සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි මගින් සිය බඩ වඩා ගැනීම උදෙසා කරුණු කෙතරම් විකෘති කර ඉදිරිපත් කරනවාද යන වගට හොඳම නිදසුනක් පසුගියදා ඉදිරිපත් විය. ලෝකයේ දැනටමත් බහුල ලෙස භාවිතා වන එන්නත් 3ක ආරක්ෂාව විශාල ලෙස පහළ බැස ඇති බවත් මේ නිසා ලෝකයම කැළඹී ඇති බවත් අනුන්ගේ පුවත් තමන්ගේ ලෙස බහුලව උපුටා දක්වන වෙබ් අඩවියක් දක්වා තිබුණි. ඒ වනවිට ලංකා රජයද මේ කියන එක් එන්නත් වර්ගයකින් තවත් මාත්‍රා ලක්ෂ ගණනක් ගෙන්වීමට කටයුතු යොදා තිබුණි. ඒ බව සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරද්දීම ඉදිරිපත් වූ මේ විකෘති පුවත නම් රට තුළ කැළඹීමක් ඇති කරන්නට සමත් වූවකි.
විද්‍යාත්මක කරුණු හරිහැටි සොයා නොබලා වර්තා කිරීමත් ජන ජීවිතයට සංවේදී වන කාරණා වාර්තා කරණයේදී ජනතාව කම්පනයට පත් නොවන සේ ඒවායේ පවත්වා ගත යුතු සංයමයත් නොමැති වීම හේතුවෙන් මේ අලකලංචිය සිදුව තිබේ.
මේ වනවිට අමෙරිකාව පුරාම කොරොනා වෛරසයේ ඩෙල්ටා මාදිලිය තදින්ම පැතිර යමින් පවතී. ඒ අතර එරට සිදුකළ පරීක්ෂණයක ප්‍රතිපල විද්‍යාත්මක සඟරාවක් වන “Science” හී පළකර තිබුණි. ඒ පර්යේෂණය මගින් සොයාගන්නට ලැබුණු ප්‍රධාන කාරණාවක් වූයේ ඩෙල්ටා මාදිලියට පෙර සියයට 80ට වැඩි ඉහළ ආරක්ෂාවක් ලබාදුන් ප්‍රධාන වැක්සීන 3ක ආරක්ෂක සඵලතාව - efficacy, මාස 06ක් තුළදි තදින්ම පහළ බැස ඇති බවයි. මේ වැක්සීන 03 නම් අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල බහුලව භාවිතා වන Pfizer and BioNTech, Moderna’, සහ Johnson and Johnson යන වැක්සීනයන්ය.
පෙබරවාරි මාසයේ 01 මේ පරීක්ෂණය ආරම්භ වූ අතර මාර්තු වනවිට එරට ඩෙල්ටා මාදිලිය පැතිර යාමට ආරම්භ වූ අවධියයි. එරට හමුදාවේ වැක්සීන ලබාගත් සහ නොගත් 780,225ක් මේ පරීක්ෂාවට තෝරාගෙන තිබුණි. අධ්‍යයනය සිදුකෙරුණු ඔක්ලන්ඩ්, සැන්ෆ්රුන්සිස්කෝ සහ ටෙක්සාස් හී සෞඛ්‍ය මධ්‍යස්ථාන 03කදීය. අධ්‍යයනයට ලක්වු 48%ක් වයස 65 හෝ ඊට වැඩි උදවියයි. 29%ක් වයස 50 සහ 64 අතර වූවෝය. ඉතිරි 24%ක් පිරිස 50ට අඩු උදවිය විය. මේ ගහනය තුළ සිටි කාන්තාවන්ට වඩා පිරිමි 6 ගුණයකින් වැඩිය.
මේ පරීක්ෂණයේදී පෙනී ගිය කාරණාවක් වූයේ සැප්තැම්බරය අග වනවිට එනම් මාස 06ක් ගත වනවිට එන්නත්වල ආරක්ෂණ සඵලතාව කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවකි. ඒ අනුව මාර්තුවේදී සියයට 89ක ආරක්ෂක සඵලතාවක් පෙන්නූ මොඩෙර්නා එන්නත් 2ම ලබාගත් අය තුළ එම සඵලතාව සැප්තැම්බරය අග වනවිට සියයට 58කට පහළ වැටී තිබුණි. මේ අන්දමට දැන් අප රටේද භාවිතයට ගන්නා ෆයිසර්හී ද්විත්ව මාත්‍රාවේ සඵලතාව 87% සිට 45%දක්වාද , Johnson and Johnson’s තනි මාත්‍රාවේ සඵලතාව 86%සිට 13% තරම් අවම මට්ටමකටද පහළ බැස ඇත.
මේ වැක්සීන 03ම කොරොනා පාලනයට මනා සඵලතාවක් ඇති බව පෙන්වූයේ වුවද ජූලි මාසයේ ඩෙල්ටා සීඝ්‍රව පැතිර යාමෙන් ඇතිවූ නව රැල්ලත් සමගම වාගේ මෙහි සඵලතාවද අඩුව ඇති බව පෙනී ගොස් තිබේ.
මේ නිසා බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර වර්ධනය සහ පැතිරීමේ හැකියාව නිසා විකෘති ඉතා ඉක්මණින් සහ බහුලව ඇතිවීම මේ වැක්සීන දුර්වලතාවයට හේතුවිය හැකිය කියාය. තවත් පිරිසක් අනුමාන කරන්නේ කොවිඩ් එරෙහි ප්‍රතිශක්ති පද්ධතියේ ආරක්ෂණ හැකියාව කාලයත් සමග අඩු වී යාහැකි බවය. එය නව මාදිලි ආවත් නාවත් සිදුවිය හැකි ස්වභාවික සංසිද්ධියක් බව ඔවුහු පෙන්වා දෙයි.
මේ අන්දමට වැක්සීනවල දුර්වලතාව වාර්තා වී ඇත්තේ එක්තරා කලාපයක සහ විශේෂ මාදිලියකට ගොදුරු භුමි ප්‍රදේශයක පමණි. මෙ පර් යේෂණය මගින් ලෝකය පුරා එන්නත් සඵලතාව දුර්වල වී ඇතැයි තහවුරු කර නැත.
කෙසේ වුවද එන්නත් වර්ග 03 සඳහාම වරින්වර බූස්ටර් එන්නත මාත්‍රා ලබාදීම මෙයට ඇති හොඳම පිළියම ලෙස ඔවුහු පෙන්වා දෙති. එසේම ලොව පුරාම විද්වතුන් එකඟ වී ඇති පොදු කාරණාවක් වන්නේ කොවිඩ් සඳහා දැනට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බවයි. දැනට දිනකට එන්නත් පිළිබඳ අලුත් පර්යේෂණ දස දහස් ගණනින් සිදුකරන අතර ඒවායේදී විවිධ අලුත් දැනුම එකතු වෙයි. නමුත් මේ පර් යේෂණවල වේගයටත් වඩා ගිනිය නොහැකි තරම් වේගයකින් වෛරසය විකෘතිවීම් වලට ලක්වේ. ඒ එය පැතිරීමට අවශ්‍ය පහසුකම් සැලසුණහොත් පමණි. මේ නිසාම වෛරසය පැතිරීම වැළැක්වීම මේ සඳහා ඇති හොඳම සහ එක උපාය මාර්ගය බව ලොවපුරා විද්වතුන් පුන පුනා කියති. ඒ නිසාම මුව ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වා ගැනීම මෙන්ම අත සේදීම සහ පිරිසිදු වීම යන කාරණා එදිනෙදා ජිවිතයේ සාමාන්‍ය අංගයක් සිරිතක් බවට පත්කර ගත යුතුය යන්න ඔවුන්ගේ අවවාදයයි.
සුගත් පී. කුලතුංගආරච්චි.
No comments:
Post a Comment