Tuesday, 29 March 2022

 


මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනය මැණික් පිළිස්සීම සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලක් වැයකර මිලදීගත් විශේෂිත උදුන ක්රියාත්මක කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පැවැත්වූ උත්සවය සඳහා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් 2020 වර්ෂයේදී වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මැණික් පිළිස්සීම සඳහා මිලදී ගෙන ඇති මෙම උදුන මිලදී ගත් දින සිට වසර හයක පමණ කාලයක් කිසිදු වැඩකට යොදා නොගෙන (නිශ්කාර්යව) පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
උදුන මිලදී ගැනීමට වැය වූ මුදලට අමතරව උදුන ස්ථාපනය කිරීම, අමතර කොටස් සහ විදුලි පරිපථ වැඩි දියුණු කිරීම සඳහා තවත් රුපියල් විසි නව ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති අතර උඳුන දීර්ඝ කාලයක් පාවිච්චි නොකිරීම හේතුවෙන් අධික අළුත්වැඩියා වියදමක් දැරීමට සිදුවී තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා තාක්ෂණ ශිල්පීන් දාහක් පුහුණු කිරීම සඳහා පවත්වා තිබුණු පාඨමාලා සඳහා 2015-2018 අතර කාලයේදී 805 දෙනකු බඳවාගෙන තිබුණද ඉන් 225 දෙනකු පුහුණුව අවසන් කර නොතිබූ බවත් පාඨමාලා සඳහා දැරූ රුපියල් තිස් හය ලක්ෂයක වියදම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ප්රතිපූරණය කරගෙන නොතිබුණු බවත් එම වාර්තාවේ දැක්වේ.
ආයතනයේ පර්යේෂණ අංශය 2017-2019 අතර කාලයේදී නවෝත්පාදන හතරක් වෙනුවෙන් රුපියල් 14 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබුණද එම නවොත්පාදන වෙළෙඳපොළට හඳුන්වාදී ආදායම් ඉපයීමට හෝ එම නිෂ්පාදන අවශ්ය පාර්ශවයන්ට භාවිතය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් ක්රියාත්මක කර නොතිබූ බව විගණන නිලධාරීහු පවසති.
එමෙන්ම ආයතනයේ ජ්යෙෂ්ඨ පර්යේෂණ (වර්ණ වැඩි දියුණු කිරීම) ජ්යෙෂ්ඨ පර්යේෂණ ( නවෝත්පාදන ) ඇතුළු පර්යේෂණ නිලධාරීන් අටකගේ සහ කථිකාචාර්යවරුන් හතරදෙනෙකුගේ පුරප්පාඩු පැවතියත් එම පුරප්පාඩු සඳහා කලක් තිස්සේ බඳවා ගැනීම් කර නොතිබූ බව පවසන විගණන අංශ පුහුණු අංශය සඳහා ස්ථිර කථිකාචාර්යවරුන් බඳවා ගැනීම වෙනුවට බාහිර කථිකාචාර්යවරුන් ගේ සහ ආයතනයේ නිලධාරීන්ගේ සේවය දිගින් දිගටම ලබාගෙන තිබූ බව ප්රකාශ කරයි.
මේ අතර ප්රසම්පාදන කාර්යයන් සඳහා රුපියල් ලක්ෂ 80කට වැඩි ප්රතිපාදන සලසා ගෙන තිබුණද එම ප්රතිපාදන උපයෝජනය කිරීමට කටයුතු කර නොතිබූ බව විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...