ඉර දෙයියෝ දවල් රෑ දෙකේම අහසට ලොක්කා වෙනවනම් කියලා හිතෙන්නෙ නැද්ද ඇත්තටම ඔහෙලට. එහෙම නැත්නම් පෝයදාට පායන පුරසඳ පෝය නැතත් සැමදාටම රන් පාටින් බැබළි බැබළි කැරලි කැරලි සඳේ එළිය වලා කවුළු පීරාගෙන ගෙට ගෙවදිනවනම් අනේ අම්මේ කියලා හිතෙන්නෙ නැද්ද ඔහෙලට... උදේ ඉඳන් ජීවිතයේ එක එක රාජකාරි එක්ක ඔට්ටු වෙවී මේ රටේ ඉන්නා සීයට අනූ නවයයි දශම නවයක් මිනිස්සු කළුවර දෝර ගලද්දි දොර ජනෙල් බිත්ති වහළය වටකරගෙන තනාගත්ත කූඩුවට සේන්දුවෙන්න යන්නේ නිවී සැනසිල්ලේ හුස්මක් ගන්න හිතාගෙන... ගෙදර ගිහින් තියෙන දෙයක් උයලා පිහලා ගේදොර අතුපතු ගාලා නැත්නම් ගෙදර ඒ වැඩ ටික කරන්න මෙහෙකරුවන් හරි අම්මා තාත්තා හරි ඉන්නවනම් ගියපු ගමන් සනීපෙට නාලා උණුවෙන් තේකක් බීලා සිහිල් සුළඟක් හමා නොඑන ඌෂ්ණ දවසකනම් ගෙදර දොරේ විදුලි පංකාවක්, වායු සමන යන්ත්‍රයක් තියෙනවානම් ඒකත් ක්‍රියාත්මක කරලා දාඩිය නොදමන සැනසිල්ලේ පොඩ්ඩක් දිව්‍යලෝකෙ පැත්තට හිතින් හරි ගිහින් එන්න... හිතේ තියෙන, ජීවිතේ තියෙන දාහක් ප්‍රශ්න අමතක කරලා හුඟාක් මිනිස්සු පොඩ්ඩකට හරි සැනසිල්ලේ ඉන්නේ ඔය රාත්‍රියේ විතරයි.
ස්වභාවධර්මයෙන් මිසක් සිස්ටම් එකෙන් දිව්‍යලෝකයක් නොවුණු අපේ වගේ රටක, පෘතුගීසිකාරයො අල්ලා ගත්ත 1505 අවුරුද්දේ ඉඳන් 2022 වෙනකම් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙච්චි අසිරිමත් ශ්‍රී ලංකාව වගේ රටක පුරවැසියන් වෙච්ච අපිට හවසට සැපට නාලා උණු තේකක් බොනවා කියන්නෙත් මාර සැපක් වෙච්චි... ඒත් වදින වදින හෙණ ලංකාතිලකෙට කීවා වගේ ඒ සැපයත් ලංකාවේ අපට දැන් සෙත්තපෝච්චි වෙච්චි... කාගෙවත් මව්වරු පියවරු මතක් නොකර බොහෝම ඉවසිල්ලෙන් මේ අකුරු කරන්නේ එකපිට එක අපිට වෙච්ච අලකලංචි රොත්තෙන් බොක්කටම වැදෙන්න රිදෙන්න දැනුණු ජරමර ටික අතරිනුත් නොම්මර එක වෙච්ච කළුවරේ ජරමර ටික ගැනයි...
කෝකටත් තෛලෙ වගේ සුද පේන්න හරි ලාවට කිරි හැන්දක් දාලා උදේ හවස කිරි බිව් කට්ටියක් මේ රටේ ඉන්නවා... උන්ට කිරි කෝප්පය කියන්නේ හරියට ගංජා සුරුට්ටුව වගේ... කිරි එකක් නොබීවොත් නිකම් බෑ බෑ වගේ... කැඳ කෝප්පයක් බිව්වා අම්මා මාර හයිය ඈ... කැඳලෝලී කට්ටිය එහෙම කීවට කිරිලෝලී කට්ටිය ඉල්ලන්නෙම කිරි කෝප්පෙ.. ඩොලර් හුටපටේ අස්සේ කිරි ගණන් ඉස්සුවා... ඊළඟට කිරි කොකා පෙන්නුවා... දැන් හිටපු ගමන් එහෙං මෙහෙං අර වැඩි කෝප්ප ගානේ තී එකක් එහෙන් මෙහෙන් හොයාගන්න තිබ්බට කිරි පැකට් එකක් හොයාගන්නවා කියන්නෙ අම්මපා කළු නික හොයනවා වගේ වැඩක්... කිරි සිහිනෙට බල්ලො බුරපි... කිරි සිහිනෙ බොඳ වෙච්ච කට්ටිය හූල්ලන හීල්ලිල්ලට පුදුමයි අප්පා බෙංගාල බොක්ක නොකැලතී තියෙන එක කියලත් හිතෙනවා.
මම දන්න පොඩි කෙල්ලක් ඉන්නවා පින්කි බබා කියලා... වයස අවුරුදු 10යි. ඒ වුණාට හරි හුරතලේ... ඒකි දවසක් කියනවා අපේ අම්මා හොයලා හොයලා කිරිපැකට් 3ක් ගෙදර ගෙනැල්ලා කියලා... මම කීවා කෑගහන්න එපා පින්කි බබා කාට හරි ඇහුණොත් කිරි පැකට් තුන උස්සන්න ගෙදරට හොරු පනී කියලා... අම්මාට බොල කිරිවලට ගිය කලක් සත්තයි ඈ...
ඒ අලකංචිය මැද්දෙ ඩාං ඩූන් ගාලා හතරවටෙන් ගෑස් ටැංකි හින්දා ගෑස් ළිප් පුපුරන්න වෙච්චි.... අර යුද්ධ කාගේ හිටිවනම බට්ටා කෑලි පුපුරනවා වගේ... කොයි වෙලේ කොහේන් ඩාං ඩුන් සද්ද එයිද දන්නෙ නෑ... කට්ටිය දාහක් විකල්ප අතරේ අවසානයේ බත්, බිත්තර, එළවළු සියල්ල එකට දා බලු බත් සිස්ටම් එකට බත් කන්න පටන් ගත්තා...
මේ අලකලංචිය එහෙම වෙද්දි රට වටා අට දිශාවටම හිටු කියලා විදුලිය කපන්න පටන් ගත්තා... විදුලි ඇමැති තෙමේ... එතකොට විදුලි බලේ බලධාරීන් ඕං ඇවිත් දෙයියන්ටත් වාත වෙවී දෙයියෝ ඇපේට තියලා දිවුරන ලීලාවෙන් කියනවා මේ රටේ පුරවැසියන්ට ඕං අද නම් විදුලිය කපන්නෙම නෑ කියලා... චැනල් අයියලා තරගෙට උදේ හිටන් ඒවා දානවා. අපි ඉතින් කට ඇරගෙන බලාගෙන ඉන්නවා අද රූ ගිහින් නාලා... කිරි නැති එකේ කහට කෝප්පයක් හරි බීලා, ගෑස් නැති එකේ පාන් රොඩ්ඩක් හරි ගිලලා නාට්ටියක් බලලා ආතල් එකේ රාත්‍රිය සමරන්න... නැත්නම් වායුසමනය හරි විදුලි පංකාව හරි ක්‍රියාත්මක කරලා සීතල හිම රටේ වගේ Mind ආතල් එකක් සුපිරියටම විඳින්න.... මෙන්න යකෝ අර උන්දැලා එහෙම කියලා පැයෙන් පැයට අට දිසාවටම විදුලි කපපි.... දැන් පැය දෙකයි... අපිට තියෙන ඉවසිල්ලට අදාළ ප්‍රකාශකයින්ගේ මව්පිය උත්තමයින් සිහි නොකර හිටියට නිකම් ඉබේම ඉබේම වගේ සිහිවෙනවදත් මන්දා යටි හිතට...
එක දවසක් ගෙදර යද්දි දොර ඇරියා විතරයි, විදුලි බොත්තම ඔබලා බල්බෙ දිලිසි දිලිසි දැල්වුණා විතරයි විදුලි කපපි. නැංගා කියන්නේ නැගිල්ලක්... ......... තනි මම ගෙදර යන්නෙම නාන්න බලාගෙන... ලාම්පු ඉටිපන්දම් ගෙදර නැත. ගෑස් කේස් නිසා ලාම්පුතෙල් බිඳුවක් සොයාගැනීමට නැත්තෙන් ලාම්පු දැල්වීමට නොහැක. ඕකනේ කතන්දරේ... දහයට තිබුණු නාටු ඉටිපන්දමක් දැන් හෙණ ගණන් ඈ.... අනික් ඒක නිකම් නාටු ගෑනි වගේ පත්තු කරලා එහෙ බලලා මෙහෙ බලලා වටයක් කැරකෙද්දී සුරුස් ගාලා නිමිලා යනවා. ඉතින් එහෙන් මෙහෙන් කළුවරේ අතපත ගාද්දී යාළුවෝ මගේ උපන්දින කේක් ගෙඩියට ගහන්න ගෙනාව ඉටිපන්දම් ටිකෙන් ඉතිරිවෙලා තිබ්බ එක ඉටිපන්දමක් හම්බවුණා. ඒක මගේ සුළැඟිල්ල තරම් දිග නෑ.... අර සෝබන ඉටිපන්දම්නෙ. මම ඒක නාන කාමරේ පත්තු කරලා ඇඳුම් මාරු කරද්දී පත්තුවෙලා ඉවරත් වෙලා.... ......... අ යන්නත් එක්ක අකුරු තුනක් කීවා... කීවා නොවෙයි කියවුණා මට. කළුවරේ නාද්දි ෂැම්පු කියලා ඔළුවේ හලාගෙන තියෙන්නෙ බොඩි වොෂ්* එක... වෙලාවකට ඇඳන් හිටපු රෙද්දෙ උලලා තියෙන්නෙ සුවඳ සබන් කැටේ... ඇඟේ ගාලා තියෙන්නේ අර ලාබ බාර් සබන් කැටේ....
යාන්තම් හඳ එළිය දවසට වීදුරු ජනේලෙන් පෙරීගෙන එන එළියෙන් ඉව්වා කියමුකො.... ඉදෙන හට්ටියට හූනෙක් කැරපොත්තෙක් මකුළුවෙක් කුරුමිණියෙක් වැටුණා කියමුකෝ... වෑංජනේ ඉදෙන්නෙ උනුත් එක්කම. ඉවසන්න බැරි බඩගින්නක් ඇවිත් කළුවරේම කෑවා කියමුකෝ චරස් ගාලා හැපෙද්දී තමා වැඩේ දන්නෙ... ඊට පස්සේ ඔක්කාරෙට බෙහෙත් හොයන්න ඕනෑ. ඔය කෝච්චිවල උදේ හවස වැඩට යන අක්කලා අම්මලා ආච්චිලා උදේ වෑංජන ටිකත් රෑට උයලා හදලා මැල්ලුම් කපලා කොටලා සාරි බාරි මැදලා තියලනේ බුදියන්නේ... විදුලි කැපිල්ලෙන් දැන් උන් ඒ ගේම ගහන්න එක්කෝ රෑ මැදියම වෙනකම් ඇහැරිලා ඉන්න ඕනෑ. නැත්නම් උදේ තව පැයක් හමාරක් කලින් ඇහැරෙන්න ඕනෑ... එහෙම නිදිමරලා කිරන කිරිල්ලට කොහොමද බං සිහියක් පතක් ඇතුව රාජකාරියක් කරගන්නේ. අම්මපා... අනික ඔය සීනි එහෙම ඇඟේ වැඩි කට්ටියට කාලා බීලා වෙලාවට බෙහෙත් ටික බොන්න එපැයි. ඉතින් කළුවරේ උයාගන්න නැතිවුණාම උන්ට එක්කෝ වෙලාවට පෙත්ත නැති වුණාම සීනි කේස් එනවා හිටු කියලා... පවුලේ හතර පහ ඉන්න එවුන් කළුවරේ ගෑසුත් ඉවරවෙලා උයන්නෙ දර ළිපේ. අප්පා කන කට්ටක්... වෙලාවකට කොච්චර පිම්බත් බලන්න ඕනෑ නිකං දර කෑල්ලේ ආඩම්බර. ඇවිලෙනවා නිවෙනවා... ඇවිලෙනවා නිවෙනවා... අපේ හිත්වල ඇවිලෙන ඕසේට ළිපේ ගින්දර ඇවිලෙන්නෙ නෑ අප්පා....
කාර්යාලයේ මගේ මේසයට එහා පැත්තේ මේසයේ ඉන්න හාදයාගෙන් මම ඇහුවා කොහොමද රූට විදුලිය කැපුවම ගෙදර තත්ත්වේ කියලා... මිනිහා හෙණ සාහිත්‍යකාරයා... පොර කියනවා අපි දැන් හැමදාම කන්නේ රූට පොල් සම්බෝලයි බතුයි... ගෑසුත් ඉවරයි බං... හැබැයි නෝනා හොඳට උම්බලකඩ එහෙම දාලා ගලේ අඹරලා සම්බෝලෙ හදනවා කියලා... නොකීවාට මට හිතුණෙ උම්බලකඩ රහට මිනිහට හැපෙන්නෙ කළුවරේ ගලේ ඇඹරෙන කැරපොත්තොද දන්නෙත් නෑ කියලා... මොකද මිනිහගෙ ගෙදර හරියට කැරපොත්තො ඉන්නවලු.
කළුවරේ ජරමර ගැන තවදුරටත් මගේ නිරීක්ෂණ පරීක්ෂණ කරන්න හිතාගෙන මම අනික් පැත්තෙ ඉන්න මෝල් ගහක් වගේ කෙට්ටු උස හාදයාගෙන් ඇහුවා කළුවරේ මොකද කරන්නෙ විදුලිය කැපුවාම හරි ප්‍රශ්ෙන නේහ්.... කියලා....
ලාම්පුව පත්තු කරාම පොඩි උන් දෙන්නා කට දිග් කරගෙන ලාම්පුව දිහා බලාගෙන ඉන්නවා. ඒක නෙවෙයි බං මේ ළඟදි නම් හොඳ වැඩක් වුණා. එක ලාම්පුවනෙ බං ගෙදරට තියෙන්නේ. මම කළුවරේ නාලා ඇඳගෙන තියෙන්නේ නෝනගේ කොට කලිසමක්. ඇන්ද ගමන් කලිසම බිම... බැලින්නම් ඒක නෝනගේ එකක්... මිනිහාගේ නෝනා බෝලේ වගේ මහතයි... උඩ කලිසම් විතරක් නෙවෙයි කළුවරේ හදිසියේ ගමනක් බිමනක් යන්න වුණොත් ඔය විදිහට යට කෑලිත් මාරුවෙන්න පුළුවන් ඈ... අනිත් එක තමා ඔය ගෙදර නෑදෑ මස්සිනාලා නෑනලා ඉන්නවා නම් තමන්ගේ නෝනට මහත්තයට වුණත් එදාට උපන්දිනේ සංවත්සර මොනවා හරි යෙදිලා තිබුණොත් ගෙදරට එන්නෙ ඒ වෙලාවට වුණත් විදුලි කපපු වෙලාවක නම් හාදු එහෙම දෙන්න යන්න එපා... අන්තිමේ පැටලිලා ගිහින් විදුලිය කැපිල්ලේ දිගුකාලීන ප්‍රතිඵල විදිහට පවුල් අවුල් වෙන්නත් පුළුවන්...
මම අපේ කාර්යාලයේ ඉන්න කොණ්ඩෙ බැඳලා හිටපු ඒ්ත් ළඟදි ෙකාණ්ෙඩ කපපු තඩි හාදයාගෙන් ඇහුවා මොනවැයි බං විදුලි කැපිල්ලේදී කරන්නෙ කියලා... ඌ කියනවා ගෙදර ඉස්තෝප්පුවට වෙලා ඌ පැටියා කාලේ ආච්චියි සීයයි කියා දුන්න ජන කවි කියනවලු ඌට හිතෙන හිතෙන තාලෙට... ඒ කළුවර ජොලි මර කරගන්න කට්ටිය ඈ... එහෙම තව එකෙක් මට හම්බවුණා... උල් කටක් තියෙන කොච්චරවත් කියවන නාටු හාදයෙක් ඉන්නවා අපි එක්ක... ඌ කියනවා මම විදුලි කපාපුවාම මිඳුලට ගිහින් හඳ තිබ්බොත් හඳ දිහා බලාගෙන ඉන්නවලු... තරු තිබ්බොත් තරු දිහා බලාගෙන ඉන්නවලු. මම ඇහුවා එතකොට දෙකම නැත්නම් කියලා. ඌ කියනවා එතකොට කළුවර දිහා බලාගෙන ඉන්නවාලු... මෙහෙම නා නා මාදිලියේ උත්තර මට හම්බවුණා... මේ අතර මට තවත් පැත්තකින් ඉන්න දිග උස රැවුලාෙගන් කොච්චරවත් හූස් හූස් ග ගා පිඹ පිඹා ඉන්න පොරගෙන් විදුලිය කැපුවාම මොකද කරන්නේ බං කියලා ඇහුවා විතරයි ඌ සිංහල හෝඩියේ පළමු අක්ෂරයෙන් එන වචනයක් කියලා නටන්න පටං ගත්තනෙ හෙණ ඩෙගාවක්.....
ඒ ඩෙඟාව අවසානයේ කළුවරේ ජරමරේ ගැන මගේ සියලු පරීක්ෂණ නිරීක්ෂණ තුළින් මම අවසන් නිගමනයකට ආවා....
විදුලිය කැපිල්ල උන්මත්තකයින් නොවන සියලු ශ්‍රී ලාංකිකයන්ට සිංහල හෝඩියේ එන පළමු අක්ෂරයෙන් එන එසේම දරුවෙකු බහ තෝරණ වියේදී බොහෝ විට කියන මුල්ම වචනය හා සබැඳෙන තිත්ත හරුප සමඟ සුද්ධ සිංහල සිහිපත් කරන පුදුම කරුමයක් වී තිබේ.
► සංජීවිකා සමරතුංග
No comments:
Post a Comment