Saturday, 6 November 2021


උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී සිදු වූ අනපේක්ෂිත ප්‍රමාදය වෙනුවෙන් ,ඇමරිකානු ඩොලර් කෝටි 18 ක (රුපියල් කෝටි 3600ක පමණ )ප්‍රමාද ගාස්තුවක් ගෙවන්නැයි ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන ෆරාබි සමාගම රජයෙන් ඉල්ලීමක් කර ඇත.


ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී පාරසරික අනුමැතිය ,ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු යනාදියේ  සිදු වූ ප්‍රමාදය,ඉරාන රජය වෙත ඇමෙරිකානු වෙළෙඳ සම්බාධක පැනවීම හේතුවෙන් වැඩ බිම්වලට යන්ත්‍රෝපකරණ ආනයනයේදී සිදු වූ ප්‍රමාදය  ,බණ්ඩාරවල ප්‍රදේශය ආශ්‍රිතව උමං මාර්ගයේ සිදු වූ ජල කාන්දුව යනාදිය හේතුවෙන් ව්‍යාපෘතිය නිම කිරීමේ කටයුතු වසර පහකින් පමණ ප්‍රමාද වූ බව එම සමාගම දැනුම් දී ඇත .


 2011 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් කෝටි පනස් තුනක් පමණ වූ අතර, ඉන් ඩොලර් කෝටි 45 ක් ඉරාන රජයේ EBDI බැංකුවෙන් ලබා ගැනීමටත්, ඉතිරි ඩොලර් කෝටි 8ක පමණ මුදල ශ්‍රී ලංකා රජයෙන් දැරීමටත් ගිවිසුම් ප්‍රකාරව එකඟ වී තිබේ .


මෙම ව්‍යාපෘතිය 2015 නොවැම්බර් මස 15 වැනිදාට අවසන් කිරීමට  ගිවිසුම්ගතව තිබූ නමුත් ,විවිධ හේතු මත එය ප්‍රමාද වූ අතර, මේ වසර අවසන් වීමට පෙර ඒ සියලු ඉදිකිරීම් අවසන් කිරීමට ව්‍යාපෘති සමාගම එකඟතාව පළ කර තිබේ. ව්‍යාපෘතියේ සියයට  99ක පමණ වැඩ මේ වන විටත් නිම වී ඇත. 


 මේ අතර, ව්‍යාපෘති සමාගම ඉල්ලා සිටින ඇමරිකානු ඩොලර් කෝටි18ක පමණ වන ප්‍රමාද ගාස්තුව වෙනුවට ඇමරිකානු ඩොලර් කෝටි 4ක පමණ මුදලක් පමණක් ගෙවීම සාධාරණ බව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව රජයට නිර්දේශ කර ඇත  .


උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක්  ජාතික විදුලිබල පද්ධතියට එකතු වන බැවින්, එහි වාසිය විදුලිබල මණ්ඩලයට ලැබෙන නිසා, එම ප්‍රමාද ගාස්තුව විදුලිබල මන්ඩලයේ අරමුදල් මගින් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජය යෝජනා කර ඇත.


ඒ අනුව ,අදාල ප්‍රමාද ගාස්තු ව වාරික  දෙකකින් ගෙවීමට විදුලිබල මණ්ඩලයට නියම කරන්නැයි වාරිමාර්ග  ඇමැති චමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත .


 කුමාර අගලකඩ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...