Sunday, 14 November 2021


 

වර්තමානයේ සමාජය තුළ දැකිය හැකි ප්‍රබල ගැටලුවක් ලෙස ළමයින් අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම දැක්විය හැකිය. සියලුම ළමයින් මාර්ගගත අධ්‍යාපනයට යොමුවීම හරහා පරිගණක සහ ස්මාර්ට් දුරකථන ළමයින් අතට පත්වීම මීට හේතු වී තිබේ. මේ වන විට අප රටේ ප්‍රදේශ කිහිපයක ළමයින් අන්තර්ජාල ඇබ්බැහිය හමුවේ සිය දෙමාපියන්ගෙන් එල්ල වූ විරෝධතා නිසා ඉච්ඡාභංගත්වයට පත්ව සියදිවි නසාගත් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ එවැනි අවාසනාවන්ත තත්ත්වයන් තවදුරටත් වාර්තා නොවීමට දෙමව්පියන් දැනුවත් කිරීමයි. 


අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම යනු “වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වීම” (video game addiction) ලෙස හඳුන්වනු ලබන ක්‍රීඩා හැසිරීම් රටාවකි. එවිට අන්තර්ජාල ධුර්ත තත්ත්වයකට ළමයා පත්වේ. අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ විට පාලනය කිරීමට අපහසු වන අතර එය පුද්ගලයාගේ අනෙකුත් අංශ කෙරෙහි බරපතළ ඍණාත්මක ප්‍රතිවිපාක ඇති කරයි. වැඩිහිටි පුද්ගලයන්ට වඩා ළමයින් මෙම තත්ත්වයට ගොදුරුවීමේ වැඩි ඉඩක් පවතී. එසේම නව යෞවන යෞවනියන්ද කාලයත් සමඟ වීඩියෝ ක්‍රීඩා අක්‍රමතාවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇත.


අන්තර්ජාල ක්‍රීඩා ඇබ්බැහිය පුද්ගලයාගේ හැකියාවට සැලකිය යුතු බාධාවක් ඇති කරයි. මේ සම්බන්ධයෙන් වර්තමානයේ සැලකිය යුතු පර්ෙය්ෂණ, විවාද සහ සාකච්ඡාවන් සිදුවන අතර වෛද්‍ය විද්‍යාත්මක සහ ක්‍රීඩා ප්‍රජාවන් තුළද මතභේද ඇති කර ඇත. ජීවිතයට එල්ල වන ඍණාත්මක ප්‍රතිවිපාක නොතකා දෛනික කාර්යයන් මනාව සිදු කිරීමෙන් මිදී වීඩියෝ ක්‍රියාකාරකම්වල යෙදෙන විට අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී ඇතැයි හඳුනා ගත හැකිය. රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණය (ICD-11) මගින් අර්ථ දක්වා ඇති පරිදි අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම සඳහා ප්‍රධාන නිර්ණායකය වන්නේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ස්වයං පාලනයක් නොමැතිවීමයි. 


එන්ටර්ටේන්මන්ට් මෘදුකාංග සංගමය (Entertainment Software Association) මගින් පෙන්වා දී ඇති ආකාරයට ඔන්ලයින් ක්‍රීඩා ඉතා ජනප්‍රියය, අමෙරිකානු නිවෙස්වල ළමයින් තුනෙන් දෙකක් පමණ අන්තර්ජාල ක්‍රීඩා කරයි. අමෙරිකානු වැඩිහිටියන් මිලියන 160ක් අන්තර්ජාලය පදනම් කරගත් ක්‍රීඩා කරන බව තක්සේරුකරණය කොට තිබේ. අන්තර්ජාලයට ඇබ්බැහිවීම පිළිබඳ සංකල්පය මුලින්ම ඉදිරිපත් කළ ආචාර්ය අයිවන් කේ. ගෝල්ඩ්බර්ග්, DSM-IV මත පදනම්ව අන්තර්ජාල ඇබ්බැහි අක්‍රමතාව (IAD) හඳුනා ගැනීම සඳහා නිර්ණායක දෙකක් ඉදිරිපත්  කළේය. එනම් “ජාලයේ කාලය වැඩි කිරීමට බලාපොරොත්තු වීම" සහ "ජාලය ගැන සිහින දැකීම"යි.


අමෙරිකානු මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයේ මානසික අක්‍රමතා පිළිබඳ රෝග විනිශ්චය සහ සංඛ්‍යාන විද්‍යාත්මක අත්පොත (DSM-5) මගින්  අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම විස්තර කොට තිබේ. 2013 දී DSM-5 ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ දී මෙම තත්ත්වය මානසික ආබාධයක් ද නැතහොත් එය වර්ගීකරණය තීරණය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණි. කෙසේ වෙතත්, වැඩිදුර පර් යේෂණ සඳහා කොන්දේසි නිර්දේශ කරන කොටසේ එය අන්තර්ජාල ක්‍රීඩා ඇබ්බැහි අක්‍රමතාව ලෙස හඳුනාගෙන තිබේ. 


මෙම අක්‍රමතාවෙහි රෝග ලක්ෂණ ලෙස දක්වා ඇත්තේ අන්තර්ජාල ක්‍රීඩා කිරීමට උනන්දු වීම,  ක්‍රීඩාව ඉවත් කළ විට හෝ නොහැකි වූ විට ඉවත්වීමේ රෝග ලක්ෂණ (දුක, කාංසාව, නුරුස්නා බව) පෙන්නුම් කිරීම, ආශාව තෘප්තිමත් කිරීම සඳහා වැඩි කාලයක් ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවය, ක්‍රීඩා කිරීම අඩු කිරීමට නොහැකි වීම, ක්‍රීඩා කිරීමෙන් ඉවත් වීමට අසාර්ථක උත්සාහයන් දැරීම, වෙනත් ක්‍රියාකාරකම් අත්හැරීම, අන්තර්ජාල ක්‍රීඩා නිසා කලින් විනෝද වූ ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව නැතිවීම, ක්‍රීඩා සඳහා ගත කරන කාලය ගැන පවුලේ සාමාජිකයන් හෝ වෙනත් අය රුවටීම, වරදකාරීත්වය හෝ බලාපොරොත්තු සුන්වීම වැනි සෘණාත්මක මනෝභාවයන් සමනය කිරීමට ක්‍රීඩා භාවිතය, අන්තර්ජාල ක්‍රීඩා හේතුවෙන් රුකියාවක් හෝ සම්බන්ධතාවන් අනතුරට පත්වීම හෝ අහිමිවීම ද දැකිය හැකිය. 


අන්තර්ජාල ක්‍රීඩා ආබාධ හඳුනා ගැනීම සඳහා වසරක් ඇතුළත මෙම රෝග ලක්ෂණ පහක් හෝ වැඩි ගණනක් අත්විඳීමට අවශ්‍ය වේ. මෙම තත්ත්වයට අන්තර්ජාලයේ හෝ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක ක්‍රීඩා කිරීම ඇතුළත් විය හැකිය. DSM-5 හි මත්පැන්, දුම්කොළ, උත්තේජක, මරිජුවානා වැනි ද්‍රව්‍ය ආශ්‍රිත ඇබ්බැහි අක්‍රමතා ඇතුළත් වේ. අන්තර්ජාල ක්‍රීඩා ඇබ්බැහිය DSM-5 මගින් හඳුනාගෙන ඇති එකම චර්යාත්මක ඇබ්බැහිවීම වන අතර එය ද්‍රව්‍ය භාවිතයට ප්‍රතිවිරුද්ධ වේ.

රෝග ලක්ෂණ වශයෙන් ආතතිය, කාංසාව, මානසික අවපීඩනය, සමාජයෙන් ඉවත්වීම, අතිශය දීර්ඝ කාලයක් වීඩියෝ ක්‍රීඩා කිරීම, නින්ද නොමැති වීම, තරබාරුකම වැනි ලක්ෂණද  දැකිය හැකිය. වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම සහ කාංසාව, මානසික අවපීඩනය, ඌණ අවධාන අධික්‍රියාකාරී අක්‍රමතාව (ADHD), සමාජ භීතිකාව, සහ දුර්වල මනෝ-සමාජ සහයෝගය අතර ප්‍රබල සම්බන්ධයක් පවතී. ආවේගශීලී බව සහ හැසිරීම් ගැටලු වීඩියෝ ක්‍රීඩා අක්‍රමතාව ඇතිවීමේ අවදානම වැඩි කරයි.

යෝජිත අන්තර්ජාල ක්‍රීඩා ඇබ්බැහි අක්‍රමතාව හඳුනාගැනීම සඳහා අමෙරිකානු මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය (APA) මගින් නිර්ණායක නවයක් සකස් කොට තිබේ. එය අන්තර්ජාල ක්‍රීඩා අක්‍රමතාව මිනුම කෙටි ස්වරූපය (Internet Gaming Disorder Scale-Short-Form (IGDS9-SF) ලෙස හඳුන්වයි. මෙය අමෙරිකානු මනෝ වෛද්‍යවරුන්ගේ සංගමයට අනුව වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම තක්සේරු කිරීම සඳහා භාවිත කරන කෙටි මනෝමිතික පරීක්ෂණයකි.


ඔබ ක්‍රීඩා නොකරන විට පවා ක්‍රීඩා ගැන සිතමින් හෝ ඔබට ඊළඟට ක්‍රීඩා කළ හැක්කේ කවදාදැයි සැලසුම් කිරීමට බොහෝ කාලයක් ගත කරනවාද? ක්‍රීඩා කිරීම අඩු කිරීමට හෝ නැවැත්වීමට උත්සාහ කරන විට හෝ ඔබට ක්‍රීඩා කිරීමට නොහැකි වූ විට ඔබට නොසන්සුන් බවක්, කෝපයක්, කනස්සල්ලක් හෝ දුකක් දැනෙනවාද? වැඩි කාලයක් ක්‍රීඩා කිරීමට, වඩාත් උද්වේගකර ක්‍රීඩා කිරීමට හෝ ඔබ ලබාගත් උද්‍යෝගය ප්‍රමාණයම ලබාගැනීමට වඩා බලවත් උපකරණ භාවිත කිරීමට අවශ්‍ය බව ඔබට හැඟෙනවාද? ඔබ අඩුවෙන් ක්‍රීඩා කළ යුතු බව ඔබට හැඟෙනවාද? නමුත් ඔබ ක්‍රීඩා කිරීමට ගත කරන කාලය කපා හැරීමට නොහැකිද? සූදු ක්‍රීඩාව හේතුවෙන් ඔබට වෙනත් විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා ඇති උනන්දුව නැති වී යනවාද? නැතහොත් සහභාගීවීම අඩු වෙනවාද? නින්දක් නොලැබීම, පාසලට, රුකියාවට ප්‍රමාද වීම, අධික ලෙස මුදල් වියදම් කිරීම, අන් අය සමඟ වාද විවාද කිරීම හෝ වැදගත් රාජකාරි පැහැර හැරීම වැනි අයහපත් ප්‍රතිවිපාක ගැන දැන සිටියත් ඔබ දිගටම ක්‍රීඩා කරනවාද? ඔබ කොපමණ ක්‍රීඩා කරනවාද යන්න ගැන ඔබ පවුලේ අයට, මිතුරන්ට හෝ අන් අයට බොරු කියනවාද? නැතහොත් ඔබ කොපමණ ක්‍රීඩා කරනවාද යන්න ඔබේ පවුලේ අය හෝ මිතුරන් දැනගැනීමෙන් වළක්වා ගැනීමට උත්සාහ කරනවාද? ඔබ ක්‍රීඩාව කරන්නේ පුද්ගලික ගැටලුවලින් ගැලවීමට හෝ අමතක කිරීමට හෝ වරදකාරීත්වය, කාංසාව, අසරණභාවය හෝ මානසික අවපීඩනය වැනි අපහසු හැඟීම් සමනය කිරීමටද? සූදු ක්‍රීඩාව නිසා ඔබ සැලකිය යුතු සබඳතා හෝ රුකියා, අධ්‍යාපනික හෝ වෘත්තීය අවස්ථා අවදානමට ලක් කරනවාද? නැති කර ගන්නවාද? පුද්ගලයෙක් අන්තර්ජාල ක්‍රීඩාවලට අබ්බැහි වී ඇත්දැයි මෙම මනෝමිතික පරීක්ෂණයට අනුව හඳුනාගත හැකිය. එසේ හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමුවීම හෝ යොමු කිරීම කළ හැකිය. 


"අන්තර්ජාල ඇබ්බැහියට" සායනිකව ප්‍රතිකාර කළ පළමු රට චීනයයි. චීන රජය ඔන්ලයින් ක්‍රීඩා අධික ලෙස භාවිත කරන අයට ප්‍රතිකාර කිරීම සඳහා සායන කිහිපයක් ක්‍රියාත්මක කරයි. රෝගීන් සඳහා වන ප්‍රතිකාර, බොහෝ දෙනකුට දෙමාපියන් හෝ රාජ්‍ය නිලධාරීන් විසින් සහභාගී වීමට බල කර ඇති අතර, කම්පන ප්‍රතිකාර ඇතුළු විවිධ ආකාරයේ ප්‍රතිකාර  ඇතුළත් වේ. මෙවැනි සායන ලංකාව තුළද ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වර්තමානය වන විට පැන නැගී පවතී. 

ඔබ ඔබේ දරුවා ක්‍රීඩා කරන කාලය ගැන සැලකිලිමත් වන දෙමාපියකු නම්, ඔවුන් පාසලේදී සහ මිතුරන් සමඟ කෙතරම් හොඳින් කටයුතු කරනවාදැයි සොයා බලන්න. හොඳ ලකුණු තිබීම සහ දෙමාපියන් සමඟ හොඳ සබඳතාවක් තිබීම දරුවකුගේ වීඩියෝ ක්‍රීඩා කිරීම ගැටලුවක් විය නොහැකි බවට සංඥා වේ. ඔබේ දරුවා අන්තර්ජාල ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී ඇත්නම් ක්‍රීඩා කිරීමට ගත කරන කාලය පාලනය කර ගැනීමට ළමයින්ට පහත කරුණු භාවිත කළ හැකිය. සෙල්ලම් කිරීම සඳහා කාලසීමාවන් නියම කර ඒවාට ඇලී සිටින්න සලස්වන්න. රාත්‍රියට සෙල්ලම් නොකරන ලෙස දුරකථන සහ වෙනත් උපකරණ නිදන කාමරයෙන් පිටත තබාගන්න. සෑම දිනකම ව්‍යායාම ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම් කරන්න. මෙය දිගු වේලාවක් වාඩි වී සෙල්ලම් කිරීමේ සෞඛ්‍ය අවදානම අඩු කරයි. ඔබේ දරුවා ඔවුන්ගේ වයස අනුව ශ්‍රේණිගත කරන ලද ක්‍රීඩා පමණක් ක්‍රීඩා කරන බවට වග බලා ගන්න.


දෙමාපියන් වශයෙන් ඔබේ දරුවාට අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා කිරීමට එපා යැයි පැවසීමට අපහසු නම්, ඔබේ දරුවාගේ ක්‍රීඩා කාලය සීමා කරන්නේ කෙසේදැයි චිකිත්සකයකු මගින් හෝ මනෝ උපදේශකවරයකු මගින් මඟපෙන්විය හැකිය. විශේෂයෙන්ම සුදුසුකම් ලත්, අත්දැකීම් සහිත පළපුරුදු කෙනකු වෙත යොමු කිරීමට දෙමව්පියන් වශයෙන් ඔබ වග බලා ගත යුතුයි. ළමයා එවැනි තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට ළමයාට උපදේශනයන් ලබාදෙන අතර ඇතැම් අවස්ථාවල ළමයාගේ පවුලේ අයද උපදේශනයට සම්බන්ධ කරගත යුතුය.


දෙමව්පියන් දරුවාගේ ප්‍රතිකාරයේ කොටසක් බවට පත් කිරීමෙන් එය වඩා හොඳින් ක්‍රියාත්මක කළ හැකිය. දෙමව්පියන් විසින් ළමයි මෙම තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට නම්, මෙහි මූලික අදියර ලෙස විශේෂයෙන්ම දෙමව්පියන්ගේ අවධානය වැඩි වශයෙන් දරුවන් වෙත යොමු කිරීම ඉතාමත් වැදගත් වෙයි. ස්මාර්ට් දුරකථනය, පරිගණකය ළමයාට  දීමට අහිතකර වීඩියෝ ක්‍රීඩාවලට යාම දුරකථන ආයතන තුළින්ම අවහිර කිරීමේ හැකියාව පවතින බැවින් මුලින්ම එම ප්‍රවේශවීම් අවහිර කර ළමයාගේ අතට ජංගම දුරකථන ලබා දීමට කටයුතු කළ හැකිය. 


එසේ කිරීමට නොදැනුවත් නම් එවැනි අවස්ථාවක දී පරිගණක, දුරකථන ක්‍රියා සම්බන්ධයෙන් යම් දැනුමක් ඇති පුද්ගලයකුගෙන් උදව් ලබාගෙන ළමයාට නොදැනීම අවහිර කිරීම සිදු කළ හැකිය. මෙලෙස යම් කිසි පාලනයක් ඔස්සේ ළමයින්ව නිරන්තරයෙන්ම අධීක්ෂණය කිරීමට හැකි නම් ළමා මානසිකත්වය, ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගත හැකිය. මෙවැනි අවස්ථාවන් හඳුනාගතහොත් ළමයාට පහර දීම, බැණ වැදීම සිදු නොකළ යුතුය. එසේ කළහොත් ළමයා ඉච්ඡාභංගත්වයට පත්වන්නට පවතින ඉඩකඩ වැඩිය. එවැනි අවස්ථාවක සිදු කළ යුත්තේ ළමයින්ට නොදැනෙන ලෙස අහිතකර ක්‍රියා නැවතීමට කටයුතු කරමින් ළමා මානසිකත්වය යහපත් තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමය.


ඔබේ ළමයා දැඩි ලෙස අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී ඇත්නම් පවුලේ මනෝ වෛද්‍යවරයකුගෙන් හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් උපකාර ලබාගත යුතුය. දැඩි ඇබ්බැහිවීමක් නොමැති නම් එහෙත් අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩාවන් හේතුවෙන් තම දෛනික කටයුතු සහ අධ්‍යාපනය අඩාල කර ගන්නේ නම් සායනික මනෝ විද්‍යාඥවරයකු වෙත, පළපුරුදු මනෝ ප්‍රතිකාරකවරයකු වෙත හෝ මනෝ උපදේශකවරයකු වෙත යොමු කළ යුතුය. වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහියට ප්‍රතිකාර කිරීම පිළිබඳ අධ්‍යයනයන් ද මුල් අවධියේ පවතී. උපකාර කළ හැකි එක් ප්‍රතිකාරයක් ලෙස ප්‍රජානන චර්යා ප්‍රතිකාරය (CBT) පෙන්වා දිය හැකිය. මෙමගින් හැසිරීම වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා ක්‍රීඩා පිළිබඳ සිතුවිලි ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේදැයි උගන්වයි.


ආචාර්ය එන්. ඩී. ජී. ජයන්ත


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...