අනුරාධපුර යන කාටත් හුරුපුරුදු නුවර වැවට වයස අවුරුදු 2100ක් පමණ වේ. නගරය මැද ඉදි කළ නිසා එයට නුවර වැව හෙවත් ''නකර වවි'' යන නම පුරාණයේ දී ලැබී තිබේ. නගරය අලංකාර කිරීම, ජල පහසුව ලබාගැනීම මෙන්ම අධික උණුසුම තුරන් කිරීමත් පුරාණ වාරි ඉංජිනේරුවන් නගරය මැද වැව් ඉදිකිරීමේ අරමුණ විය.
අදටත් අනුරාධපුර නගරය සුන්දර කරමින් නගර මධ්‍යයේ පිහිටි මේ වැව වැව වළගම්බා රජු ක්‍රි.පූ. 1 සියවසේ කරවන ලද වැවක් ලෙස සැලකේ. දෙවැනි මුගලන් රජු විසින් මෙය ප්‍රතිසංස්කරණය කරවා තිබේ. මෙරට වාරිමාර්ග පිළිබඳ අනගි ගවේෂණයක් කළ ආර්.ඇල්. බ්‍රෝහියර් නුවර වැව පිළිබඳව සටහන් තබා තිබේ. “නුවර වැව ඇතැම් විට ක්‍රි.ව. පෙර පළමු සියවසේදී වට්ඨගාමිණී රජු විසින් කරන ලද්දකි. එය අනුරාධපුර නුවර, පෙර පැවති වැව්වලින් අන්තිම වැව වේ. මෙය අලංකාරත්වයෙන් හා ප්‍රයෝජනවත් බවින් නගරය තුළ පිහිටි වැව් අතුරින් ඉතාම සැලකිය යුතු වැවය. සර් හෙන්රි වෝර්ඩ් මේ පුදුම කර්මාන්තයෙහි අවුරුදු බොහෝ ගණනක් මුළුල්ලේම 50,000ක් සෙනඟ මෙහි සිටින්නට ඇතැයි විස්තර කරන්නේය. නමින් නුවර වැව වුවද එය පිහිටා තිබෙන්නේ මල්වතු ඔය දකුණු ඉවුරේ ගැඹුර නැති සමතලා පල්ලමකය. තැනින් තැන ගල් සිටුවන ලද අලංකාර බැම්මක් සහ පුදුමාකාර ලෙස කැඩුම් බිඳුම් නැති යහතින් තිබෙන ගල් දිය දොරක් සහිත වැවේ වට වළල්ල හැතැප්ම පහක් යැයි කියා තිබේ. වැව බැම්මෙන් දිය පිටවෙන දොරටුව අසල නාගර අකුරුවලින් ලියන ලද ගල් සන්නසක් සහ ගලක කොටා තිබෙන නයි පෙනයක් ගැන ද සටහන් කර ඇත.
එදා කම්කරු ශ්‍රමයෙන් හා කැපවීමෙන් ඉදිවුණු මේ වැව් අද වනවිට දේශපාලනඥයන් මෙන්ම දේශපාලන අනුහස සහිත වන්දිභට්ටයන් ද විසින් වනසා දමන්නේ නවීන යන්ත්‍රසූත්‍ර යොදා ගනිමිනි. එවැනි අලකලංචියක් සිදුවන නුවර වැවට බැල්ම දැමූ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකු ගැන පසුගියදා අසන්නට ලැබුණි. බලගතු දේශපාලනඥයන්ට අනාවැකි කියන සාත්තරකාරියක් ද ප්‍රබල ඇමැතිවරයෙක් සහ රාජ්‍ය ඇමැතිවරයෙක් ද ඒ අතර සිටියහ. ඔවුන් සියලු දෙනාම නුවර වැව වාරි රක්ෂිතයට අයත් භූමියෙන් අනවසර ඉදිකිරීම් කර ඇත්තේ රාජ්‍ය අනුහසින් බව ප්‍රදේශවාසී ගොවීහු පවසති. පසුගිය දිනවල වාර්තා වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයා බැකෝ යන්ත්‍ර දෙකක් සහ ලොරි යොදාගෙන මහා පරිමාණයෙන් නුවර වැව ගොඩකරමින් සිටින බවයි. මේ අකටයුතුකම් හමුවේ වාරිමාර්ග නිලධාරීන්ට මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරයාටත් ඇස්කන් වසාගෙන සිටිමට සිදුවීම කනගාටුදායකය.
මෙම ඇමැතිවරයාගේ නිවෙස ආසන්නව ඇමැතිවරයාට අයත් හෝටලයක නවීකරණ කටයුතු සිදුකරන බවත් නුවර වැවට ආසන්නව පිහිටා තිබෙන අතර වැව රක්ෂිතය ගොඩකරමින් හෝටලයේ ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් වාර්තා වේ.
වැව පිටාර ගලන අවස්ථාවලදී හෝටලය සහ ඉඩම යටවීම පාලනය කිරීම සඳහා අදාළ ඇමැතිවරයා වැවේ පිටවාන් මට්ටම තවත් පහත් කිරීමේ සූදානමක් පවතින බවට ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අප කතා කළේ අනුරාධපුරයේ ක්‍රියාකාරී ගොවි නියෝජිතයකු වන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්නටයි: ''මේ වන විට නුවර වැවේ වාරි රක්ෂිත සීමාව සලකුණු කර ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 88.5ක් උසකින්. එම මට්ටම මීටර 88 දක්වා පහත හෙලීමේ උත්සාහයක මේ ඇමැතිවරයා යෙදී සිටිනවා. ඒකට හේතුව නම් වාන් මට්ටමට එන විට හෝටලයේ ඉදිකිරීම් ජලයෙන් ආරක්ෂා කර ගැනීමටයි. මෙහි සමහර කොටස් වැව් රක්ෂිත සීමාවට අයත්. නුවර වැවේ රක්ෂිතයේ වසර 40-50 කාලයක ඉඳන් ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ පවුල් 203ක් ද සිටිනවා. මේ නිසා ඔවුන්ටත් වන්නේ අසාධාරණයක්. රක්ෂිත සීමා මට්ටම අඩු කරගත් විට යළිත් ගොඩ කර ගොඩනැගිලි ඉදිකරාවි. එවිට වැවේ ජල ධාරිතාවය අඩු වෙනවා. නුවර වැව තමයි අනුරාධපුර නගරයට පානීය ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය. මිහින්තලේ දක්වා ජලය ලබාදෙන්නේ මේ වැව මගින්. ජල මට්ටම අඩු වුණාම කුඹුරුවලට සපයන ජලය වගේම පානීය ජල ප්‍රමාණයත් අඩු වෙනවා.''
නුවර වැව වාරි ව්‍යාපාරය මගින් ජලය සපයන කුඹුරු ප්‍රමාණය අක්කර 2600කි. ජල මට්ටම පහත හෙලූ විට වැවට අහිමිවන ජල ප්‍රමාණය අක්කර අඩි 13500කි. නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති අනුරාධපුර නිවත්තක චේතිය රජමහා විහාරාධිපති රත්ගම සමිත හිමි පවසන්නේ අනවසරයෙන් ඉදිකර ඇති හෝටලයේ අපජලය මෙන්ම වැසිකිලි පද්ධති ද හරවා ඇත්තේ නුවර වැවට බවයි. ‘‘නුවර වැවේ රක්ෂිත උස් සීමාව අඩුකරන ගැසට් පත්‍රය ද කෙටුම්පත් කර අවසන් බව ආරංචියි. මේ වැවේ රක්ෂිත සීමාව අඩු කිරීම ලංකාවේ අනෙක් වැව්වලටත් අහිතකරව බලපාවි. අනෙක් වැව්වල රක්ෂිත අඩුකිරීමටත් දේශපාලනඥයන් උත්සාහ කරාවි.‘‘ යයිද උන්වහන්සේ මාධ්‍යවලට පවසා සිටියහ.
හෝටලය පිටුපසින් පිහිටි නුවර වැවේ රක්ෂිත පෙදෙස ගොඩකිරීම සිදුවන්නේ රාත්‍රී කාලයේදී බව ගොවියෝ පවසති. අනුරාධපුර නගරයෙන් පිටත ප්‍රදේශවලින් පස් කපා ලොරිවලින් පස් ගෙනැවිත් රාත්‍රී කාලයේදී වැව් රක්ෂිතය ගොඩකරන බව පැවසේ. මේ කටයුත්තට එරෙහිව පසුගියදා නුවර වැවෙන් ජලය ලබාගෙන ගොවිතැන් කරන සිය ගණනක් ගොවීහු අනුරාධපුර නගරයේදී විරෝධතාවක ද නිරත වූහ.
අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.ඩී. මැදිවක සඳහන් කර ඇත්තේ නුවර වැව් රක්ෂිතය එළි පෙහෙළි කිරීමට අදාළ ඉඩම ගොඩකිරීම සම්බන්ධව වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කර තිබෙන බවයි. එමෙන්ම, නුවරවැව රක්ෂිතය මැනුම්ගත කිරීම සඳහා අනුරාධපුර, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්වරයා මැනුම්පතිවරයාට දැනුම් දී තිබෙන බවත්, එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව වැව් රක්ෂිතයේ අනවසරයෙන් අල්ලාගෙන තිබෙන ඉඩම් ප්‍රමාණය පිළිබඳව නිසි තහවුරුවක් ලබාගත හැකි බවත් අධ්‍යක්ෂවරයා පවසා තිබේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සඳහන් කර ඇත්තේ ඓතිහාසික වාරි නිර්මාණයක් ලෙස සැලකෙන නුවර වැව රක්ෂිතය එළි පෙහෙළි කර ගොඩකිරීම සම්බන්ධව තමන්ට තවමත් පැමිණිල්ලක් ලැබී නැති බවත්, මේ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට පියවර ගන්නා බවත්ය.
බෝලය පාස් කරනු විනා මේ ඉදිකිරීම් නැවැත්වීමට නම් කිසිදු රාජ්‍ය බලධාරියකු ක්‍රියාත්මක වී නැත.
‘‘කලාවැව, බසවක්කුලම වගේ වැව් රාශියක දේශපාලන බලවතුන් අනවසර ඉදිකිරීම් කරලා තිබෙනවා. ඒවාට විරුද්ධවත් ක්‍රියාමාර්ග අරගෙන නැහැ. අපි වැව් රක්ෂිත සිමාවේ උස මට්මට අඩු කිරීමට විරුද්ධයි. ඒ වගේම වැව් රක්ෂිතයේ පදිංචි සාමාන්‍ය ජනතාව ඉවත් කරනවා නම් ඔවුන්ට ඉඩම් හා නිවාස ලබාදිය යුතුයි. මේ ගැන වාරිමාර්ග නිලධාරීන් නිහඬයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතිය ක්‍රියාත්මක කර නැහැ.‘‘ සුසන්ත කුමාර වැඩිදුරටත් කීවේය.
අනුරාධපුර අගනගරය අභාවයට යාමත් සමඟ නුවර වැව වනගතව දියකඩිත්තක් බවට පත් විය. පසුව ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ 1889 දී නුවර වැව අලුත්වැඩියා කිරීම සිදුකොට තිබේ. හෙක්ටයාර් 3200ක පමණ විශාලත්වයකින් යුතු වැවෙහි වැව් බැම්ම හෙවත් වෑකන්දේ දිග සැතපුම් සැතපුම් 03ක් ලෙස සඳහන්ය. එය උසින් අඩි 37ක් පමණ එය උස්වන අතර අඩි 25ක් පමණ තෙක් උසට ජලය දරා සිටීමට හැකියාවක් පවතී. වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 36000කට අධිකය. එමෙන්ම වැසි කාලයට නුවර වැවේ නැගෙනහිර පිටවානෙන් බැස යන වැඩි වතුර යෝධ ඇළ දිගේ උතුරු දෙසට ගෙන ගොස් ඇළ දෙපස තිබෙන ඉඩම්වලට වතුර සැපයීමට තැනූ පුරාණ වාරි කර්මාන්තයක් පැවතුණු බව ආර්.එල්. බ්‍රෝහියර් සඳහන් කර තිබේ. අතීතයේ පොදු ජනතාව වෙනුවෙන් තැනූ මෙවැනි අගනා වාරිමාර්ග බලයට පත්වන දේශපාලනඥයන් තම පෞද්ගලික අරමුණු සඳහා යොදාගැනීම රටේ අවාසනාවකි.
අප සමඟ අනුරාධපුර රුවන්වැලි සෑ රජමහා විහාරාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් ටික කලකට පෙර පැවසූ අදහසක් ද මෙහිදී සඳහන් කිරීමට වටිනා බව හැඟුණි:
“පුරාවිද්‍යා රක්ෂිත, වාරි රක්ෂිත, මහාමාර්ග රක්ෂිත වශයෙන් අනුරාධපුර ලෝක උරුම නගරයේ භූමිය බෙදන්න පුළුවන්. මේවා ඉතාම සංවේදී තැන්. විශේෂයෙන්ම අනුරාධපුරය තරම් සංවේදී පෞරාණික නගරයක් ලංකාවේ තබා ලෝකේමත් වෙන නැහැ මම දන්නා පරිදි. ඒ නිසයි නගරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඉහළ යන්නේ. මෙබඳු ඓතිහාසික වටිනාකමක් තිබෙන තැනක ඉඩම කියන සාධකය භාවිත කළ යුත්තේ මහජනතාවගේ ගෙවල් දොරවල් තැනීමට, ව්‍යාපාරික ස්ථාන තැනීමට වගේ නිර්ණායක තුළ නොවෙයි. ඒකට වෙනම ලෝකය හා ලංකාව පිළිගත් නිර්ණායක නීතිරීති තිබෙනවා. ඒ නීති යටතේ තමයි මේ නගරය ගැන කටයුතු කළ යුත්තේ.”
■ කුසුම්සිරි විජයවර්ධන.
No comments:
Post a Comment