Sunday, 24 April 2022

අතට ගත් දේ කටට දාගන්න බැරිවුණු අමුතු හොරෙක්… !


සොරකම් සම්බන්ධව කාලයක් බන්ධනාගාරගතවී සිටි නලින් නමැති 32 හැවිරිදි දෙදරු පියා මෑතකදී හිරෙන් නිදහස ලැබුවේය.

කුරුණෑගල ප්රදේශයේ පදිංචි නලින් විවාහවී සිටියේ වත්තල ප්රදේශයේ තරුණියක් සමගය. නලින් කලකට පෙර යුද්ධ හමුදාවේ සේවය කළේය. ඔහු කමාන්ඩෝ පුහුණුව ලැබූ අයෙකි.
එහෙත් ඔහු හමුදා රැකියාව පසුව අතහැරියේය. සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රැකියාව මෙසේ අහිමිවී තිබූ බව පොලිස් පරීක්ෂණ අනුව හෙළිවී ඇතැයි ඔහු අත්අඩංගුවට ගත් කඩඩඩඩඩවත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා පැවසීය.
කෙසේ හෝ වේවා ඔහු ලැබූ කමාන්ඩෝ පුහුණුව නිසා යෑමට නොහැකි ඉතා අසීරුතැන්වලට පවා රිංගා යෑමට නලින් අපූරු හැකියාවක් ලබා තිබුණි.
හමුදාවෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු කළේ සොරකම් කිරීමය. එසේ මෙසේ හොරකම් නොව මුදල් සේප්පු කැඩීමය.
බැංකු ඇතුළු විවිධ ආයතනවල ප්රධාන පෙළේ වෙළෙඳ සල්වල සේප්පු කැඩීම ඔහුට ඉතා පහසු කාර්යයකි. කොපමණ මුදල් සොරකම් කළත් ඔහු නීතියේ
රැහනට හසුවීම හේතුවෙන් මොහු ඉපයූ දෙයක්ද නැත. බන්ධනාගාරයෙන් නිදහස් වූ නලින් මෑතකදී බස් රියෙන් යද්දී කඩවත ජනාකීර්ණ සාප්පුවක් දුටුවේය. එම සාප්පුව ‘කැන්ඩි නම්’ ඇඳුම් සාප්පුවය.
මෙහි ඇති වෙන්න මුදල් ඇතැයි නලින් සිතුවේය. සිංහල හිංදු අලුත් අවුරුදු සමයේ සාප්පුව නිවාඩුවට වසන දවසක එහි මුදල් සේප්පුව කැඩිය යුතු බව ඔහු සිතා ගත්තේය.
අතට ගත් දේ කටට දාගන්න බැරිවුණු අමුතු හොරෙක්…
මේ අනුව මොහු දිනක් කැන්ඩි රෙදි සාප්පුවට ඇතුළුවී රෙදි මිලට ගන්නා ආකාරයෙන් හැසිරී
අවශ්ය සැලසුම ක්රියාත්මක කළේය.
කෙසේ වෙතත් සාප්පු ගොඩනැඟිල්ල සියලු පරීක්ෂණවලට භාජනය කිරීමට ඔහුට හැකිවී තිබුණි. මොහු අමුතුම ඝනයේ සොරෙකු බව කඩවත පොලිසිය කියයි. ඔහු සිදුකරන සොරකම්වලට කිසිදු කෙනෙකු සහභාගි කර ගැනීමට ඔහු කැමැත්තක් නැත.
සොරකම හවුලේ කළහොත් එය ආරක්ෂාවට තර්ජනයක් බවට ඔහු සිතන්නට ඇත. ඉකුත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ 14 වැනිදා මෙම සාප්පුව වසන බව දැනගත් සැකකරු සේප්පුව කැඩීමට යොදා ගන්නා උපකරණ පවා රැගෙන ආවේය.
මොහු එදා රෑ බෝ වනතෙක් ඒ අවට ගැවසුණේය. තැනින් තැන රතිඤ්ඤා හඬ පාරේ යන වාහන ශබ්ද මැද ඔහුගේ මෙහෙයුම සිදුවිය. මෙම සාප්පුව පිටුපස පිහිටි කඩවත සිට මාවරමණ්ඩිය දක්වා පිහිටි මාර්ගය දෙසින් එම සාප්පුවට අයත් ගොඩනැඟිල්ලේ යට මහල දෙසින් ඉතා සූක්ෂම අන්දමින් සාප්පුව තුළට පැන ඇති බව පොලිසිය කියයි.
ඔහු ලැබූ හමුදා කමාන්ඩෝ පුහුණුව එය ඔහුට වඩාත් පහසු කාර්යයක් වූ බව පොලිසිය කියයි. මොහු සේප්පුව කැඩීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගෙන තිබුණි. විදුලි කාර්මිකයෙකු ලෙසින් ඔහු නිසි ආකාරයට සේප්පු කැඩීම ආරම්භ කළේය.
රතිඤ්ඤා හඬ මෙන් වාහන ශබ්ද නිසා මෙම සාප්පුව තුළ සේප්පුව කඩන ශබ්දය අහළ පහළට නොඇසේ. මොහු කිසිදු හදිසියක් නොමැතිව වැඩේ දිගටම කරගෙන ගියේ මෙම සාප්පුව 15 වැනිදාටත් අවුරුදු නිවාඩුව මත වසා දමන බවට ඔහු තුළ තිබූ දැඩි විශ්වාසයත් අනුවය.
මේ අනුව මෙම සාප්පුව 18 වැනිදා දක්වාම වසා තබන බවට ඔහුට විශ්වාසයක් තිබුණි. නලින් එදා රාත්රියේ හොඳටම හෙම්බත් වූයේය. වරින් වර ගිමන් ඇරියේ ඇතැම් අවස්ථාවලදී මෙම සැකකරු සාප්පුව පුරා නිදහසේ ඇවිද යමිනි.
එක දිගට මහන්සිවීම හේතුවෙන් මොහුට තද කුසගින්නක් ඇතිවී තිබුණි. සාප්පුවේ යටි මහලේ ආහාර වර්ග අලෙවිකරන ස්ථානයක්ද පිහිටා තිබුණි. විකිණීමට තිබූ කජු තොගයක් දැක ඒවා රාත්රි ආහාරයට ඔහු යොදාගෙන තිබුණි. කෙසේ වෙතත් මහත් අසීරුවෙන් මුදල් සේප්පුව කැඩූ මොහු එහි තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් බෑගයක දමා ගත්තේය.
‘මුළු ලෝකය දැන් තමාගේ යැයි ඔහු සිතන්නට ඇත. ගෙදර බිරිඳගේත්, දරු දෙදෙනාගේත් වාසනාව යැයි ඔහු සිතන්නට ඇත. එදා මහ රෑ ඔහු කජු තොගය දිගටම කාගෙන කාගෙන ගියේ අධික කුසගින්න නිසාය.
අතට ගත් දේ කටට දාගන්න බැරිවුණු අමුතු හොරෙක්…
සේප්පුව කඩා ගත් මුදල් තොගය ඒ අසල තබා ඔහු නිදා ගත්තේය. කජු කෑ හේතුවෙන් ඔහුට මත් ගතියක්ද තිබී ඇත. එහෙත් ඔහුගේ බලාපොරොත්තු සියල්ලම සිහිනයක් බවට පත්කරමින් පසුදින එනම් 15 වැනිදා මෙම ඇඟලුම් සාප්පුවේ සේවකයන් විසින් සාප්පුව විවෘත කරනු ලැබීය.
විදුලි එළිය සාප්පුව පුරා දැල්වුණි. හොඳටම නින්ද ගොස් සිටි මොහු අවදි වුණේය. සේවිකාවක් මුලින්ම මෙම හොරාගේ සේයාව දැක තිබුණි. ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කරද්දී සොරා සාප්පුවේ ඇතුළේ සිටින බව කාටත් වැටහුණි.
කඩවත පොලිසියට දැනුම් දුන්නේය. සිද්ධ වෙන්න යන්නේ කුමක්දැයි කියා සැකකරුට තේරුණි. පිස්සෙකු මෙන් මොහු එහේ මෙහේ ඇවිද්දේය. සාප්පුවට හොරෙන් පැමිණ ඇති බව සේවක සේවකයන්ට පෙනෙන්නට තිබුණි. පොලිසිය සහ සේවකයන් ඇතුළු සාප්පුවේ ආරක්ෂක නිලධාරීන් මේ සැකකරුව අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළේය. සාප්පුවේ සියලුම මහල් පරීක්ෂා කළේය. අවසානයේදී එහි වතුර ටැංකිය පරීක්ෂා කරද්දී සැකකරු එහි සැඟවී සිටියදී පොලිස් භාරයට පත්විය.
සර්… මම හිතුවේ නැහැ මේ සේප්පුවේ මෙච්චර මුදලක් තියෙයි කියලා. මේ සාප්පුවට කලින් කිරිබත්ගොඩ සාප්පුවකත් මම පරීක්ෂාවට ලක් කළා. අන්තිමේදී මේ කඩවත සාප්පුව හොරකමට තෝරා ගත්තා. මම මේ සල්ලිවලින් ගොඩාක් දේවල් කරන්න හිතුවා යැයි ඔහු පොලිසියට ප්රකාශ කළේය.
මොහු දුන් පොලිස් ප්රකාශ ඇසුරෙන් ඔහුගේ සොරකම පිළිබඳව අපට මෙම තොරතුරු අනාවරණය විය. මෙම රෙදි සාප්පුවේ මීට කලකට පෙරත් බැංකුවට තැන්පත් කිරීමට ගිය විශාල මුදලක් තවත් කොල්ලකරුවන් කණ්ඩායමක් කොල්ල කෑ නමුත් එම සැකකරුගෙන් එම මුදල්
ප්රමාණය යළි එම සාප්පුවට ලැබුණි.
දහදිය මහන්සියෙන් අවංකව උපයන මුදලක් නිරපරාදේ සොරුන් අතට පත්වෙන්නේ නැතැයි කඩවත පොලිසිය කියයි. මෙම සැකකරුගෙන් තවදුරටත් ප්රශ්න කිරීමට පෑලියගොඩ පොලිසියට භාරදී ඇත.

● නෝමන් පලිහවඩන

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...