Monday, 28 February 2022



ඉන්ධන නොලැබෙන්නේ නම් හෙට දවසේ බස් රථ ධාවනය අවිනිශ්චිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

"හෙට දවසේ ඉතින් ඩීසල් තිබුණොත් ඉතින් දුවයි. නැත්නම් නවතියි."

ඔහු ප්‍රකාශ කළේ, ලංගම ඩිපෝ මාර්ගයෙන් හෝ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඩීසල් ලබා දීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍යවරයා ඊයේ (පෙබ. 27) තමන් සමග ප්‍රකාශ කළ බව ය.

දිවයින පුරා ඇති ඉන්ධන පිරවුම්හල් 75%ක පමණ ඩීසල් නොමැති බව ත් ඩිසල් ඇති ඉන්ධන පිරවුම්හල්වල දිග පෝලිම් පවතින බව ත් ඔහු පැවසීය.

විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන නොමැති විම හේතුවෙන් බස් රථ ධාවනය අද (පෙබ. 28) දහවල් කාලයේ සිමා කළ බව ය.

ඒ හේතුවෙන්, ඉන්ධන ලබා දීමේදි බස් රථ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ත් අවම වශයෙන් පොලිසිය යොදවා හෝ ඉන්ධන ලබා දිමට ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කරන්නේ නම් බස් රථ ධාවනය කළ හැකි බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.

රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කළේ

එහිදි ඔහු සඳහන් කළේ, ඩීසල් රැගත් නෞකාවක් අද (පෙබ. 28) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද එය පැමිණීම ප්‍රමාද වී ඇති බව ය.

ඒ අනුව, එම නෞකාව හෙට (මාර්. 1) හෝ මාර්තු දෙවන දා අලුයම වන විට මෙරට පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,300ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ පෙට්‍රල් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම දැඩි අසීරු තත්වයකට පත්ව ඇති බව ය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අනෙකුත් බැංකු අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන බව ත් අසීරුවෙන් හෝ තත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ඊයේ සහ අද දිනයේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ද ප්‍රදර්ශනය කර තිබුණු බව නිරික්ෂණය විය.


තාරක සම්මාන්





No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...