කන්ද උඩරට හෙවත් සෙංකඩගල පුරවරයට පිවිසෙන කාට වුව නෙත ගැටෙන පළමු නගරය කඩුගන්නාවයි. හෙළ රජ දවස කඩු ගන්න ආව පෙදෙස යන අදහසින් හැදින් වූ මේ නගරය පසුකාලීනව කඩුගන්නාව ලෙසින් ව්‍යවහාරයට පැමිණ ඇත. එකල මෙම ප්‍රදේශය ඉතා අලංකාර වූ වන ලැහැබ් හා ගිරි දුර්ගවලින් ගහන වූ ප්‍රදේශයක්ව තිබී ඇත. එබැවින් මෙහි ළඟා වීම අතිශයින් දුෂ්කර කටයුත්තක් ද විය. ඒ වන විට උඩ රටට ළගා වූයේ කොළඹ, කලණිවැලි මාර්ගය හරහා රුවන්වැල්ල මා ඔය මිටියාවත පසුකොට අම්බුලුගල හරහා ගම්පොලට පැමිණීමෙනි. මෙය ඉතා දීර්ඝ වූ මාර්ගයකි.
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු අල්ලා ගැනීමට කොළඹ සිට මහනුවරට ගිය ඉංග්‍රීසි හමුදාවට ඒ සඳහා නියමිත මාර්ගයක් නොතිබිණි. ඔවුහු පේරාදෙණිය දක්වා ඝන වනාන්තර මැදින් ගමන් කළහ. මේජර් ඩේව් ඇතුළු ඉංග්‍රීසි හමුදාව එතැන් සිට මහනුවරට ළඟා වූයේ මහවැලි ගංඟාව තරණය කිරීමෙනි. හෙන්රි මාෂල්ගේ දිනපොතට අනුව 1803 ජූනි 24 වැනි දින (සිකුරාදා) පිටාර ගලමින් තිබුණු මහවැලි ගඟ අසල ඇති "වටපුළුව" අම්බලමේ මේජර් ඩේව් ඇතුළු පිරිස රාත්‍රිය ගත කළහ. ඝන කැලය මැද දින ගණනක් නතර වී සිටි හමුදාවේ සමහර සෙබළුන්ට "කැලෑ උණ" ලෙස හැඳින්වූ මැලේරියාව වැලඳිණි. රෝගය උත්සන්න වීමෙන් භටයෝ කිහිප දෙනෙක්ම ජීවිතක්‍ෂයට පත් වූහ. මහවැලි ගඟ තරණය කර මහනුවරට ළඟාවීමට ඉංග්‍රීසි හමුදාව උණ ලී පාරු සාදා ගත්හ. ගඟ තරණය කොට "වාගොල්ල" නැමැති ස්ථානයක නතර වී සිට පසුව මහනුවරට ගොඩ බට බව හෙන්රි මාෂල්ගේ දින පොතෙහි සඳහන් වෙයි. මීට පෙර පෘතුගීසි සමයේදී ද මහනුවරට ගමන් කිරීම සඳහා ස්ථීර මාර්ගයක් නොතිබිණි. මේ හේතුව නිසා ඔවුහු ද මහත් දුෂ්කරතාවට පත් වූහ. එකල ඝන වනාන්තරය ඔස්සේ දුෂ්කර මාර්ගයක් පිහිටා තිබුණ ද එයත් " බලන " කඳුවැටිය අසලින් නිමාවට පත් විය. පෘතුගීසින්ට ද මහනුවරට යාම සඳහා ස්ථීර මාර්ගයක අවශ්‍යතාව තිබුණද එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නොහැකි විය.
1815 දී ඉංග්‍රීසීන් හා උඩරටට රදලයන් සමඟ ඇති කර ගත් ගිවිසුමෙන් පසු උඩරටට පාලන බලයට අවතීර්ණ වූ ඉංග්‍රීසීහු 1818 දී සිදු කළ මහා කැරැල්ලකින් පසු සම්පූර්ණ බලය තහවුරු කර ගත්හ. ඉන් පසු උඩරට ආණ්ඩුකාර බවට පත් වූයේ බ්‍රිතාන්‍ය ජාතික එඩ්වන්ස් බාන්ස්ය.
ඔහුගේ ඒකායන අරමුණ වූයේ උඩරටට ළගා වීමට පහසු මාර්ගයක් තැනීමයි. එය හිතන තරම් ලෙහෙසි හෝ පහසු කටයුත්තක් නොවිණි. නමුත්, ඔහු මෙය එකල සිටි අති දක්ෂ රාජකීය ඉංජිනේරුවරයාට පැවරීය. ඒ, කැප්ටන් විලියම් ෆැන්සිස් ඩෝසන් මහතාටය. විෂඝෝර සර්පයන්ගෙන් ගහන වූද, ඇළ, දොළ, මිටියාවත් හරහා අධීක්ෂණය කරමින් මෙහි පිඹුරුපත් සකසන්නට ඩෝසන් මහතා අපමණ වෙහෙසක් හා කැපකිරීමක් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වරකාපොල සිට අඹන්පිටිය අතර මාර්ගය ඉඳි කිරීම ඇරැඹිණි. මෙහි අධීක්ෂණ කටයුතු තෝමස් ස්කිනර් මහතා යටතේ සිදු විය. මේ ඉඳිකළ මාවතේ දුර කිලෝමීටර් 11 කි. ඉතිරි අතිදුෂ්කර මාවතේ සම්පූර්ණ බර පැටවූයේ ඩෝසන් මහතාටය. මේ සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දහසක් පමණ දෙනා සම්බන්ධ බව පැවසේ.
කඩුගන්නාව දුර්ගයේ හමුවන වෙරළුගොල්ල පෙදෙස අතීතයේ වතු වගාවනට නතුව තිබී පසුව ජනාවාස වූ ප්‍රදේශයකි. එනිසාම පසුව වෙරළුගොල්ල නමින් දුම්රිය නැවතුමක් ද ඉදි වී තිබේ. උඩරට දුම්රිය මාර්ගය තැනීමෙන් පසු දෙවනුව ඉදි කොට අංකය අගට 'A' අක්ෂරය යොදා ඇති 9 A බිංගෙය ඇත්තේ ද මෙම වෙරළුගොල්ල ප්‍රදේශයේමය. වෙරළුගොල්ල කන්දේ පිහිටි පර්වතයක් මතින් ඇද හැලෙන ජල ධාරාවන් කිහිපයක් නිසා ඒ පර්වතයේ ප්‍රපාතාකාර ගැට්ට මතින් තැනුණු දුම්රිය මාර්ගය නඩත්තු කිරීමට ඉංග්‍රීසින්ට අසීරු වී තිබේ. පසුව එම පර්වතය විද බිංගෙයක් තනා එය 9 A වශයෙන් නම් කොට ඇත්තේ එබැවිනි. කෙසේ හෝ මෙම 9 A බිංගෙය තැනීමට පෙර එම පර්වතය කෙළවර වූ ප්‍රපාත ගැට්ට මත ඉදි වූ පැරණි දුම්රිය මඟෙහි නෂ්ටාවශේෂ අදත් දැකගත හැකිය. එම පැරණි දුම්රිය මාර්ගයේ ඇති බෝක්කු කටවල් තුනකින් යුතු ආරුක්කු පාලම එම අප්‍රකට දුම්රිය ඉතිහාසය යළි ඉස්මතු කෙරෙන ප්‍රබල සාක්ෂියකි.
කෙසේ වෙතත් කළු ගල විද මාර්ගයක් තනීම ඩෝසන් මහතාගේ අද්විතීය නිර්මාණයයි. සබරගමුවේ සිට මධ්‍යම පළාත වෙන් වන හැරවුම් ලක්ෂයක් වන මේ ගල විද්ද තැන අදටත් එපරිද්දෙන්ම අපට දැක ගත හැකියි. එකල මෙය මනරම් උඩරට පෙදෙසට ළගා වීමට ඇති එකම ද්වාරයයි.
" සුද්දා ගල නොවිද්දා නම් නුවර අය කොළඹ ඇවිත් හමාරයි " යන්න කියමනක් ද පොදු ජන ව්‍යවහාරයට පැමිණ ඇත්තේ මේ අද්විතීය නිර්මාණය හේතුවෙනි. කෙසේ වෙතත් කොළඹ නුවර මාර්ගය ඉඳි කිරීමේදී ප්‍රධාන බාධකයක්ව තිබූ සුවිසල් ගල් කුලුන විද මාර්ගයක් ඉඳිකිරීමෙන් කන්ද උඩරට තවත් අලංකාර වූවා පමණක් නොව මාර්ග ඉදිකිරීම් තාක්ෂණයේ ප්‍රශස්ත නිර්මාණයක් ද වේ.
ස්වභාවික චමත්කාරයට හානි නොවන අයුරින් මෙම බිංගෙය ක්‍රි.ව. 1828 - 1830 දී පමණ ඉඳිකර ඇති බව එහි ඇති සමරු ඵලකයේ සඳහන් වේ. මේ ස්ථානය අද මහනුවරට පැමිණෙන බොහෝ දෙනකුගේ ජනප්‍රිය ගිමන් නිමන ස්ථානයක් ද වේ. දුර පළාතකින් පැමිණෙන ජනයා මෙම ස්ථානය අසළ මඳක් නැවතී අවට සිරි නරඹමින් ගිමන් හරින්නටත් ඒ අසල ඇති පලතුරු කඩවලට ගොඩ වී උඩරට පලවැලක රස බලන්නටත් පුරුදුව සිටින්නේ අද ඊයෙක සිට නොවේ.
උඩරට හා පහතරට යා කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ද මේ ආසන්නයේම පිහිටා ඇත. එසේම සිංහලයාගේ රණකාමිත්වය හා ප්‍රෞඬත්වය සංකේතවත් කරන අතිශය වැදගත් ස්ථානයක් වන බලන බළකොටුව ද ඊට ආසන්නව පිහිටයි. බලන වූ කලී මුහුදු මට්ටමේ සිට අඩි 1500ක් පමණ ඉහළින් වූ සානුවකි. ඊට බලන කපොල්ල හරහා ප්‍රවිෂ්ට විය යුතුය. මෙම කපොල්ල සතුරකු අතට පත් වූවොත් ඉන් ඔබ්බට කන්ද උඩරට රාජධානිය පහසුවෙන් ආරක්ෂා කළ හැකි වෙනත් ස්ථානයක් අහලකවත් නැත. එසේ හෙයින් කන්ද උඩරට රාජධානියේ හදවත වූයේ බලනයි. එබැවින් මෙම පෙදෙස ප්‍රෞඬ උරුමයක් ඇති ඓතිහාසික භූමියකි.
කඩුගන්නාවේ පිහිටි අම්බලම ද ඓතිහාසික වටිනාකමැති ස්ථානයකි. මෙය එදා උඩරටත් පහතරටත් හරහා එහා මෙහා ගමන් ගත් වෙළෙන්දන්ගේත් අසරුවන්ගේත් මෙන්ම සාමාන්‍ය ජනතාවගේත් විඩා නිවූ ස්ථානයකි. නුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩ නඟා ඇ.ති කඩුගන්නාව අම්බලම ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස සැලකෙන වැදගත් ස්ථානයකි.
කඩුගන්නාවේ ප්‍රෞඬ යටගියාව එසේ වෙද්දී, අද එම ප්‍රදේශය සොබාදහමේ අකිකරු ඉරණමකට මුහුණදී ඇත. ඒ හුදෙක් ම කාලයාගේ ඇවෑමෙන් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් වූ සංසිද්ධියකි.
වර්ෂාව විටින් විට ඇද හැලෙමින් පවතී. වර්ෂා කාලයට කඳුකර ප්‍රදේශවල නාය යෑම්, කඳු කඩා වැටීම් හා ඇළ, දොළ පිටාර ගැලීම් ජනයා මහත් පීඩාවකට පත් කරයි. එපමණක්ද නොව දරුණු වර්ෂාව නවතින්නේ ඇතැම් විට මිනිස් ජීවිත ගණනාවක්ම මරණයට ගොදුරු කරවමිනි.
පෙර සඳහන් කළ ඩෝසන් මහතා මහත් පරිශ්‍රමයක් දරා තැනූ කොළඹ _ නුවර ප්‍රධාන මහා මාර්ගයේ 98 වැනි කිලෝමීටරය අසල ප්‍රදේශයට ඉහළින් වූ කන්ද, පහල ඇති පලතුරු කඩවල් මත පතිත වීම හේතුවෙන් අනතුරුදායක තත්ත්වයක් පසුගිය දිනවල උද්ගත වී තිබිණි. එසේම අධික වර්ශාව වරින්වර ඇද හැළුණොත් එහි අවදානම සලකා බලා මාර්ගය වරින් වර තාවකාලිකව වසන තත්වයක් ද පවතී
එකල මේ මහා මාර්ගය නිර්මාණය කළ ඩෝසන් මහතා ඇතුළු පිරිස ඉහළින් වූ ගල් පර්වත පෙරළී යාම පමණක් නොව, පසේ තත්ත්වය ද හොඳින් නිරීක්ෂණය කරන්නට ඇත. ඒවායේ සත්‍යතාවය හා නිරවද්‍යතාවය පිළිබඳව ද පැහැදිලි තක්සේරුවකට පැමිණි ඔවුහු උඩරට දුම්රිය මාර්ගයත්, උඩරට මහා මාර්ගයක් අපමණ වෙහෙසක් දරා ඉදි කරන්නට ද ඇත.
කොවිඩ් වයිරසය හේතුවෙන් රට වසා දැමීම හා සංචරණ සීමා පැනවීමෙන් ජන ජීවිතයට එල්ල වූයේ බරපතළ ආර්ථික ව්‍යසනයකි. කම්කරු රැකියා කරමින් එදා වේල සොයා ගන්නා ජනයා මෙන්ම, සුළු වෙළඳ ව්‍යාපාර ද බිඳ වැටිණි. රට විවෘත කිරීමත් සමඟ ඔවුහු යළිත් ටික ටික නැඟී සිටින්නට උත්සාහ දරති. ඒ අතර අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාවෙන් දැඩි අනතුරු හා පීඩාවන්ට ද මුහුණ දෙන්නට සිදු විය. විශේෂයෙන් කඳුකර පෙදෙස්වල ජීවත්වන ජනයාට මුහුණ දෙන්නට වන නාය යෑම් තර්ජනය එම පීඩාකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කරවන්නකි.
කොළඹ _ නුවර ප්‍රධාන මහා මාර්ගයේ 98 වැනි කිලෝමීටරය අසල පවත්වාගෙන ගිය පලතුරු ආශ්‍රිත වෙෙළඳ ව්‍යාපාරයන්ට ද අත් වූයේ එවන් ආකාරයේ දුර්භාග්‍යයකි. නාය යෑම් අවදානම් තත්ත්වයට පත්ව ඇති මේ අයගේ වෙළඳ ව්‍යාපාර දැන් නවතා දමා ඇත. ඔවුන් කබලෙන් ලිපට වැටුණා වැනි විය. ඔවුන්ගේ ආර්ථික උපායන මාර්ගය නඟා සිටුවීම වෙනුවෙන් අත හිත දීම කාලෝචිතය. ඊට පළමු කොටම කළ යුත්තේ වඩාත් සුදුසු ස්ථානයක් තාවකාලිකව හෝ ඔවුන්ගේ ව්‍යාපාර වෙනුවෙන් අත් දීමයි. වාර්ෂාව තවදුරටත් ඉදිරි කාලයේදීත් තීව්‍ර වුවහොත් මෙහි අවදානම තව තවත් වැඩිවනු ඇත. එබැවින් මහා මාර්ගයේ ගමනා ගමන කටයුතු යළිත් නවතා දැමීමට සිදු වේ. ඒ පිළිබඳව ගොඩනැඟිිලි පර්යේෂණ ආයතනය නිරන්තර අධ්‍යයනයක නිරතව සිටී. ඔවුන් පෙන්වා දෙන ආකාරයට කොළඹ _ නුවර දුම්රිය මාර්ගයේ හෝ කොළඹ _ නුවර මහා මාර්ගයේ කඩුගන්නාවේ නාය යෑමේ කිසිදු අවදානමක් නැත. එසේම පැතිරී යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් ද නොමැති බව අවධාරණය කරන අතර එකල ඩෝසන් මහතා නිවැරැදි තාක්ෂණික උපක්‍රම යොදා ගෙන ඉදිකිරීම් කටයුතු කර ඇති බව ද තහවුරු කොට ගෙන ඇත. එබැවින් මාර්ගය කිසිදු නාය යෑමකට ලක් නොවන බවත් අධික වර්ෂාවෙන් මාර්ගයට ඉහළින් ඇති කන්දෙන් ගල් පෙරළීම හා පස් කඳු මාර්ගය මතට පතිත වීමට ඉඩ ඇති බවත් පැවසේ.
මාර්ග සංවර්ධන අධිකාරිය ද පෙන්වා දුන්නේ අයහපත් කාලගුණික තත්ත්වය පහව ගිය කල ඉතා ඉක්මනින් මාර්ගය විවෘත කරන බවයි. කෙසේ වෙතත් මේ වන විටත් මංතීරුවක් විවෘත කොට අත.
මිනිසා ස්වභාවයෙන්ම පුරාවෘත්ත හා ජනශ්‍රැතිවලට මහත් ඇල්මක් දක්වන්නට රුසියෙකි. මෙහිද එවන් ආකාරයේ රසට ගෙතුණු කතාන්දරයක් ද පවතී. ඒ, මෙහි ඇති කඳු මස්තකයේ සුවිසල් පර්වතයක් ඇති බවත් එය රදවා ඇත්තේ වීදුරු බෝතල් 4 ක් උඩ බවත්ය. ඒ වගේම දැන් එයින් එකක් බීඳී ඇතැයිද ඇතැම්හු පවසති. වීදුරු බෝතල් 4 කට සුවිසල් පර්වතයක් දරා සිටිය හැකිද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ ජනප්‍රවාදයත්, නාය යෑම සම්බන්ධයෙනුත් පවසා සිටින්නේ මෙවැන්නකි.
" මේ කන්ද උඩ විශාල පාෂාණ වගයක් තියෙනවා. ඒවා පහළට එයි කියන සැකය නිරීක්ෂණය කරන්න පහසු වෙන්න තමයි, ඔය වීදුරු බෝතල් සහ කම්බි යෙදූ දර්ශකය හදලා තියෙන්නේ. මෙයින් චලනයක් වුණාම හඳුනාගන්න පුළුවන්. නමුත් මේවා කැඩිලා කියන එකේ සත්‍යතාවක් නැහැ.
මේ ස්ථානයේ පාරට උඩින් කඳුරු දෙකක් තියෙනවා. මෙතෙක් කල් සාමාන්‍ය වැසි දිනවල ජලය ගලාගෙන ගියේ මේ කඳුරු දෙක දිගේ. නමුත්, මේ පැවති අසාමාන්‍ය වර්ෂාවත් සමඟ වැඩි ජලය එතැනින් පිටාර ගලලා. පස් කන්ද දෙසට හැරිලා. රේල් පාරෙන් එන වතුරයි, කඳුරු දෙකෙන් එන වතුරයි දෙකම කන්දට යොමු වුණා. ඊට පස්සේ එහි බර වැඩි වෙලා පස් කන්ද පහළට ගියා. අපි අඳුනාගත් ප්‍රශ්නය එයයි. අපි භූ විද්‍යාත්මක පර්යේෂණ රැසක් කළා. දැන් ප්‍රශ්නය හොයාගෙන ඉවරයි. නිසි ප්‍රතිකර්ම සිදු වෙනවා.
රේල් පාරයි, මහා මාර්ගයයි දෙකම තියෙන්නේ ඉතා හොඳ පාෂාණ තට්ටුවක් මතයි. ඒ හින්දා එය නාය යන්න කිසිම හේතුවක් නැහැ. නමුත්, ඒවා අතර තියෙන පස් තමයි චලනය වෙලා පහළට එන්නේ. අපි නාය යෑමක් ලෙස මෙතැනදී හඳුනාගෙන තියෙන්නේ එයයි.
පහළට පස් ඒම නතර කිරීම වෙනුවෙන් නොයෙකුත් අධ්‍යයනයන් කරලා දැන් තීන්දු තීරණ අරන් තියෙනවා. ඒ අනුව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සහ මහාමාර්ග අධිකාරියේ තත්ත්ව පරීක්ෂාවෙන් පසුව දීර්ඝකාලීන ප්‍රතිකාර්ම හරියට යොමු වුණාම නැවත නාය යෑමක් නොවන බවට ස්ථීර නිගමනයකට ආ පසු යළිත් එම ස්ථානයේ ව්‍යාපාර කටයුතුවල නිරත වන්නන්ට තම ව්‍යපාර කටයුතු කරගෙන යෑමට ද ගැටලුවක් ඇති වන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත මහා මාර්ග රැසක් තියෙනවා. මේ සියලුම තැන්වලට අවධානය යොමු කළ යුතුයි. රාගල _නුවරඑළිය පාර, ඇල්ල _ වැල්ලවාය පාර, නුවරඑළිය _ නුවර මාර්ගයේ යම් යම් ස්ථාන, රිකිල්ලගස්කඩ සිට රාගල පැත්තට යන පාර මේවා හරි අවදානම් ස්ථාන. ඒ වගේම ශ්‍රී ලංකාවේ කඳුකර තෙත් කලාපයේ තියෙන මහාමාර්ග දැඩි පරීක්ෂාවට ලක් කළ යුතුයි. මේ ගැන භූ විද්‍යාඥයන්ගේ හා මහා මාර්ග ඉංජිනේරුවන්ගේ නිරීක්ෂණයෙන් පසු ඊට අදාළ නිර්දේශ අරන් වහාම ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වගේම ඉදිරියේ දී ඉදිකරන සියලුම ගොඩනැඟිලි පමණක් නොවේ, මහා මාර්ග ද තත්ත්ව පරීක්ෂාවට ලක් කොට නිවැරැදි නිර්දේශ මතම ඉදි කළ යුතුයි.
ශ්‍යාමා සමරසිංහ
No comments:
Post a Comment