Thursday, 3 February 2022


 සොබාදහම බිහි කරන්නේ අපූරු නිර්මාණය. ඉන්දීය උප මහාද්වීපයේ දකුණු කෙළවර දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාව ද සොබාදහමේ අපූර්වතම නිර්මාණයකි. ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙහි පිහිටි යාපනය අර්ධද්වීපය නිසා ද මෙහි අපූර්වත්වය තීව්‍ර කරන බව සඳහන් කළ යුතුමය. යාපනය සෑම සංචාරකයකුම ප්‍රිය කරන ප්‍රදේශයකි. පොහොසත් සංස්කෘතික උරුම, ඓතිහාසික ස්ථාන, ඇදහිය නොහැකි ආහාර සහ වෙන් වුණු දූපත් සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ යාපනය නැරඹිය යුතු ස්ථාන බොහොමයකි. ඒ අතුරින් කන්කසන්තුරේ වලිකාමම් පිහිටි “කීරිමලේ පොකුණ” ගෞරවාදරයට පාත්‍ර වූත් එමෙන්ම පිහිටීමේ ස්වභාවය අනූව සුවිශේෂි වූත් ස්ථානයකි.


කීරිමලේ යනු යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ වරායට යාබදව පිහිටි නගරයකි. නගුලේශ්වරම් කෝවිල පිහිටා ඇත්තේ ද මෙම ප්‍රදේශයේ ය. කීරිමලේ පොකුණ මුහුදට යාබදව පිහිටා ඇතත් මේ පොකුණෙහි ජලය ලවණ රහිත වන අතර එම ජලය ස්නානය කිරීමෙන් විවිධ චර්ම රෝග සුව වන බවට විශ්වාසයක් පවති. ඒ අනූව පොකුණ සහ මුහුද වෙන් වන්නේ ඉදි කරන ලද බැම්මකින් පමණි. මෙලෙස පොකුණ සහ මුහුද බැම්මකින් වෙන් වුවද මෙම පොකුණේ ජලය, කරදිය නොව මිරිදියයි. මුහුදු මට්ටමේ සිට අඩි 50ක් පමණ උසින් පිහිටා ඇති මෙම පොකුණට ජලය සැපයෙන්නේ පොළොවට අභ්‍යන්තරයෙන් පැන නඟින උල්පත් සමූහයකිනි.


මාතලේ ප්‍රදේශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ ජලය ගලා එන බවට ජනප්‍රවාදයක් ද පවතී. පොකුණ වෙත සැපයෙන අතිරික්ත ජල ධාරාවක් ඇළ මාර්ගයක් ඔස්සේ මුහුදට ගලා ගිය ද පොකුණේ ජල ප්‍රමාණයේ නම් අඩු වීමක් සිදු නොවේ. පොකුණ යට දිය මූලාශ්‍රය කිලෝමීටර් 10කට වඩා දුරකින් පිහිටි නීලවරායි නම් වූ ළිඳට සම්බන්ධ වන බව ද පැවසේ.


කීරිමලේ පොකුණ සම්බන්ධයෙන් අලංකාර ජනප්‍රවාදයක් තිබේ. ඉන්දියාවේ විසු කුමාරයෙක් සහ කුමාරියක් මෙරටට පැමිණෙන අතර ඔවුනොවුන් සහෝදර සහෝදරියන් යැයි කියැවේ. එහෙත් ඔවුන් දෙදෙනා අතර වරදක් සිදු වී තිබේ. ඒ ඔවුන් අතර ඇති වන්නා වූ සම්භෝග ප්‍රේමයයි. මෙම වරද හේතුවෙන් කුමරාට අශ්ව මුහුණක් ද, කුමරියට මුගටි මුහුණක් ද හිමිව තිබේ. එහෙත් කීරිමලේ පොකුණ ආසන්නයෙන් පිහිටි අශ්ව කන්ද ප්‍රදේශයේදී කුමරාට නැවත මනුෂ්‍ය ස්වභාවයක මුහුණක් හිමි වී තිබේ.


කුමරියට නැවත මනුෂ්‍ය මුහුණක ස්වභාවය නොලැබේ. ඇය මෙම කීරිමලේ පොකුණේ ස්නානය කරයි. ඉන් අනතුරුව ඇයට නැවත මනුෂ්‍ය මුහුණක ස්වභාවය හිමි වූ බවත්, නගුලේශ්වරම් කෝවිල ඉදි කරන ලද බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.


එම කතා පුවත සිහිපත් කරවන්නා වූ රූප වර්තමානයේ ද මෙම ස්ථානයේ දැක ගත හැකිය. කීරි යනු දෙමළ බසින් මුගටියා හඳුන්වන නාමයයි. සංස්කෘත භාෂාවෙන් නගුලායි. කීරි - මලෙයි යනු මුගටි - කන්ද යන තේරුම වේ. ඒ අනුව මෙම ස්ථානය “මුගටි කන්ද පොකුණ” ලෙසින් ද හඳුන්වනු ලැබේ.


නගුලේශ්වරම් කෝවිල ඵෙතිහාසික වශයෙන් හැඳින්වෙන්නේ තිරුඩම්බලේශ්වරම් කෝවිල ලෙසයි. පළාතේ ඇති පුරාණතම හින්දු සිද්ධස්ථාන අතුරින් එකක් ලෙස සැලකෙන මෙය, ශිව දෙවිඳුන්ගේ පුරාණ ඊශ්වරම් පහෙන් එකක් ලෙස සැලකේ.


හින්දු ජාතිකයන් අතර කීරිමලේ පොකුණේ ජලයෙහි යම් බලයක් පවතින බවට විශ්වාසයක් ඇත. එසේ හෙයින් මෙම පොකුණේ ජලය ස්නානය කිරීමෙන් රෝගාබාධ සුව වන සෞඛ්‍යසම්පන්න වන බවත්, තමන් ප්‍රාර්ථනා කළ දේ ඉෂ්ට වන බවත් විශ්වාසයක් ඇත. කාන්තා පක්ෂයට හා පිරිමි පක්ෂයට දිය නෑමට වෙන වෙනම පොකුණු දෙකක් ඕවලාකාර හැඩයට තනා ඇත. එමෙන්ම පොකුණට බැසීම සඳහා පොකුණ වටා පඩි පෙළක් ද ඉදි කර තිබේ. හින්දු ස්ත්‍රීන් අතර පවතින විශ්වාසයක් ලෙස, දරුඵල නොමැති ස්ත්‍රීන් මෙහි දිය නෑමෙන් එම තත්ත්වය මඟ හැරී දරුඵල හිමි වන බවට විශ්වාසයක් පවතී. තවද මෙම පොකුණේ ජලය ස්නානය කිරීම නිසා මුහුණ අලංකාර වන බවට ද විශ්වාසයක් පවතින අතර එබැවින් කාන්තාවන් ද මෙහි ස්නානය කිරීමට කැමැත්තක් දක්වයි.


මෙවැනි විශ්වාස හේතුවෙන් ජාති ආගම් භේදයකින් තොරව මෙම ස්ථානයට පැමිණෙන ස්ත්‍රීහු හා පුරුෂයෝ දිය නෑමට පෙලඹෙති.පොකුණේ ජලය අපිරිසුදු වන නිසා සබන් භාවිතය තහනම්ය.


කීරිමලේ පොකුණෙන් ඇළ මාර්ගය ඔස්සේ මුහුදට ගලා යන ජලයට භස්මාවශේෂ මුසු කිරීම ද හින්දු චාරිත්‍රයකි. ඒ අනුව හින්දු භක්තිකයන් එවන් පූජනීය කටයුතු සඳහා භාවිත කරන අතර පොදුවේ හින්දු ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ, ශුද්ධ වූ ජලය සහිත පොකුණක් බවට විශ්වාසයක් ඇත. මෙවන් වූ මිථ්‍යා විශ්වාසයන්ගේ හා ජනප්‍රවාදවල ඇති නිර්මාණශීලිත්වය හා අවස්ථා ගැළපීම කෙතරම් අගනේ ද යන්න මෙම ස්ථානය සංචාරය කිරීමෙන් අනතුරුව මනාව පසක් කර ගත හැකිය.


එම්. තාරික්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...