතේ ගැනෙන අනෙකුත් ආයතන සහ ශ්රී ලන්කන් ගුවන් සේවය වැනි විශේෂ රාජ්ය ව්යාපාර ද මේ අතර වේ.
රජය සතු ව්යාපාර මේ ආයතන 260න් ඉවර වෙන්නේ නැත. මෙයට අමතරව රජය සතු අරමුදල් (funds) 76ක් ක් පවතී. ජනාධිපති අරමුදලේ සිට සේවක භාරකාර අරමුදල (ETF) දක්වා පරාසයක මේවා විසිර පවතී. රාජ්ය ව්යාපාර ගණන මෙතැනින් නවතින්නේ ද නැත. රජයට අයිතියෙන් සියයට 50 හෙවත් හරි අඩකට වඩා ඇති රාජ්ය ව්යාපාර 11ක්ද ඇත. ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය, West Coast Power ltd වැනි ආයතන ඒ අතර ඇත. මේවාට අමතරව රජයේ ප්රධාන ව්යාපාරවල අනු ව්යාපාර (Subsidiaries) ලෙසින් ඇති කොම්පැනි 96ක්ද වේ. මේ සියල්ල එකතු වූ විට ගණන 443කි.
රාජ්ය ව්යාපාර කුමටද?
රාජ්යයකට ව්යාපාර අවශ්ය වන්නේ ඇයිද යන ප්රශ්නයට පිළිතුරු කීපයක්ම ඇත. එක පැත්තකින් අපේ රට වැනි තුන්වැනි ලෝකයේ අඩු දියුණු රටවල රාජ්ය ව්යාපාර මුලින්ම ඇරඹුණේ මුල් කාලයේ මේ රටවලට අවශ්ය සමහර ව්යාපාරික කටයුතු කරන්නට සමත් පෞද්ගලික අංශයක් මේ රටවල නොසිටි නිසාය. ජනතාවගේ අවශ්යතා වෙනුවෙන් ආරම්භ කළයුතු එවැනි සේවා, ව්යාපාර රජය විසින්ම අරඹනු ලැබුවේ ඒ නිසාය. ගුවන් විදුලි සේවය උදාහරණයක් ලෙසින් ගත හැකිය. මුල් කාලයේ මේ සේවාව රාජ්යයේ ප්රධානතම කාර්යයක් විය. සමහර ආණ්ඩුවල තිබූ එක් කැබිනට් ඇමැති ධුරයක් වූයේ ගුවන් විදුලි කටයුතුය. එහෙත් රට තුළ පෞද්ගලික අංශය ප්රසාරණය වීමත් සමග මේ වනවිට ගුවන් විදුලි සේවය යනු තවත් එක් සිත් ගන්නා සුළු ව්යාපාරයක් බවට පත්වී ඇතිවා පමණක් නොව ඒ ව්යාපාර විශාල පෞද්ගලික ව්යාපාර ක්ෂේත්රයක් බවට පත්වී ඇත.
රාජ්යයට ව්යාපාර කරන්නට සිදුවූ තවත් එක් හේතුවක් වුණේ සමහර ව්යාපාරවලින් විශාල සමාජ සුබසාධනයක් සැළසුණාට ඒවා එතරම් ලාභදායක ව්යාපාර නොවන නිසාය. ලාභදායක ව්යාපාරයක් නොවන විට ඒවාට ආයෝජනය කරන්නට ආයෝජකයෙක් පැමිණෙන්නේ නැත.
තුන්වෙනුව රාජ්යයට සමහර ව්යාපාරවල රැඳී සිටින්නට සිදු වන්නේ වෙළඳපොළ නියාමනය කිරීම සඳහාය. රටේ වෙළඳාම නියාමනය කරන්නට රජයටත් තරග කළ හැකි ආයතනයක් අවශ්ය යැයි මතුවෙන තර්කය මෙහි ඇති පදනමය. සතොස, වී අලෙවි මණ්ඩලය වැනි ආයතන වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඒ තර්කයමය.
සිව්වෙනුව අපේ වැනි රටවල රජය පමණක් සිදු කරන ව්යාපාරයක්ද තිබේ. ඛනිජ තෙල් සම්බන්ධව ඒකාධිකාරය සම්පූර්ණයෙන්ම පාහේ රජයට තිබූ කාලයක් ද විය. ගෑස් වෙළඳාමේ ඒකාධිකාරිය තිබෙන්නේ රාජ්ය සමාගමක් සතුවය.
රාජ්ය ව්යාපාරවල ආරම්භයේ තිබූ ඒ තර්ක කෙසේ වුවත් මේ වනවිට රාජ්ය ව්යාපාර වැටී තිබෙන්නේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයකය. රජය පමණක් ඒකාධිකාරිව පවත්වාගෙන යන ව්යාපාරයක් දුවන්නේ පාඩු පිටය. පෞද්ගලික අංශය ලාභ ලබන සමහර ක්ෂේත්රවල ව්යාපාර රජය කරන විට ලැබෙන්නේ බරපතළ පාඩුවක්ය. රූපවාහිනී සේවාවන් සම්බන්ධ කාරණය මෙහිදී අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. පෞද්ගලික අංශයේ රූපවාහිනී නාලිකා විශාල වශයෙන් ලාභ ලබද්දී රාජ්ය නාලිකා සිටින්නේ රජයෙන් අමාත්යාංශයෙන් සොයා දෙන මුදලින් මාසික වැටුප් ගෙවන තැනකය. වෙනත් ක්ෂේත්රවල තත්ත්වයද මෙසේමය. පෞද්ගලික අංශයේ අය බරපතළ ලාභ ලබන ව්යාපාරවල රජයේ කොම්පැනි බරපතළ පාඩු ලබන තත්ත්වයකට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය.
රජය පාඩු ලබන්නේ ඇයි?
මෙවර අයවැයටත් වැදගත් වෙන කාරණයක් වන්නේ රජ්ය ව්යාපාර මෙසේ පාඩු ලබන්නේ ඇයි යන ප්රශ්නයට පිළිතුරක් සොයා ගැනීමය.. එසේම පාඩු නොලබන රාජ්ය ව්යාපාර ගොඩනගන්නට නම් අප කළ යුත්තේ කුමක්ද යන කාරණය මෙහිදී ඉතාමත් වැදගත්ය.
මගේ අදහස වන්නේ රාජ්ය ආයතනවල මේ තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ භේදයෙන් ඉවත් වී බලන පළල් දෘෂ්ටිකෝණයක් අවශ්ය බවය. එවැනි පළල් සංවාදයක් පාර්ලිමේන්තුව තුළත් රට තුළත් ඇති කිරීම ඉතාමත් අවශ්යය. දෙවනුව මගේ නිරීක්ෂණය වන්නේ රාජ්යයේ වපසරිය තුළ කළ නොහැකි ක්ෂේත්රවල ව්යාපාරවලින් ඈත්වීමේ සැලසුමක් නිර්මාණය කිරීමය. රාජ්යය විසින් අනිවාර්යයෙන්ම කළ යුතු ව්යාපාර, සේවා, රජය සහ පෞද්ගලික අංශය යන දෙගොල්ලම කළ හැකි ව්යාපාර, සේවා සහ පෞද්ගලික අංශයට සම්පූර්ණයෙන්ම ඉඩදිය යුතු ව්යාපාර සේවා ලෙසින් කාණ්ඩ 03කින් මේ දෙස බැලීම ඉතාමත් වැදගත්ය.
තුන්වෙනුව තේරුම් ගත යුතු කාරණය වන්නේ දේශපාලන වශයෙන් මෙම ව්යාපාරවලට පත් කරන ප්රධානීන්ගේ හැකියාව සහ පුහුණුව ගැන සොයා බැලීමේ ක්රමවේදයක් අවශ්ය බවයි. සිව්වෙනුව රජයේ රැකියා ලබාදීමේ අවශ්යතාව මත පමණක් රාජ්ය ව්යාපාර දෙස බැලීමේ උත්සාහය නිමා කළ යුතු බවයි. පස්වැනුව රාජ්යයට විශාල වැය බරක් පමණක් උරුම කර දෙන රාජ්ය ව්යාපාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මගින් ශක්තිමත් පොදු තීරණයක් ගත යුතු බවයි.
No comments:
Post a Comment