මිහිදුම් සේලයෙන් වැසුණු හරිත වර්ණ කඳු මුදුන් අතරින් යන්තමින් හිරු එබී බලන හිමිදිරි උදෑසන, දවස පුරාම එසේ පවතී නම් කෙතරම් අපූරුදැයි වැටහෙන්නේ ගිනි කාෂ්ඨක අව්රැල්ල යටින් මද්දහන එළඹෙද්දීය. හිමිදිරි උදෑසනක සුන්දරත්වය මද්දහනේ ද විඳ ගැනීමට තිබුණේ නම් එය කෙතරම් අගනේ යැයි සිතුන ද එවැනි අත්දැකීමක් විඳ ගැනීම පහසු නැත. නමුත් හිරු ක්රමයෙන් ප්රචණ්ඩ වෙමින් සිය අණසක පතුරන, ගිනි ගහන අව්ව රජ කරන මද්දහනක පවා හිමිදිරියේ සුන්දරත්වය විඳිය හැකි දුර්ලභ අවස්ථාවන් මේ රට තුළදීම අත්විඳිය නොහැකිම නොවේ.
සිංහරාජයේ රක්වාන හා දෙණියාය අතර සූරියකන්ද අරුණාලෝක පෙදෙස හෙවත් හිමිදිරි පෙදෙස අවු රශ්මියෙන් දැවෙන මද්දහනක පවා හිමිදිරි උදෑසනක සුන්දරත්වය අත්විඳිය හැකි මේ මිහිපිට හමුවන සුන්දරම භූමි භාගයකි. මද්දහන පසු වී බොහෝ වේලා ගත වී තිබුණත් තරු කැට සේ දිලිසෙන කුඩා පිනි බිඳිති තවමත් තුරුපත් අග දිස්න දෙයි. හිරිගඩු නංවන සිසිල් මඳනල තුරු ගොමු මැදින් හමා එයි. හිරු ක්රමයෙන් ප්රචණ්ඩ වෙමින් සිය අණසක පැතිරුව ද හාත්පස වසා ගත් මිහිදුම් සේලය පරාජය කිරීමට නොහැකි වූවා සේය. උදෑසනක සිට හිරු බැස යන සැන්දෑව දක්වාම මෙහි පවතින්නේ අරුණාලෝකය උදාවන සුන්දර හිමිදිරියයි.
රත්නපුර දිස්ත්රික්කයේ කොලොන්න කොට්ඨාස සීමාවෙහි රක්වාන හා දෙණියාය
අතර සූරියකන්දෙහි පිහිටි හිමිදිරි පෙදෙස හෙවත් "අරුණාලෝක අඩවිය" ලෙස ප්රචලිත වී ඇති මේ මනරම් ප්රදේශය සිංහරාජයෙහි නැගෙනහිර මායිමෙහි පිහිටා තිබේ. මෙරට ප්රමුඛ වැසි වනාන්තරය සිංහරාජ සීමාව තුළ පිහිටියත් තෙත් කලාපීය පරිසර ස්වභාවයෙන් මඳක් ගිලිහුණු මෙම සීමිත ප්රදේශය දවස පුරා මිහිඳුම් සේලයකින් වැසී පවතින අතර යාබදව පවතින කඳු පන්තිය නිසා දවසේ වැඩි වෙලාවක් හිරු එළියට මුවා වී පවතී. සවස ඉර බැස යෑමේ දී කඳුවල හෙවනැල්ල මේ ප්රදේශයට වැටීම නිසා සවස් යාමයේ ද තද අව් රැල්ලක් වැටීමේ අවස්ථාවක් උදා නොවන නිසා දවස පුරාම මෙහි පවතින්නේ ලා හිරු එළිය සහිත හිමිදිරි උදෑසනක ස්වාභාවයකි.
මෙම පරිසර කලාපයෙහි දවස පුරාම මීදුමෙන් බර වූ හිමිදිරි උදෑසනක ඇති සෞම්ය කාලගුණයට සමාන දේශගුණික තත්ත්වයක් පවතින නිසා, තේ වගාව සඳහා මෙම ප්රදේශයට පැමිණි ඉංග්රීසි ජාතිකයන් මෙම ප්රදේශය හිමිදිරි පෙදෙස (Morning Side) යනුවෙන් නම් කළ බව සඳහන් වේ. අතීතයේ සිංහරාජයෙහිම කොටසක් ලෙස පැවති මෙම ප්රදේශය බ්රිතාන්ය පාලන සමයේ තේ වගාව සඳහා යොදා ගත් අතර එකල මෙම ප්රදේශය මෝර්නිං සයිඩ් වතුයායයට අයත්ව තිබී ඇත. පසු කලක මෙම ප්රදේශයෙහි එනසාල් වගාව සිදු කළ අතර පසුව තේ හා එනසාල් වගාවන් දෙකම අතහැර දමා තිබේ. ඒ නිසා යළිත් සිංහරාජයටම නතු වූ මෙම හිමිදිරි පෙදෙස මේ වන විට ද්විතීයික වනාන්තරයක් ලෙස වඩාත් හොඳින් වර්ධනය වී තිබේ.
පවතින කාලගුණික සහ පාරිසරික ස්වභාවය නිසා ඉහළ වටිනාකමක් හිමි කර ගත් හිමිදිරි පෙදෙස ජෛව විවිධත්වයෙන් ද සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී.
සිංහරාජයෙහි නැඟෙනහිර මායිමේ පිහිටීම නිසා සිංහරාජයේ දක්නට ලැබෙන ජෛව විවිධත්වය මෙහිද නොඅඩුව දක්නට ලැබෙන අතර මෙරටට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ රැසක් ද ඒ අතර වේ.
සිංහරාජයේ හෝ වෙනත් ශ්රී ලංකාවේ කිසිම වනාන්තරයක දැකිය නොහැකි සත්ත්ව හා ශාක විශේෂ කිහිපයක් මෙම හිමිදිරි පෙදෙසින් වාර්තා වන අතර සිංහරාජයෙහි මෙන්ම තෙත් කලාපයෙහි අවසන් අලි දෙදෙනා වන සිංහාරාජයේ අලි දෙදෙනා ද වසරේ ඇතැම් කාලවලදී මෙම හිමිදිරි පෙදෙස ආශ්රිතව දැක ගත හැකිය.
2012 වර්ෂයේ දී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය මඟින් මේ ආශ්රිතව සිදු කළ පර්යේෂණයක දී හිමිදිරි පෙදෙසේ දොළ මාර්ගයක තිබී නව කෙකටිය විශේෂයක් හඳුනා ගැනීමට හැකි විය. 2016 වසරේ දී මෙම කෙකටිය විශේෂය ලොව මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බව නිගමනය කිරීමට හැකි විය. ඒ අනුව එය ශ්රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බව තහවුරු වූ අතර සොයා ගත් නව කෙකටිය විශේෂය නිදහස් අධ්යාපනයේ පියා වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතාට ගෞරවයක් වශයෙන් ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි (Aponogeton kannangarae) යනුවෙන් විද්යාත්මකව නම් කරන ලදි. මෙම කෙකටිය විශේෂය ශ්රී ලංකාවට ආවේණික හිමිදිරි පෙදෙසේ පමණක් දැකිය හැකි, ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ ශාක විශේෂයක් වන අතර මෙම කෙකටිය විශේෂය හමුවන්නේ හිමිදිරි පෙදෙසෙහි පිහිටන දොළ මාර්ග දෙකකින් පමණි.
මෙහි පවතින සෞම්ය කාලගුණයත්, පරිසයේ පවතින චමත්කාරයත් වෙනත් කිසිම ස්ථානයක දී අත් විඳිය නොහැකි නිසා සංචාරකයන් අතර හිමිදිරි පෙදෙස පිළිබඳව පවතින්නේ දැඩි ආකර්ෂණයකි. මේ නිසා මෙම කලාපය ආශ්රිතව සංචාරක කර්මාන්තය ද වර්ධනය වී ඇති අතර සංචාරක පහසුකම් සපයා දීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් "මෝර්නිං සයිඩ් වන නිවහන" පවත්වාගෙන යනු ලබයි. සංචාරකයන් හට සූරියකන්ද සිට සැතපුම් අටක් වන මැද පිහිටා ඇති මෙම සංචාරක නිවහනෙහි නැවතී හිමිදිරි පෙදෙසෙහි සුන්දරත්වය විඳීමට අවශ්ය පහසුකම් සලසා ගත හැකිය.
සොබා දහමේ විස්මිත නිර්මාණයක් වන හිමිදිරි පෙදෙස කෙතරම් රම්ය භූමියක් වුවද විවිධ මානව ක්රියාවන් නිසා එහි සුන්දරත්වය ක්රමයෙන් වියැකී යමින් තිබේ.
අධික සංචාරක ආකර්ෂණයක් පවතින නිසා සංචාරයක් වෙනුවෙන් මාර්ග, ගොඩනැඟිලි ආදිය ඉදිකිරීම මෙන්ම සංචාරකයකයන්ගේ නොමනා හැසිරීම ද මෙහි සංවේදීතාවයට දැඩි බලපෑමක් ඇති කරයි. මෙම ඉසව්වේ පවතින සංවේදී ඉඩම් සිංහරාජයට එකතු කර ගැනීමට වඩා හෝටල් ඉදිකිරීමට, තේ කුළුබඩු, අල වැනි වගාවන් සඳහා යොදා ගන්නා ආකාරයක් ද දැකිය හැකිය. මේ නිසා මෙම සොඳුරු ප්රදේශයෙහි ජෛව විවිධත්වය හා සුන්දරත්වය රැක ගැනීම වෙනුවෙන් හිමිදිරි
පෙදෙස අභය භූමියක් බවට පත් කිරීමේ යෝජනාවක් ද මේ වනවිට ඉදිරිපත් වී තිබේ. හිමිදිරි පෙදෙස සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූ ප්රදේශයකි. මේ නිසා
දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ පිරිසක් හිමිදිරි පෙදෙසේ හිමිදිරි සුන්දරත්වය සොයා එති. එසේ එන ඇතැම් සංචාරකයන්ගේ නොමනා හැසිරීම් මේ හිමිදිරි පෙදෙසට කඩිනමින් සැන්දෑව උදා කරන ආකාරයක් ද පෙනෙන්නට තිබේ. මේ නිසා එය රැක ගැනීමට අවශ්ය පියවර කඩිනමින් ගත යුතුය. එසේ නොවුණ හොත් හිමිදිරි පෙදෙසේ සුන්දරත්වයද ඉතා ඉක්මනින් හිරු දුටු පිණි සේ වියැකී යනු නොඅනුමානය.
No comments:
Post a Comment