Saturday, 16 October 2021

ඔහු මියගොස් අවුරුදු පනස් හතරකි. පෘථිවිය මත පරම්පරා දෙකකට ආසන්න යුගයක් ඔහු පසු කොට ගොස්ය. එහෙත් අද මේ මිහිතලය මත ඔහුගේ නම කිවූ පමණින් ඔහුව නොදන්නා කිසිවකුත් නොමැති තරම්ය. ඒ කිසිවක් නිසා නොව ඔහු එතරම්ම මානව හිතවාදී මිනිසකු වූ හෙයිනි. අර්නස්ටෝ චේ ගියුවේරා. ඔහු මේ පෘථිවිය මත ජිවත් වූ කාලය වසර 39කි. එහෙත් ඔහු කළ සේවය ගැන, ඔහු ගැන ලියවී ඇති පොත් සංඛ්‍යාව අසීමිතය.

අදට වසර පනස් හතරකට පෙර උදාවූ එක් අඳුරු ඔක්තෝබර් 9වැනිදාවක බොලීවියාවේ වල්ලෙග්‍රන්දේ හි එක් ගම්බද පෙදෙසක ගොවි නිවසක පිළක ප්‍රාණය නිරුද්ධ වූ ඔහුගේ සිරුර සතපවා තිබිණි. එයිනුත් දිනක් නික්ම යන විට එනම් 1967 ඔක්තෝබර් 10වැනිදා බොලිවියාවේ වල්ලග්‍රන්දේ හි ප්‍රාදේශීය රෝහලේදී වෙඩි පහරින් සිදුරු වූ පපුවද මනාව පෙනෙන ලෙස චේ ගියුවේරාගේ සිරුර තබා ඇති ආකාරය මුළු මහත් ලෝකයම දැක ගත්තේය. එතෙකින් ඔහුගේ කෙටි එහෙත්, වේගවත්, උද්වේගකර මෙන්ම රසාලිප්ත, ආශ්වාදජනක මෙන්ම මිනිස් වර්ගයාට මහා සේවයක් සිදු කළ ජීවන ගමන අවසන් වුවද අදටත් චේ ජීවමානය. අදටත් ඔහුගැන ලියවෙන දේ බොහෝය. අදටත් ඔහු ගිය මඟ යෑමට වෙර දරන මිනිසුන් බොහෝය.

චේ දා යනු සැබවින්ම සීමා මායිම් නොමැති මිනිසෙකි. ඔහු උපත ලබන්නේ ආර්ජන්ටිනාවේය. ඔහු විප්ලවයට සක්‍රීය දායකත්වය සපයන්නේ, නායකත්වය දෙන්නේ කියුබාවේදීය. ඔහු අමාත්‍ය ධූරයක් හොබවන්නේ කියුබානු පාලන තන්ත්‍රයේය. අවසන ඔහු මියයන්නේ බොලීවියාවේ සටන් බිමේදීය. වසර 39ක් වැනි කෙටි කාලයක් තුළ මේ අසාමාන්‍ය මිනිසා තම ජිවිතය සිමා මායිම් ඉක්මවා ගියේය. ඔහුට මුළු ලෝකයම ඔහුගේම විය. ඔහු එතරම් පැතිරුණු මිනිසෙක් විය. ධනවාදීන් ඔහුට මෙතරම් බියපත් වන්නට ඇත්තේද ඒ නිසාම විය යුතුය.

වසර 1928 ජූනි 14වැනිදා ආර්ජන්ටිනාවේ රොසාරියෝ නම් කුඩා ගමේ උපත ලැබූ චේ බෙහෙවින් සාමාන්‍ය කොලුගැටයකු විය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා වූ චේ ගේ දෙමවුපියන් ධනපතින් නොවූ නමුත් දුගීන්ද නොවූහ. කුඩා චේ හැදී වැඩුනේ දුගීකමින් පීඩාවූ වටාපිටාවක නොවේය. එහෙයින්ම පසුකාලීන පන්ති පරතරය ගැන අවබෝධයක් ඔහු තුළ ගොඩනැඟුනද, ධනපතින් සම්බන්ධව වෛරයක් ඔහු තුළ නොවීය. එබැවින්ම ඔහු සටන් බිමට පිවිසියේ මිනිසුන් අතර සමානාත්මතාවය ගොඩනැඟීමට මිස ධනපතියන් මර්දනය කරමින් පීඩනයට පත් කිරීමට නොවීය. එය සැබෑ විප්ලවවාදියකු බිහිකිරීමට දැමූ මුලික අඩිතාලම විය. ඒ හැර කුඩා කාලයේදී එතරම් පොතපතට නැඹුරු නොවූවද චේ යනු එකතැන සිටිය හැකි ළමයකු නොවීය. බොහෝ ක්‍රීඩා කටයුතු සඳහා ඔහුගේ දායකත්වය හිමිවද්දී, නිතර පාපැදියේ නැගී ගම පුරා කරක්ගසන චේ ගම්වාසින්ට සුලබ දර්ශනයක් විය.

එහෙත් මේ චේ සතු වූ ‘එක තැනක සිටීමට බැරි කම’ වඩාත් හොඳින් ඉස්මතු වූයේ සහ මල්ඵල ගැන්වූයේ ඔහුගේ මොටර් සයිකල් සවාරිය මගිනි. එය ඔනෑම තරුණයකු තම තරුණ වියේදී සැබෑ කර ගැනීමට පතන සිහිනයක්ම විය. තම මිතුරකු වූ ඇල්බර්ටෝ ග්‍රැනා‌ඩෝ සමඟ තම අබලන් යතුරු පැදියේ නැගි චේ දකුණු ඇමරිකා මහාද්වීපය පුරා සැරිසරමින් සුන්දරත්වය පමණක් අත්වින්දා යැයි පැවසිය නොහැකිය. ඔහු ඒ ගමනේදී දුගීන්ට, මගීන්ට උපකාර කළේය. රෝගීන්ට උපස්ථාන කළේය. මගදී හමුවුණු තරුණියන්ට ප්‍රේම කළේය. දුගී බවින් පීඩිත ජීවිත කොතරම් කටුකදැයි අත්දැකීමෙන් වටහා ගත්තේය. කොටින්ම මේ මෝටර් සයිකල් සවාරියට පසු චේ කිසිවිටෙකත් පෙර සිටි පුද්ගලයා වූයේ නැත.

තම ජිවිතයේ එක් සන්ධිස්ථානය වශයෙන් චේ මෙක්සිකෝවේ තමා ගත කළ කාලය සලකන්නේය. ඔහු එහි වෛද්‍ය ශීෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලැබූ අතර ඡායාරූප මාධ්‍යවේදියකු ලෙසින්ද මෙක්සිකෝවේ ‘ලැටිනා පුවත් ඒජන්සිය’ සඳහා සේවය ලබා දුන්නේය. චේ ගෙවූ මේ කාලය පිළිබඳව සිහිපත් කරන චේ ගේ පළමු බිරිය හිල්ඩා පවසන්නේ වෛද්‍යවරයකු වී අප්‍රිකාවේ ජනතාවට සේවය කිරීම තම අරමුණ බව චේ එකල පැවසූ බවයි. එහෙත් ඔහුට මුණගැසෙන ෆිදෙල් ක්‍රැස්තෝ ඇතුළු කියුබානු විප්ලවාදීන් මේ තරුණයාගේ ජිවන ගමන වෙනස් මඟකට හරවන්නෝය. චේ සමාජවාදී විප්ලවවාදියකු වන්නේ ඒ ඔස්සේය.

කියුබාව යනු චේට දුරස්ත වූ දේශයකි. එහෙත් ඔහු තමන් විප්ලවාදී මාවතට ගෙන ගිය ඒ ධෛර්යමත් මිනිසුන් සමඟ කියුබාවට ගොඩබසින්නේ එරට රජයේ හමුදාවලට එරෙහිව සටන් වැදීමේ අරමුණෙනි. 1956 වසරේ ඒ සුළඟින් පිරුණු රාත්‍රියේ මුහුදු වතුර නොකඩවා ඇතුළට කාන්දු වූ ‘ග්‍රැනමා’ නම් වූ කුඩා යාත්‍රාවේ නැගී ෆිදෙල් ඇතුළු පිරිස කියුබාවට ගොඩබසින විට චේ සිටින්නේ මුහුදු රෝගයට ගොදුරු වී නොකඩවා වමනය දමමිනි.

වෙරළට ගොඩබට සැණින් එල්ල වූ බැටිස්ටාගේ හමුදා ප්‍රහාරයෙන් පිරිසක් මියයන විට චේ තම බෙහෙත් පෙට්ටියද ගෙන තුවාල වූවන් සොයා බඩගාමින් යටන්නට වූයේය. එහෙත් කොතරම් බාධා පැමිණියද ෆිදෙල්, රාවුල් සහ චේ ඇතුළු පිරිස කියුබාවේ බලය තම අතට ගැනීමට සමත් වූහ. එසේ කිරීමට ඔවුන්ට හේතුසාධක වූ ප්‍රබල කරුණක් විය. ඒ අන් කිසිවක් නොව විප්ලවය සඳහා කියුබානු ජනතාවගෙන් ලැබුණු දායකත්වයම විය.

විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු කියුබානු කර්මාන්ත අමාත්‍ය ධූර‍යෙන් චේ පිදීමට ෆිදෙල් ක්‍රැස්තෝ දෙවරක් සිතුවේ නැත. පසුව වසර දෙකක් පුරාවට කියුබානු මහ බැංකුවේ අධිපති ධූරය හෙබවීමේ අවස්ථාව චේ ට හිමිවුවද ඒ කිසිවකින් ඔහුව බැඳතැබීමට කිසිවකුටත් හැකියාව ලැබුණේ නැත. ඔහු මේ මහ පොළොවේ තවත් ඉඩක වෙසෙන මිනිසුන්ටත් සාධාරණ සමාජයක් ලබා දීමට කැප වූයේය.

චේ ගේ බොලිවියානු සටන අසාර්ථක වන්නේ පැහැදිලිවම එක් කරුණක් හේතුවෙනි. ඒ බොලිවියානු ජනතාවගේ සහය වාමාංශික විප්ලවයට ප්‍රමාණවත් තරම් නොලැබීමයි. ඒ වන විට සමාජවාදීන් කෙරෙහි වපරැසින් බැලිමට ප්‍රමාණවත් තරම් ජනතාව පෙලඹවීමට ධනවාදීන්ට හැකියාව ලැබී තිබිණි. චේ බොලිවියාවේ සටන් වදින්නේ තමන්ට ඉතාමත් අහිතකර වූ සටන් බිමකය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මේ මහා විරුවාගේ අවසන් සුසුම් පොද බොලිවියාවේ දුෂ්කර ගම්මානයයකදී වා තලයට මුසු වීමය.

1967 ඔක්තෝබර් මස ආරම්භ වන විටත් බොලිවියානු ආරක්ෂක අංශ චේ සිටින ඉසව්ව නිශ්චය කරගෙන අවසන් විය. ඔක්තෝබර් මස 7වැනි දින බොලිවියානු විශේෂ බළකාය එම ප්‍රදේශය වට කරමින් සිටි අතර ඒ සඳහා බළගණ දෙකක සොල්දාදුවන් 180ක් දායක වෙමින් සිටියහ.පැහැ අවසන චේ ගේ පිරිස සහ මේ සෝදාදුවන් අතර වෙඩි හුවමාරුවක් ඇති විය. එහිදී තුවාල ලැබූ චේ රෝහල වෙත ගෙන ගිය බවටත්, චේ යටත් වූ බවටත් යනාදී වශයෙන් චේ ගේ අවසානය පිළිබඳ නොයෙක් අර්ථකථන දැක ගත හැකිය. මෙහිදී මත කිහිපයක් ප්‍රචලිතව ඇති නමුත් එක් දෙයක් පැහැදිලිය. ඒ චේ ගුවේරා නම් මහා විප්ලවවාදී සටන්කරුවාගේ හිස මත වූ තොප්පියේ පැලඳි රතු තරුව තවදුරටත් ලොව පුරා සමාජවාදීන්ට මඟ කියන්නට දීප්තිමත් නොවන බවයි.

ඔහු නික්ම ගොස් පසුගිය ඔක්තෝබර් 9වැනිදාට සම්පූර්ණ වූයේ පනස් හතරවැනි වසරය. එහෙත් චේ කිසිවකුට කිසිදා අමතක කළ නොහැකි අමරණීය මිනිසකු බවට පත්වී ජීවමානව සිටින්නේය. ඒ ලොව පුරා සාධාරණ සාමජයක් පතන මිනිසුන්ගේ සිත්වල මිස අන්තැනක නොවන්නේය.



ටිරෝනි වෑවලගේ



No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...