රුසියාව පෙබරවාරි 24 යාබද යුක්රේනයට හමුදා යවා යුක්රේන හමුදා කඳවුරුවලට හා ගුවන් තොටුෙපාළවලට පහර දුන්නේය. ඊට පෙර 21 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැගෙනහිර යුක්රේනයේ ඩොන්බස් කලාපයේ පිහිටි රුසියානු බස කතා කරන ජනතාව බහුතරයක් වසන ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් යන ප්රදේශ ස්වාධීන සමූහාණ්ඩු ලෙස පිළිගනිමින් නියෝගයක් නිකුත් කොට තිබිණි.
එම ප්රදේශ දෙකේ රුසියානු බස කතා කරන බෙදුම්වාදීන් ඊට පෙර එම ප්රදේශ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව හා ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව වශයෙන් යුක්රේනයෙන් වෙන්වූ බවට ස්වාධීනත්වය ප්රකාශ කොට තිබිණි.
රුසියාව මෙම ප්රදේශ දෙකේ ස්වාධීනත්වය පිළිගැනීම මඟින් සති ගණනාවක් තිස්සේ පැවැති රුසියාව යුක්රේනය ආක්රමණය කිරීමේ අනතුර තහවුරු කෙරිණි. මන්දයත් එම පිළිගැනීම අනුව රුසියාවට එම ප්රදේශ දෙකට හමුදා යැවීමට හැකි වන බැවිනි. එම පිළිගැනීමත් සමඟ පුටින් සිය හමුදාවන්ට එම ප්රදේශ දෙකට ඇතුල් වී සාමය ආරක්ෂා කරන්නට කටයුතු කරන ලෙස නියෝග කළේය. ඉන්පසු පෙරේදා ඔහු තවත් නියෝගයක් කරමින් යුක්රේනය තුළ හමුදා ක්රියාමාර්ග ආරම්භ කළේය.
මෙය පසුගිය වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාව ප්රමුඛ නේටෝ යුද සන්ධානයත් රුසියාවත් අතර යුක්රේනය සම්බන්ධයෙන් පවතින දැඩි මතභේදයක සෘජු ප්රතිඵලයකි. නැගෙනහිර යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම යුක්රේනයද නේටෝ සන්ධානයට ඇතුළු කර ගැනීමට එම සන්ධානයේ ප්රධාන රටවලට විශේෂයෙන්ම ඇමෙරිකාවට අවශ්ය වී තිබේ. එහෙත් එය තම ආරක්ෂාවට තර්ජනයකැයි කියමින් රුසියාව ඊට විරෝධය පළ කරමින් සිටී.
මෙම මතභේදය උග්රවීමත් සමඟ දැනට මසකට පමණ පෙර රුසියාව යුක්රේන දේශ සීමාවේ ලක්ෂයකට අධික හමුදාවක් රැඳවීය. එදා සිටම බටහිර රටවල් හා බටහිර ජනමාධ්ය රුසියාව යුක්රේනය ආක්රමණය කරන්නට යන බවට පවසන්නට විය. රුසියාව නොකඩවාම එය ප්රතික්ෂේප කළේය. එහෙත් යුක්රේන දේශ සීමාවේ හමුදා බල ඇණි රැස් කිරීම ප්රතික්ෂේප කළේ නැත.
එහෙත් සාමය රැකීම සඳහා යුක්රේනයේ ඩොනෙට්ස් හා ලුහාන්ස්ක් ප්රදේශ දෙකට සිය හමුදා යැවීමට පුටින් ගත් තීරණයත් සමඟ ඇත්ත වශයෙන්ම රුසියාව යුක්රේනය ආක්රමණය කළ බව පිළිගත යුතුව ඇත. මන්ද යත් එම ප්රදේශ ස්වාධීන සමූහාණ්ඩු ලෙස එම ප්රදේශවල රුසියානු බස කතා කරන බෙදුම්වාදී කණ්ඩායම් හා රුසියාව පිළිගත්තද ලෝකය පිළිගන්නේ ඒවා යුක්රේනය සතු ප්රදේශ බවය. කෙසේ වෙතත් රුසියානු හමුදා එම ප්රදේශවලට පමණක් නොව යුක්රේනයේ වෙනත් ප්රදේශවලටද පහර දෙන බව පෙරේදා වනවිට වාර්තා වෙමින් තිබිණි.
රුසියාව හා යුක්රේනය අතර ඇති වී තිබෙන මෙම ගැටුම්කාරී තත්ත්වය 1980 ගණන්වල මුලදී ඉන්දියාව හා ශ්රීලංකාව අතර පැවැති මතභේදාත්මක තත්ත්වය සිහිපත් කරයි. එම මතභේදයත් ඒ අනුව ඉන්දියාව ගත් ඇතැම් පියවරත් දශක ගණනාවක් තිස්සේ මෙරටේ දේශපාලනයට හා ජනජීවිතයට බලපෑම් කරමින් තිබේ.
එදා ඉන්දියාව හා ශ්රී ලංකාව අතර වූ මතභේදයත් අද රුසියාව හා යුක්රේනය අතර ඇතිවී තිබෙන මතභේදයත් කුඩා රටක කටයුතු විශාල රටක ආරක්ෂාවට අහිතකර අයුරින් බලපෑමත් ඊට ප්රතිචාර වශයෙන් විශාල රට ජාත්යන්තර නීති රීති නොතකා කුඩා රටට ප්රසිද්ධියේ ‘චණ්ඩි පාට්’’ දැමීමත් පෙන්නුම් කරයි.
අවස්ථා දෙකේදීම කුඩා රටේ එක් ජන කොට්ඨාසයක් විශාල රටේ යාබද ප්රදේශයේ ඔවුන්ගේම භාෂාව කතා කරන ජන කොට්ඨාසයක් සමග වාර්ගික වශයෙන් සබඳතා පවත්වයි. ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යාබද ඉන්දියාවේ තමිල්නාඩුවේ ජනතාව සමඟ වාර්ගික සබඳතා පවත්වාගෙන යයි. එසේම යුක්රේනයේ නැගෙනහිර කොටසේ ජනතාව හා රුසියාව සමඟ භාෂාවෙන් බැඳී සිටිති. අවස්ථා දෙකේදීම විශාල රට කුඩා රටට දඬුවම් කිරීම සඳහා යොදා ගන්නේ කුඩා රටේ මෙම ජන කොට්ඨාසයයි. ඉන්දියාව ශ්රී ලංකාව මට්ටු කිරීමට එදා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යොදා ගත්තේය. රුසියාව එසේම යුක්රේනයට දඬුවම් කිරීම සඳහා යුක්රේනයේ සිටින රුසියානු බස කතා කරන ඩොන්බස් කලාපයේ ජනතාව යොදා ගනියි.
බටහිර ධනවාදී රටවල් හා සමාජවාදී රටවල් අතර සීතල යුද්ධය පැවැති සමයේදී ඉන්දියාව සිටියේ සමාජවාදී කඳවුරට හිතවත්වය. මේ නිසා ඉන්දියානු සාගර කලාපයේ ප්රබලතම රට වූ ඉන්දියාවට බටහිර රටවලින් විවිධ අභියෝග එල්ල විය. මේ නිසා ඉන්දියාව කලාපයේ තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත් සුපරීක්ෂාකාරී විය.
ඒ කාලයේදී විශේෂයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩු බලයේ සිටින විට ශ්රී ලංකාව සමාජවාදී කඳවුරට සමීප විය. එම ආණ්ඩු බලයේ සිටි කාලවලදී ශ්රී ලංකාවේ කාර්මීකරණය සඳහා සමාජවාදී රටවලින් විශේෂයෙන්ම සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයෙන් විශාල වශයෙන් තාක්ෂණික හා මූල්යමය ආධාර ලැබිණි. ඒ නිසා ඒ කාලයේ ඉන්දියාව හා ශ්රී ලංකාව අතරද ඉතා සුහද සබඳතාවක් පැවැතිණි.
එහෙත් 1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය කිරීමත් සමඟ මේ තත්ත්වය විශාල වශයෙන් වෙනස් විය. එජාප නායක ජේ.ආර්. ජයවර්ධන මහතා පළමුවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දේශීය ආර්ථිකයද හැකිතාක් ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල අවශ්යතාව අනුව වෙනස් කළේය. එසේම එම රටවල් සමඟ සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගත්තේය. සමාජවාදී රටවල් සමඟ පැවැති සබඳතා දුර්වල විය. මෙය ඉන්දියාවේ කනස්සල්ලට හේතු විය.
මේ තත්ත්වය තවදුරටත් නරක අතට පත් කරමින් ජයවර්ධන මහතා 1984 දී ඇමෙරිකාවේ ප්රධාන පෙළේ හිතවතකු වන ඊශ්රායලය සමඟ එක්තරා මට්ටමක රාජතාන්ත්රික සබඳතා ඇති කර ගැනීම පිණිස කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය තුළම ඊශ්රායල් කටයුතු අංශයක් ආරම්භ කිරීමට ඉඩ දුන්නේය.
බටහිර රටවල් සමඟ තරවන ශ්රී ලංකාවේ මෙම දේශපාලන හා රාජතාන්ත්රික සබඳතා ඉන්දියාව සැලකුවේ තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස හා තමන් වට කිරීමක් ලෙසය. ඒ වනවිට ඉන්දියාව දෙපස වූ රටවල් දෙකක්ම ඇමෙරිකාවේ ප්රබල මිතුරෝ වූහ. පාකිස්තානයේ ජනාධිපතිව සිටි ජෙනරාල් සියා උල්හක් ඇමෙරිකාවේ දැඩි විශ්වාසවන්තයෙක් විය. ඉන්දියාවේ උපකාරයෙන් 1971 දී නිදහස දිනූ බංග්ලාදේශය මුලදී සමාජවාදි කඳවුර දෙස නැඹුරුවක් දැක්වුවද 1977 දී බලයට පත් ජෙනරාල් සියාවුර් රහ්මාන් මෙන්ම 1982 දී බලයට පත් ජෙනරාල් හුසේන් මොහමඩ් ඉර්ෂාද් ද දැඩි බටහිර ගැත්තෝ වූහ.
මෙසේ ඉන්දියාවට එක් පසෙකින් පාකිස්තානයත් අනෙක් පසින් බංග්ලාදේශයත් බටහිර ගැත්තන් වී සිටින තත්ත්වය තුළ දකුණෙන් ශ්රී ලංකාවේද එවැනිම බටහිර ගැති පාලනයක් පැවතීම එවකට ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි දුටුවේ !සතුරු රටවල් විසින් තමන් වටකරනු ලැබීමත් ලෙසය. ඒ අනුව ඇය ශ්රී ලංකාවට දඬුවම් කොට තම රටේ ආරක්ෂාව තර කර ගැනීමට පියවර ගත්තාය.ඒ සඳහා ඇය යොදා ගත්තේ ශ්රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවයි.
ඒ කාලය වනවිට ශ්රී ලංකාවේ ජනවාර්ගික ප්රශ්නය තීරණාත්මක වෙනසකට ලක්වී තිබිණි. දැන් රුසියානු බස කතා කරන නැගෙනහිර යුක්රේනුවන් මෙන් ඒ වනවිට මෙරට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවද ශ්රී ලංකාවෙන් වෙන් වී වෙනම රාජ්යයක් ලෙස කටයුතු කරන්නට තීරණය කොට තිබිණි. ඒ සඳහා 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවා ගනිමින් දෙමළ පක්ෂ කිහිපයක් සම්මත කරන ලද වට්ටුක්කෝට්ටයි යෝජනාව මඟින් වෙනම දෙමළ රාජ්යයක් අවශ්ය බව කියවිණි. එසේම 1980 ගණන්වල මුල වන විට දෙමළ සන්නද්ධ සංවිධාන ගණනාවක් බිහිවී තිබිණි.
මෙම සංවිධාන හා රජයේ හමුදා අතර ගැටුම් හේතුවෙන් දස දහස් ගණන් දෙමළ ජනතාව සරණාගතයන් ලෙස දකුණු ඉන්දියාවට ගොස් සිටියහ. ඉන්දියාව ජයවර්ධන මහතාගේ බටහිරවාදී ප්රතිපත්තියට දඬුවම් කිරීම සඳහා යොදාගත්තේ මෙම තත්ත්වයන්ය.
එම ක්රියාමාර්ග දෙආකාර විය. එක් පැත්තකින් ඉන්දිරා ගාන්ධි රාජ්ය තාන්ත්රික වශයෙන් ශ්රී ලංකා ආණ්ඩුව අසීරුවට පත් කරන්නට කටයුතු කළාය. අනෙක් අතින් ශ්රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනය වන ආකාරයට දෙමළ සංවිධාන යොදා ගනිමින් රහසිගත වැඩ පිළිවෙළක් ක්රියාත්මක කළාය.
ඒ අනුව තමිල්නාඩුවට පැමිණ සිටින ශ්රී ලාංකික දෙමළ ජනතාවට යළි මෙරට පැමිණවීමට හැකිවන අයුරින් ජනවාර්ගික ප්රශ්නයට බලය බෙදීමේ ක්රමයක් මඟින් විසඳුම් සොයන ලෙසට ඇය ශ්රී ලංකා ආණ්ඩුවට බල කළාය. ඒ සඳහා ශ්රී ලංකා රජය සමඟ සාකච්ඡා කරන්නට තම රටේ ඉහළම පෙළේ රාජ්යතාන්ත්රික නිලධාරීන් වූ ගෝපාලස්වාමි පාර්තසාරදි හා රොමේෂ් බණ්ඩාරි වැනි අය මෙරටට එව්වාය.
ඒ අතර ඉන්දිය රහස් ඔත්තු සේවා මෙරට ආයුධ සන්නද්ධ ප්රධාන දෙමළ සංවිධාන හතරේ සාමාජිකයන්ට අවි පුහුණුව දී එම සංවිධානවලට විශාල වශයෙන් මුදල් හා අවි ආයුධ ලබා දුන්නේය. රාජතාන්ත්රික පීඩනයද ටිකින් ටික බලහත්කාරී මුහුණුවරක් ගත්තේය. ඉන්දීය නාවික හමුදා නැව් කිහිපයක් 1987 ජූනි මාසයේදී උතුරු පළාතේ ජනතාවට ආහාර රැගෙන බලහත්කාරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුල් වන්නට උත්සාහ කළේය. මෙරට නාවික හමුදාව ඊට ඉඩ දුන්නේ නැත. එම නැව් ආපසු හැරී ගියද ඉන්දිය ගුවන් හමුදාවේ ගුවන් යානා මෙරට ගුවන් සීමාව උල්ලංඝනය කරමින් යාපනයට බලහත්කාරයෙන් ආහාර මලු හෙළීය. මේ ක්රියාමාර්ග සමගම මෙරට ආණ්ඩුවට අඩියක් පස්සට ගන්නට සිදුවිය.
අවසානයේදී ඉන්දියාව විසින් ශ්රී ලංකාව මත පටවන ලද ඉන්දු- ලංකා ‘‘සාම ගිවිසුම’’ පිළිගැනීමට ශ්රී ලංකාවට සිදුවූ අතර එමඟින් පළාත් සභා ක්රමය මෙරට ආණ්ඩුක්රම ව්යවස්ථාවට ඇතුල් විය.
1991 දී සෝවියට් සංගමය විසිරී යාමෙන් පසු ඉන්දියාවේ භූ දේශපාලනික උපක්රම වෙනස් විය. දැන් ඉන්දියාව ඇමෙරිකාවේ සමීප මිතුරෙකි.
දැන් රුසියාව හා යුක්රේනය අතර සිදුවන්නේද මෙවැනිම දෙයකි. බටහිර රටවල් රුසියාව ආසන්නයේ ඇති යුක්රේනය නේටෝ සංවිධානයට ඇතුල් කර ගන්නට උත්සාහ කරයි. සීතල යුද්ධය පැවැති කාලයේ රුසියාව සමඟ සිටි සෝවියට් සංගමයේ හා යුගෝස්ලාවියාවේ සමූහාණ්ඩු ගණනාවක් හා නැගෙනහිර යුරෝපයේ පැරණි සමාජවාදී රටවල් වශයෙන් රුසියාවේ පැරැණි මිතුරු රටවල් 14ක් මේ වන විටත් නේටෝ සාමාජිකත්වය ලබා සිටී. මෙම නේටෝ ව්යාපෘතිය රුසියාව දකින්නේ තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසය. එසේ තිබියදී තමන්ට යාබදවූ යුක්රේනයත් නේටෝ සාමාජිකත්වය ගන්නට උත්සාහ කිරීම නිසා එදා ඉන්දියාව ශ්රී ලංකාවට කළාක් මෙන් දැන් රුසියාව යුක්රේනයට දඬුවම් කිරීමට පෙළඹී සිටී.
යුක්රේනය නේටෝවට බඳවා නොගත යුතුය, රුසියාවට පහර දිය හැකි දුරින් යාබද රටවල නේටෝ ආයුධ නොතිබිය යුතුය, යුක්රේනයේ රුසියානු බස කතා කරන කලාපයේ නායකයන් සමඟ යුක්රේනය 2015 දී ඇති කර ගන්නා ලද ගිවිසුම ක්රියාත්මක කළ යුතුය යන්න රුසියාවේ ඉල්ලීම්ය. බටහිර රටවල් පවසන්නේ යුක්රේනයට තමන් කැමති ජාත්යන්තර සන්ධානයකට බැඳීමට නිදහස තිබිය යුතුය යන්නයි.
තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කළ ශ්රී ලංකා නායකයන් මට්ටු කළා සේ තමන්ට තර්ජනයක් වන ආකාරයට කටයුතු කරන්නට යන යුක්රේනයට දඬුවම් කරන්නට දැන් රුසියාව කටයුතු කරගෙන යයි. 2014 දීද මේ ප්රශ්නය නිසාම රුසියාව ඒ වනවිට යුක්රේනය සතුව පැවැති රුසියානු බස කතා කරන බහුතර ජනතාවක් වසන ක්රිමියානු අර්ධද්වීපය ඈදා ගත්තේය.
එක් පැත්තකින් විශාල රටවල බල අරගලයකි. ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ සාපේක්ෂ වශයෙන් කුඩා රටකටය. රුසියාවට සාධාරණ භයක් තිබේ. එසේම යුක්රේනයට සාධාරණ භයක් තිබේ. එසේම යුක්රේනයට ස්වාධීන රටක් වශයෙන් කටයුතු කිරීමේ අයිතියද තිබේ. එහෙත් අවසානයේදී සිදුවන්නේ බලවතාට ජය අත්වීමය. කවුරුන් හරි වුවද කවුරුන් වැරැදි වුවද යුද්ධයෙන් පීඩාවිඳිය යුත්තේ යුක්රේන ජනතාවයි.
(*** එම්.එස්.එම්. අයුබ්)
No comments:
Post a Comment