Saturday, 16 October 2021

කහටගස්දිගිලිය පැත්තෙ කට්ටියක් ළඟ බුදුපිළිමයක් තියෙනවා. ලක්ෂ හැටකට විකුණන්න කෙනෙක් හොයනවා. පරණ චෛත්‍යයකින් ගොඩදාපු නිධානයක තිබුණ කියලා තමයි ආරංචිය...

මේ කියන තොරතුරු දන්නා කියන ඔත්තුකරුවකු කියා තිබුණේ කන්තලේ කොට්ඨාස විශේෂ පොලිස් කාර්යාංශයේ නිලධාරියකු වෙතය. වැඩිදුරටත් ඔහු පවසා තිබුණේ කහටගස්දිගිලිය දිවුල්වැව ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු මේ සඳහා රහසේ සූදානම් වන බවය.

තොරතුරු ලබාගත් නිලධාරියා ඒ පිළිබඳව තවදුරටත් විස්තර ලබාගෙන දැනුම්වත් වීමෙන් අනතුරුව එම ඒකකයේ ඉහළ නිලධාරියකු මාර්ගයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත දන්වා තිබුණි. ඒ සිදුවන බව කියන ජාවාරම වැටලීම සඳහා පියවර ගන්නා ලෙස දන්වමිනි.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතා වහාම ක්‍රියාත්මක වී එම ඒකකය නියෝජනය කරමින් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු පිටත්කර යවා තිබුණේ අදාළ ප්‍රදේශයෙන් තොරතුරු ලබාගැනීම සඳහාය. ඒ අතරමගදී බුදුපිළිමය අලෙවි කිරීමට සූදානම් වෙමින් සිටින පිරිසට අයත් ජංගම දුරකතන අංකයක් සොයාගැනීමට ඔවුහු සමත්වූහ. ඉන්පසුව ජාවාරම සම්බන්ධයෙන් තොරතුර ලබාදුන් ඔත්තුකරුද හමුවී ගලෙන්බිඳුණුවැව, කහටගස්දිගිලිය, දිවුල්වැව ප්‍රදේශයට ගොස් තිබුණි.

ජාවාරම්කරුවන්ගේ දුරකතන අංකයට ඇමතුමක් ලබාගනිමින් කතාකළ මොහොතේ එම පුද්ගලයන් තිදෙනා මුස්ලිම් ජාතිකයන් බවට හඳුනා ගැණින. එම දුරකථන සංවාදය සඳහා බුද්ධි නිලධාරීන් ක්‍රියාකරන අතරතුර ගනුදෙනුව වැඩිදුර ඉදිරියට ගෙනයාම සඳහා පොලිසියට ඔත්තුව ලබාදුන් ඔත්තුකරු උපාය දූතයකු වශයෙන් යොදවාගෙන තිබුණි.

මේ පිළිමෙ ගොඩක් වටිනවා. අනුරාධපුරයේ චෛත්‍යයකින් ගත්තු එකක්. ගොඩක් කල් අපි ගාව තිබුණේ අපිට මේක කොළඹ දිහා කාටහරි විකුණන්න තිබුණා. හැබැයි ඊට වඩා මේ පිළිමෙ වටින්නේ සිංහල බෞද්ධ පිරිසටයි. කොහොම හරි ලක්ෂ 60කට අරගෙන පන්සලකට විකුණන්න හරි එහෙම තැනක තියන්න වටිනවා. ඒකයි අපි බෞද්ධ කෙනෙක්ටම විකුණන්න බලන්නේ. මුස්ලිම් කෙනකුට දුන්නොත් එයාලට වටින්නේ නෑ....

දුරකථන සංවාදය අතරතුර ජාවාරමේ නිරත මුස්ලිම් ජාතිකයන් තිදෙනා මෙසේ කියා තිබුණි. මේ කතාබහ අතරතුර ජාවාරම්කරුවන් විමසා තිබුණේ අද දිනයේ ගනුදෙනු සිදුකරනවාද? ඒ සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 60ක මුදල තිබෙනවාද? එම මුදල අතේ ඇත්නම් පිළිමයක් රුගෙන යම් ස්ථානයකට එන්නම් කියාය. ඒ සඳහා සූදානමින් පැමිණි බව දැන්වීමෙන් අනතුරුව ගලෙන්බිඳුණුවැව, කහටගස්දිගිලිය, දිවුල්වැව, කෝමාරිකාවල ඇතුළු ප්‍රදේශ ගණනාවකදී ගනුදෙනුව සිදුකරන බව පවසා එම ස්ථාන වෙත පැමිණෙන ලෙස ඉල්ලා තිබිණි. ඒ අනුව එම සෑම ස්ථානයක් කරාම යාමට වෙස්වලාගත් නිලධාරීන්ට සිදුව තිබුණි. එම ස්ථාන වෙත ගිය පසුව නිලධාරීන් අදාළ දුරකථන අංකය මගින් ජාවාරම්කරුවන් හා සම්බන්ධ වුවද ඔවුන් කිසිවෙක් එම ස්ථාන වෙත පැමිණ නොසිටියහ. නමුත් ඔවුන් පැමිණ ඇති බව තහවුරු කරගත් ජාවාරම්කරුවන් ඒ හැම අවස්ථාවේම විමසා ඇත්තේ ලක්ෂ 60ක මුදල රැගෙන ආවේද යන්න ගැනය. මේ ආකාරයට ඔවුන් ගනුදෙනුකරුවන් සතුව මුදල් ඇති බව තහවුරු කරගෙන ඇත.

හරි සල්ලි සේරම ළඟ තියෙනවා නම් අපි බිස්නස් එක කරමු. හැබැයි මේ කහටගස්දිගිලිය පැත්තෙදි වැඩේ කරන්න බෑ. ඔහොමම අනුරාධපුර නුවරවැව බන්ට් එක ළඟට එන්න. අපි පිළිමය අරගෙන එනවා.

ජාවාරම්කරුවන්ගේ අවසන් තීරණය එය විය. එම තීරණය දැනුම්දීම සඳහා දවසේ පැය ගණනාවක් රස්තියාදු කර තිබිණ. මේ අතර නිලධාරීන්ට නුවරවැව ආසන්නයට පැමිණීමට කාලයක් නැති තරමය. එහිදී නිලධාරීන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බංඩාර විජේකෝන් මහතාට තොරතුරු දන්වා තිබුණි. ඒ සමග විජේකෝන් මහතා තවත් නිලධාරියකු සමග නුවරවැව අසලට ගොස් රුඳී සිට ඇත. ඒ වනවිටත් සැකකාර ජාවාරම්කරුවන් පැමිණෙන මෝටර් රථය හඳුනාගෙන සිටි විජේකෝන් මහතා සූදානම්ව සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටය. ඒ අනුව නියමිත මොහොතේ සැකකරුවන් තිදෙනා කොටුකර ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීහු සමත් වූහ.

එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වන තුරුම නොදැන සිටි එකම කාරණය වූයේ මෙතෙක් පැය ගණනක් තිස්සේ තොරතුරු හුවමාරු කරගෙන ගනුදෙනුවට පැමිණ ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසක් නොවන බවය. ජාවාරම්කරුවන් කටයුතු කර තිබුණේ ව්‍යාපාරිකයන් සතු ලක්ෂ 60ක මුදල කෙසේ හෝ පැහැරගෙන යාමටය. එහෙත් ඊට අවස්ථාවක් ලැබී නැත. සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් බුදුපිළිමය පස්ලෝ වලින් කරවන ලද්දක් බවට පොලිසිය විශ්වාස කරයි. එය කිලෝ 22ක් බර උසින් අඟල් 18ක් හා පළලින් අඟල් 14ක් වන ඉපැරණි එකකි.

සැකකරුවන් මෙය ලක්ෂ 60කට මිල කළද එහි පෞරාණික බවක් ඇති බව කිවයුතුය. අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික සැකකරුවන් වයස 40,42,44 වියේ පසුවෙති. සැකකරුවන් අනුරාධපුරය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණ. අත්අඩංගුවට ගනු ලැබූ පිළිමය සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බංඩාර විජේකෝන්, උප පොලිස් පරීක්ෂක සිසිර, පොලිස් සැරයන්වරුන් වන 48317 බංඩාර, 61406 නිසාන්, පොලිස් කොස්තාපල්වරුන් වන 66934 රාජරත්න, 33285 ජයසිංහ සහ පොලිස් සැරයන් රියැදුරු 33826 ධනපාල යන නිලධාරීහු වැටලීමට දායක වූහ.



සමන්ත ප්‍රදීප් විල්තෙර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...