මෙරට සමස්ත ජනගහනයෙන් අඩකටත් වැඩියෙන් සිටින්නේ කාන්තාවෝය. එයින් ද අතිබහුතරයක් ගෘහිණියෝය. ඔවුහු ස්වාමිපුරුෂයා හා දරුවන් ඇති දැඩි කරමින් නිවාසගතව ජීවත් වෙති. දරුවන් බිහි කිරීමටත්, ස්වාමියාට උයා - පිහා දීමටත් හැර එම කාන්තාවන් තුළ පවතින ආරම්භක ශක්තීන් වන දැනුම, ශිල්පීය හැකියාව රටක ආර්ථික සමාජීය හා ආයතනික සංවර්ධනයට කොතරම් දායකත්වයක් ගත හැකි නොවේ ද?
යුරෝපීය රටවල කාන්තා සම්පතින් උපරිම ප්රයෝජන නෙළා ගනිමින් සිටිති. රට පෙරට ගැනීමේදී පළමුව කාන්තාව ඉදිරියට ගත යුතුය.
ශ්රී ලංකාවේ ගම්මාන සංඛ්යාව 45,000කි. ඒ සෑම ගමකින්ම වෙළඳ කලාපයේ සහ විදේශ සේවයේ ශ්රමය විකුණන කාන්තාවන්ගේ ප්රතිශතය 30% ඉක්මවා ඇත. දුගී බව හා ග්රාමීය පළාත්වල පොදු ලක්ෂණයක් වන පවුලේ සංඛ්යාව අධික වීමෙන් ඇතිවන පෙලඹවීම නිසාත්, මාපියන්ගේ, දරුවන්ගේ, සහෝදර සහෝදරියන්ගේ හා ස්වාමිපුරුෂයාගේ නොසැලකීම නිසාත්, යෞවනියෝ තම තාරුණ්යය, හැකියාව හා ශ්රමය දේශීය හා විදේශීය සල්ලිකාරයන්ට හා හාම්පුතුන්ට කැප කරන්නේ එය තමන්ට දැනට තියෙන එකම ජීවන මාර්ගය නිසාය.
විශ්වවිද්යාල හා ඉහළ කළමනාකරණයේ පිරිමි කාන්තා අනුපාතය 86 %කි. කාන්තා “බලාත්මකත්වය” අතින් ලෝකයේ 16 වැනි ස්ථානය ශ්රී ලංකාව සතු වන විට ඇමරිකාවේ එය 56 ස්ථානය දක්වා පහළ බැස ඇත.
චිත්ත වේග දරාගැනීමේ ශක්තිය අතින් කාන්තාවෝ ප්රශස්ත මට්ටමක සිටිති. පුරුෂයා ප්රශ්න හා ගැටලුවලට මුහුණදීමේ ආත්ම ශක්තිය හීන වූ විට මධුවිතට, සිය දිවි නසාගැනීමට හා ප්රචණ්ඩත්වයට යොමු වී ප්රශ්නවලින් පලා යද්දී ගැහැනිය කඳුළු සලන්නේ - ඉකිබිඳින්නේ ආත්ම ධෛර්යය ඇති කර ගැනීමටය.
පුරුෂාධිපත්යයට අභියෝග කරන ‘කාන්තා ආධිපත්ය’ පවුල් සංස්ථාව හා සමාජ දේහය තුළ පෝෂණය වන යුගයකට පිවිස ඇත. කාන්තාවන්ට පිරිමින්ගෙන්, සමාජයෙන් හා ආගම්වලින් එල්ලවන සාහසික පීඩනයත් මර්දනය කිරීමට කාන්තා චිත්ත අභ්යන්තරයේ නිද්රෝපගතව තිබූ අභිමානය හා කුසලතාව අවදි වේ. උප විඥානයේ නිධන් ගතව තිබූ නපුරු - ගුණමකු - නොදැමුණු ආවේගයන් ප්රාණවත් වීමක් ද ඉන් සිදු වේ.
කලාපයේ යුවතිය
රාජ්ය, සංස්ථාවල සේවය කරන ලක්ෂ 7ක් වන කාන්තාවන් හැරුණුවිට ඉතිරි ශ්රම බළකාය වෙළඳ කලාපයට, විදේශ සේවයට, තේ දලු නෙළීමට, වෙළඳ සහායිකා සේවයට, දුරකතන හුවමාරු ස්ථානවලට, සම්බාහන ආයතනවලට, ගණිකා මධ්යස්ථානවලට, ජනමාධ්ය ආයතන හා පරිගණක මධ්යස්ථානවලට අනුයුක්තව ඇත.
වර්තමාන ශ්රී ලංකාවේ උගත් තරුණියන් අතරින් වැඩිම ප්රතිශත අයත් වන්නේ රැකියා විරහිත සංඛ්යාවටය. කලාප යුවතියන් අතරින් පමණක් අ.පො.ස. (සා/පෙළ) සහ (උ.පෙළ) සමත් අයගේ ප්රතිශතය 43% බව සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත. මෙරට වාර්ෂික ජාතික ආදායමට කෝටි ගණනක් උපයා දෙන්නේ ලක්ෂ 10 පමණ වන කලාප යුවතියන්ගේ ශ්රම දායකත්වයෙනි. එසේම විදේශගත කාන්තාවන්ගේ සංඛ්යාව ලක්ෂ 15 ඉක්මවා ඇත. විදේශීය හාම්පුතුන්ගේ හිරිහැරවලට ලක් වෙමින් ජීවිතයෙන් වන්දි ගෙවමින් විවිධ රෝගාබාධවලට ගොදුරු වෙමින් හා සිර ගෙවල්වල රැඳෙමින් ඔවුන් තම තාරුණ්යය හා ශ්රමය විකුණමින් සිටිති. මෙම කාන්තාවන් දුක් විඳගෙන මේ රටට එවන මුදලින් මෙරටේ විදේශ විනිමය වැඩි වන තරමටම ඇතැම් කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන් පරදාර සේවනයට සහ බේබදුකට යොමු වී සිටිති. ඒ අතරේ ලක්ෂ 7ක් වන වතු කම්කරු ප්රජාවගෙන් ලක්ෂ 3ක් පමණ වන කාන්තාවෝ ලැයින් නිවාසවල අඩුම සෞඛ්ය, ආහාර අපහසුව විඳ දරාගනිමින් සුළු දෛනික දීමනාවක් වෙනුවෙන් දලු නෙළීම සිය වෘත්තිය කොට ගෙන සිටිති.
කාන්තාවන්ගේ භාෂා දැනීම පිරිමින් අබිබවා ගොස් ඇත. පිරිමි භාෂා දැනීමේ වර්ධනය (දිස්ත්රික්ක 17 ක 1991 සමීක්ෂණයක් අනුව) 83.1% වන විට එය කාන්තාවන් සඳහා 90.2% දක්වා ඉහළ ප්රතිශතයක් ගෙන ඇත. ඒ අතර පසුගිය දශක දෙක තුළ දී කාන්තා විරැකියාව පිරිමින්ගේ මෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. අවු. 20 – 30 අතර කාන්තාවන් කෙරෙහි මෙය ඉතාමත් අවාසිසහගත ලෙසට බලපා ඇත. තීරණ ගැනීමේ ක්රියාවලියේදී හා සංවර්ධනයට දායක කරගැනීමේ දී කාන්තාවන් සතු ජීව විද්යාත්මක කාර්යභාරය හා සමාජ මෙහෙවර අඩු තක්සේරුවකට ලක්ව ඇත.
ශ්රී ලංකාවේ වසරක දරු උපත් සංඛ්යාව දළ වශයෙන් ලක්ෂ 2ක් පමණ වේ. ඉදිරි දශකයේ මවුවරුන් දැඩි මානසික, ශාරීරික හා සමාජීය පීඩනයට පත් වෙති. එම නිසා මොවුන්ට අවශ්ය ශාරීරික පෝෂණය, මානසික තෘප්තිය, ආරක්ෂාව සහ සේවා අවශ්යතා (නිසි වැටුප, ගමනාගමන පහසුව, නිවාස, සෞඛ්ය පහසුව, පවුල් සුභසාධනය, ක්රීඩා හා කලා පහසුව) ලබා දීම ජාතියේ යුතුකම වේ.
ජාතියේ සම්පත නිරෝගී බුද්ධිමත් මාතාවන් සහ දරුවන්ය. රටේ වගකීම දැරීමට අවශ්ය බුද්ධිමතුන් වෛද්යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, නීතිඥයින්, කලා ශිල්පීන්, ක්රීඩක ක්රීඩිකාවන්, තාක්ෂණ ශිල්පීන් හා සෙබළ සෙබළියන් බිහි වන්නේ මෙම අනාගත මවු පරපුරෙනි. ඔවුන්ව පෝෂණය කර රැකබලා ගැනීම වත්මන් පරපුරේ යුග කාර්යය බවට පත් විය යුතුය. එහෙත් මෙම මූලික මානව අවශ්යතාව පිළිබඳ මානව හිමිකම්, උද්ධමනය, ප්රචණ්ඩත්වය, ජනවාර්ගිකත්වය, සාමය, පාරිසරික ප්රශ්න, ළමා කාන්තා අපචාර හා ගෝලීකරණය පිළිබඳව ලියන, දේශන පවත්වන උගතුන්, රාජ්ය නොවන සංවිධාන මඟින් පොම්ප කරන මුදලින් යැපෙන කාන්තා අභිවෘද්ධි සංවිධාන ප්රමාණවත් මෙහෙවරක් ඉටුකර තිබේද? 20 වසරක යුද්ධය නිසා වැන්දඹු කාන්තාවන් ලක්ෂ 4 දක්වා වැඩි වී ඇත.
වෙෙළඳ දැන්වීම්
ආර්ථික හා සමාජ සංවර්ධනයේදී කාන්තා ප්රගතිය අඩුය. තීරණ ගැනීමේදී පවා කාන්තාවට හිමි උරුමය පවුල් සංස්ථාව හා නෛතික තලයේදී අවතක්සේරුවට ලක් වේ. එහෙත් රටට ආදායම් උපද්දවන ශ්රම බළකායෙන් 65%ක් නියෝජනය වෙන්නේ කාන්තාවන්ය. නමුත්, හිස සිට දෙපතුල දක්වා නාරි දේහය වෙෙළඳ දැන්වීම් සඳහා යොදා ගැනීමෙන් කාන්තාව වෙෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇත.
එපමණක් නොවේ, ශ්රී ලංකාව පුරා ව්යාප්තව ඇති රූපලාවණ්ය වැඩමුළු, සංගීත, නාට්ය පුහුණු, උපකාරක පන්ති, රූප සුන්දරී තරග විසින් යෞවනියන්ගේ ආත්මය, ජවය, තාරුණ්යය තළාපෙළා විනාශ කරන විදේශ හා දේශීය කාමාතුරයන්ට අවශ්ය ශාරීරික යටිතල පහසුකම් සපයා දෙන මධ්යස්ථාන බවට පත්ව ඇත. රටේ ආර්ථික දේහය පෝෂණය කරන ජාතියේ වැඩිම ශ්රම බළකාය වන කාන්තා පරපුරේ රැකවරණයට ඇත්තේ, ඔවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් නිහඬව විඳවන ඔවුන්ගේ ආත්ම ධෛර්යය ආත්ම විශ්වාසය හා ආත්ම ශක්තිය පමණි.
නමුත්, මෙරට දසසිල් මාතාවන් 4000ක් පමණ සිටිති. මෑණිවරුන්ට වැඩ වාසය කිරීමට සුදුසු ආරාමයන් ඇත්තේ ද අල්ප වශයෙනි.
පාර තොටේදී ලිංගික අඩන්තේට්ටම්වලටත්, නිවසේදී ස්වාමිපුරුෂයාගේ ගෘහස්ථ ප්රචණ්ඩත්වයටත් ගොදුරුවන කාන්තාවන්ට පිළිසරණක් දීම මවු ගුණ සුවඳ හඳුනන අයගේ යුතුකමකි.
නවීන විද්යාත්මක සොයා ගැනීම් අනුව මානසික විඳවීම් අතෘප්තිය හා සමීපතමයන්ගෙන් සෙනෙහස නොලැබීම නිසා නූතන කාන්තා පරපුර ශාරීරිකව රෝගී වී සිටිති. ක්ලමතය එම රෝගයයි. තරබාරුව, දණහිස් ආබාධ, හෘදයාබාධ, ශ්වසන රෝග හා සමේ රෝග එහි රෝග කාරක වේ. රජයේ හා පෞද්ගලික රෝහල්වලින් ප්රතිකාර ගැනීමට පැමිණෙන කාන්තාවන්ගෙන් වැඩි ප්රතිශතයක් පීඩා විඳින්නේ මවුවරුන්ට පමණක් වැලඳෙන මෙම රෝගයෙනි.
නූතන කාන්තා පරපුර අත්විඳින ප්රධානතම රෝගය වී ඇත්තේ ආත්මීය තනිකමය. විශේෂයෙන්ම විවාහක කාන්තාවන් මෙම ආධ්යාත්මික තනිකමට ගොදුරු වී ඇත. කාන්තාවන්ගේ රුචි - අරුචිකම් සිතුම් - පැතුම්, ආශාවන් සහ අවශ්යතාවන් තේරුම් නොගත් ස්වාමිපුරුෂයින්ගේ අධිපතිවාදී රාමුව තුළ එම කාන්තාවන් මානසිකව හා ශාරීරිකව ජීවිතය පුරාවට සිරවී විඳිමින් සිටිති. එයට අමතරව බේබදු සහ අසම්මත ලිංගික හැසිරීම්වලට ප්රිය මිනිසුන්ගේ අත්අඩංගුවට ද පත්ව ඇත. විවාහක කාන්තාවන් පවුල්, කුටුම්බ තුළ මෙවන් ශෝචනීය පීඩනයකට ලක් වෙද්දී අවිවාහක යෞවනියන් සමාජ ගනුදෙනුවලදී හා පාර තොටේදී අශ්ලීල පිරිමින්ගේ කෙළිබඩුවක්, බවට පත්ව ඇත. මෙම ආත්මීය පීඩනය පුපුරා යන අවස්ථාවන් ද එළඹෙනු ඇත. මෙහි අනිවාර්යය ප්රතිවිපාකයන් වනුයේ විලිබිය නැති කරන උතුම් මාතෘත්වය කෙලෙසන අසම්මත සමාජ විරෝධී කාර්යයන් සඳහා කාන්තාවන්ගෙන් සීමිත ප්රතිශතයක් ආකර්ෂණය වීමේ ප්රවණතාවය වැඩි වීමය. සම්ප්රදායික ජීවන රටාවට අනුව හැඩ ගැසුණු කාන්තාවෝ මෙය, පෙර කර්මයේ පලදීමක් ලෙසට සිතමින් නිසොල්මනේ විඳවමින් සිටිති. එහෙත් සත්ය වශයෙන්ම කළ යුතුව ඇත්තේ තම යටි හිතේ නිධන්ගතව ඇති අධිමානසික ශක්තීන් සහ සහජ හැකියාවන් අවදි කර ගැනීමය.
රාජාණ්ඩු යුගවලදී ද කාන්තාව ලිංගික වෙෙළඳ භාණ්ඩයක් ලෙසට පුරුෂාධිපත්ය විසින් සලකා ඇත.
ආසියාතික රටවල කාන්තාව උතුම් මාතාවක් - නැඟණියක් - දියණියක් ලෙසට මාතෘ මූලිකව පවුලෙත් - සමාජයේත් - රටේත් ඇගයීමක් සහ වටිනාකමක් දී තිබිණ. බාහිර වශයෙන් කාන්තා නාරි ලාලිත්යට මෙන්ම ආධ්යාත්මික වශයෙන් ඔවුන්ගේ දැනීම - කුසලතාවය - කැපවීම අවංකභාවය මෙන්ම ආකල්පවලට පිළිගැනීමක් මෙන්ම හිමි තැන ලැබෙමින් පවතී.
මෙතෙක් පිරිමින්ට පමණක් සීමා කරගෙන තිබූ ආර්ථික - පරිපාලන - නීති -වෛද්ය ක්ෂේත්රවල ඉහළ තනතුරුවල මෑතක සිට නිරතවන්නේ කාන්තාවන් විසිනි. (දිසාපතිවරියන්, නීතිඥවරියන්, අධ්යක්ෂකවරියන්, විදුහල්පතිවරියන්, විනිශ්චයකාරවරියන්, වෛද්යවරියන්, සන්නද්ධ සේවය) සරසවි 18ක අධ්යාපනය ලබන ශිෂ්ය සංඛ්යාවෙන් හා ගුරු - ලිපිකරු සේවයේ යෙදී සිටින අතිබහුතරය කාන්තාවන්ය.
රියැලිටි වැඩසටහන්
පුරුෂයා විසින් දකින්න ප්රියමනාප - ගත සිත කුල්මත් කරන වස්තුව කාන්තාව බවට බුදුන් විසින් එක් සුත්රයකින් දේශනා කර ඇත. අතීත රජ දවස කාන්තාව අන්තඃපුරවලට සීමා කර ඇත. ධනේශ්වර යුගයේදී රූප සුන්දරී තරග හරහා කාන්තාව සල්ලිකාර පිරිමින්ගේ පරිභෝජනය සඳහා යොදා ගෙන ඇත. වර්තමානයේදී රියැලිටි වැඩසටහන් - කාමුක චිත්රපට - සංගීත සංදර්ශන වෙෙළඳ දැන්වීම් හරහා ගණිකා සේවා හා සම්බාහන මධ්යස්ථාන තෙක් විකාශනය වී ඇත. එහෙත් පිරිමි ඇස - මනස යොමු කළ යුත්තේ පංචකාමයේ උල්පත වූ නාරි දේහය වෙතට නොව ඇයගේ ආධ්යාත්මය තුළටය.
එහෙත්, කැපී පෙනීමේ ආශාව ලද බොළඳ හා රාගිකත්වය නිසා නූතන කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතා ජුගුප්සාජනක වී ඇත. මෙම අශ්ලීල මොස්තරවලින් සැරසෙන්නේ තරුණියන් නොවේ. දරුවන් ඉන්නා අම්මලාය.
කාන්තාව යනු පුරුෂාධිපත්යයට ගොදුරු වූ ජිවීන් කොට්ඨාසයක් නොවේ. මිහිතලයට ජිවීන් උත්පාදනය කරන සම්පතකි. කාන්තාව ප්රියතාවක් දක්වන්නේ පිරිමියාගේ මනසේ ජීවත්වන ආධ්යාත්මික මිනිසාටය.
කාන්තාවන්ගේ යුග කාර්යය බවට පත්ව ඇත්තේ ස්වාමිපුරුෂයාට උයා පිහා දීම, දරුවන් බලා ගැනීම, වැඩිහිටියන් නාවා රැකබලා ගැනීම, ඇඳුම් සේදීම හා ස්වාමියාගේ ලිංගික කාර්යයට සූදානම් වීම පමණක් ද? කාන්තා දැනීම - ජවය - කුසලතාවය - කැපවීම රටේ නිෂ්පාදනයට ආර්ථික - තාක්ෂණික - කෘෂිකාර්මික - විද්යාත්මක - අධ්යාපන හා සෞඛ්ය ක්ෂේත්රයට ප්රතිශතයකින් තොරව දායක කර ගත යුතුය.
පුරුෂයාගේ ලිංගික මෙවලමක් - ආහාර සකස්කර දෙන යන්ත්රයක් - ඇඳුම් සෝදන වොෂින් මැෂිමක් හා ජීවිතයේ අවසාන කාලයේ පිරිමියා හා දරුවන් රැකබලා ගන්නා උපස්ථායිකාවක් බවට කාන්තා පරපුරට පේටන්ට් බලපත්රයක් පුරුෂයා විසින් දී ඇත. පුරුෂාධිපත්යය අබිබවා කාන්තා සොඳුරු ආධිපත්යය පිබිදෙන, යුගයක් උදාකරගත යුතුය. ලද බොළඳ බව නිසාත් ආගමික හා සංස්කෘතික පෙලඹවීම (හණමිටි, බමුණු මත) නිසාත්, ජීව විද්යාත්මකව සකස් වී ඇති ශාරීරික ස්වභාවය (දරු ප්රසූතියට හා පුරුෂ ආකර්ෂණයට) නිසාත්, ස්වාමියාගෙන්, දරුවන්ගෙන් හා සමාජයෙන් එල්ලවන දෝෂාරෝපණයන්ටත්, පීඩනයන්ටත් ගොදුරුව ජීවත්වන තුරාවට ජීවිතය විඳවන්නට කාන්තා පරපුරට සිදුව ඇත.
කාන්තාවන්ගේ ශෝකාලාපය
කාන්තාවක් වීම නිසාම සදාකල් විඳවන අනිවාර්ය මානව සාධක කිහිපයකි. ඒවා නම්, විවාහ වී පුරුෂයාගේ නිවෙසට යාම, නව මසක් දරු ගැබ දරා සිටීම, පුසූත වේදනා පුරුෂාධිපත්යට අනුගත වීම, දරුවන්ගෙන් එල්ලවන දෝෂාරෝපණ, මානසික පීඩනය, නොසැලකීම් හා අකීකරුකම වශයෙනි.
පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වන කාන්තා හිංසන හා අපරාධ පිළිබඳ දළ සංඛ්යා ලේඛන දේශය ජීවත් කරවන කාන්තාවන්ගේ ශෝකාලාපය වෙමින් පවතී. දෛනික කාන්තා දූෂණ 5 - දෛනික කාන්තා ඝාතන 5, ගෘහස්ථ හිංසන මාසිකව 200, මඟතොට දෛනික හිංසන 15, දෛනික ගබ්සාවන් 200, දෛනික මරණ 5, දික්කසාද මාසිකව 200, බිලිඳු මරණ මාසිකව 5, ස්වාමියා බිරිඳ මැරීම වාර්ෂිකව 75 - කාන්තා සියදිවි නිසා ගැනීම් (මාසිකව 5) කාන්තා - ළමා අපචාර වාර්ෂිකව 1500 මෙයට අමතරව පුතා විසින් මව දූෂණය කිරීම, ඝාතනය කිරීම, අනියම් පෙම් සබඳතා නිසා සිදු වන කාන්තා ඝාතන පිළිබඳ නොනිල වාර්තා පුවත්පත්වල පළවේ. (මෙම සංඛ්යා ලේඛන උපුටා ගන්නා ලද්දේ දිනපතා මාධ්ය හෙළිදරව් කිරීම් හා පොලිස් වාර්තා අනුසාරයෙනි.
මානවයාගේ සහජ යටපත් ආශාවන් වන ලිංගිකත්වය, ප්රචණ්ඩත්වය හා ආත්ම ලාභය ක්රියාත්මක වන යුගයක එළිපත්තට අපි පිවිස ඇත්තෙමු. භද්ර යෞවනයේ පසුවන කාන්තාවන් ලිංගික ඉලක්කය බවට පත්ව ඇත. ස්ත්රී ලාලිත්වයෙන් යුක්ත නාරි දේහය භුක්ති විඳිමටත් එයට ස්වාධිපත්ය දැරීමටත්, පවතින ගිජු බවින් උන්මාදයට පත් පුරුෂාධිපත්යයෙන් සමස්ත කාන්තා පරපුරම මුදා ගැනීමේ අදියරට අපි පිවිස ඇත්තෙමු. එයට ප්රතිකර්ම මෙන්ම උත්තේජනය සැපයීම අදාළ බලධාරීන් පමණක් නොව මුද්රිත හා විද්යුත් මාධ්යය ඇතුළු සිවිල් සමාජයේ උරමත ඇත. තම විඥානයේ තැන්පත් ශක්තීන් උත්තේජනය කරමින් ආධ්යාත්මික ගවේෂණයක නිරතව සිටින කාන්තාව යනු සෑම මානවයකුගේම ආදරණිය මෑණියන් කෙනෙකි. සදාදරණීය සොහොයුරියකි. සෙනෙහෙබර දියණියකි. නැතහොත් ප්රිය බිරිඳය. එබැවින් ඇය සුරැකීම අප සැමගේ යුතුකමයි
උග්ගල්බඩ අමරසිංහ
No comments:
Post a Comment