ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය කෙරෙහි දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. ඒ එම සැසිවාරය ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් එකක් වන බැවිනි. මෙවර සැසිවාරයේදී ශ්රී ලංකාවට සම්බාධක පැනවෙනු ඇති බවටද ඇතැම් පාර්ශ්ව පවසන ආකාරයක් දැකගත හැක. ඒ හේතුවෙන් රටේ ජනතාව තුළ යම්කිසි බියක් ඇති වී තිබෙන බවක්ද පෙනෙන්නට ඇත.
මේ පිළිබඳ දැන ගැනීම සඳහා අප ප්රවීණ දේශපාලනික විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා සම්බන්ධ කර ගත්තේ ඊට නියම සුදුස්සා ඔහු වන නිසාමය. ජිනීවා මානව හිමිකම් සැසිවාරය සහ ඉන් රටට අත්වෙන බලපෑම පිළිබඳව ජයතිලක මහතා අදහස් දැක්වූයේ මෙසේය.
“2022 එක්සත් ජාතීන්ගේ සැසිවාරය අපේ රට සම්බන්ධයෙන් ඉතා වැදගත් එකක් වෙනවා. ඒ හරහා ලංකාවේ කිසියම් පිරිසකට අනර්ථකාරී ප්රතිවිපාක අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. සමස්ත රටටම ඒ ප්රතිවිපාක බලපානවා කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් එක්තරා පිරිසකට ඒ තත්ත්වය බලපාන්න පුළුවන්.”
ජයතිලක මහතා කතාබහට මුලපුරුවේ එසේය.
බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ මෙවර සැසිවාරයේදී ශ්රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් වන බවකි. නමුත් ජයතිලක මහතා පවසන්නේ මෙවර සිදුවන්නේ නව යෝජනාවක් ඉදිරිපත් වීම නොව පසුගිය වසරේ ගත් තීන්දුවේ තවත් දිගුවක් බවය.
“මෙවර අලුත් යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් මෙවර අලුත් දෙයක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ. පසුගිය වසරේදී අපට අත් වූ පරාජයත් එක්ක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධ මහකොමසාරිස්වරිය ශ්රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයන්න වරමක් ලබා දෙනවා. ඇයගේ කාර්යාලය යටතේ ශ්රී ලංකාව සම්බන්ධයෙන් සොයා බලන්න විශේෂ කාර්යාංශයක් පත් කරනවා. ශ්රී ලංකාවේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ සියලු දත්ත එකතු කිරීම තමයි ඒ කාර්යාංශයෙන් සිදු කරන්නේ. ඒක හරියට ලංකාවට චෝදනා නිර්මාණය කරන ෆැක්ටරියක් වගේ තැනක්. දැන් ඒ දත්ත එකතු කරලයි තියෙන්නේ. ඒ කියන්නේ ශ්රී ලංකාවට එරෙහිව පියවර ගන්න අවශ්ය දත්ත ෆයිල් කරලා තියෙන පසුබිමක තමයි මේ සැසිවාරය පැවැත්වෙන්නේ. ඒ ෆැක්ටරියේ පළමු නිෂ්පාදනය තමයි මේ එළියට එන්නේ. ලංකාවෙදි ජාත්යන්තර මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙලා නම් ඒ සියලු තොරතුරු දැන් ඒ කාර්යාංශය සතුව තියෙනවා.
දැන් ලෝකයේ ක්රියාත්මක විශ්ව රීතිය අනුව ලංකාවෙදි මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි කියන පුද්ගලයන්ට විරුද්ධව ලෝකයේ ඕනෑම රටක නඩු පවරන්න පුළුවන්. අපිට ඒ නීතිවලට පිටුපෑමේ හැකියාවක් නැහැ. තම රටේ ස්වෛරීත්වය ගැන මහා ඉහළින් කතා කරන පුටින්ගේ රුසියාව පවා ඒ නීතීන්ට ගරු කරනවා. එහෙම නඩු පැවරුවම ඒ නඩු ඒ රටේ නීතිය යටතේ හෝ විශ්ව රීතිය යටතේ විභාග කරන්න නඩුකාරවරුන්ට අවස්ථාව ලැබෙනවා.
මීට කලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව එහි අනෙක් සාමාජිකයන් 92කටම කිව්වා ලංකාවේ මානව හිමිකම් කඩවෙලා තියෙනවා නම් නඩු දාන්න කිව්වා. ඒත් ඒ සම්බන්ධයෙන් එකම නඩුවයි වැටුණේ. එහෙමයි කියලා අපිට මේක සුළුවෙන් තකන්න බැහැ. මොකද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ලංකාව සම්බන්ධයෙන් පත් කළ විශේෂ කාර්යාංශය මඟින් තමයි දැන් ඒ දත්ත ලබා දෙන්නේ. මෙවර තත්ත්වය බරපතළ වෙලා තියෙන්නේ අන්න ඒ හින්දයි.”
සමස්ත රටටම ඒ ආකාරයෙන් නඩු පැවරීම සිදු නොකළද, යම් යම් පුද්ගලයන්ට ඒ ආකාරයේ නඩු පැවරීම රටේ ආර්ථිකයට බලපාන ආකාරය ජයතිලක මහතා විස්තර කළේ මෙසේය.
“රටේ සමස්ත ජනතාවට මේ දැල එළෙන්නේ නැහැ. යම් යම් පුද්ගලයන්ට තමයි මේ දැල එළෙන්නේ. නමුත් ඒක රටේ ආර්ථිකයට බලපානවා. මොකද මේ ආකාරයෙන් අපේ රටේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් යම් යම් පුද්ගලයන්ට නඩු පැවරුණා කියලා ජාත්යන්තර මාධ්ය ඔස්සේ වාර්තා වෙනවා. ඒ හරහා සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම ආයෝජකයන් වුණත් ලංකාවට එද්දි ඒ ගැන දෙපාරක් හිතනවා. අපේ රටෙන් අපනයනය කරන භාණ්ඩ සඳහාත් යම් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඒ හින්දා යම් යම් පුද්ගලයන්ට එල්ල වෙන චෝදනා වුණත් ඒක රටට පැහැදිලි බලපෑමක් එල්ල කරනවා.”
ඒ ජයතිලක මහතාගේ අදහස්ය.
රටක් ලෙස ජාත්යන්තරයේ කටයුතු කිරීමේදී ඕනෑම ප්රශ්නයකට විසඳුම් සොයා ගත යුතුය. ශ්රී ලංකාවට මේ එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන්ද විසඳුමක් සොයා ගැනීම සෑම ශ්රී ලාංකිකයෙකුගේම අපේක්ෂාවය. අප ඒ විසඳුම් පිළිබඳවද ජයතිලක මහතාගෙන් විමසා සිටියෙමු.
“මේකට බොහොම සරල විසඳුමක් තිබුණා. හැබැයි යුද ජයග්රහණයෙන් පස්සේ හිටපු එකම ආණ්ඩුවක්වත් ඒ විසඳුම් ක්රියාත්මක කළේ නැහැ. පශ්චාත් යුද සමය ගත්තොත්, 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වෙලා දින කිහිපයකින් ශ්රී ලංකාව සම්බන්ධයෙන් කතා කරන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිය රැස් වුණා. එහිදී ශ්රී ලංකාවට එරෙහිව එල්ල වූ චෝදනාව 2/3ක බහුතර බලයකින් පරාජය කරන්න අපිට හැකියාව ලැබුණා. ඒක සුවිශේෂී ජයග්රහණයක්. ඉන් අනතුරුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ එවකට මහ කොමසාරිස්වරයා වූ බැංකි මූන් මහතා හමුවුණා. ඊළඟට ඉන්දීය නියෝජිතයන් පිරිසකුත් හමුවුණා. ඒ අවස්ථා දෙකේදීම අපි ජාත්යන්තරයට ප්රතිඥා දෙකක් දුන්නා. ඒ කාලෙදි අපිට එරෙහිව ජාත්යන්තර උසාවි ගැන කතා කළේ නැහැ. ඒ ප්රතිඥා දෙක ක්රියාත්මක කළා නම් අද වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒවා හරිම සරල ප්රතිඥා. එකක් තමයි 13 වැනි සංශෝධනය ක්රියාත්මක කිරීම. හැබැයි ඒක මුළුමනින්ම ක්රියාත්මක කරනවා කියලා ඒ කොහෙවත් සඳහන් වෙලා නැහැ. අනෙත් එක යුද කාලෙදි වුණා යැයි කියන යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීම. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවවත්, යහපාලන ආණ්ඩුවවත් ඒ දෙකම ක්රියාත්මක කළේ නැහැ.
13 වැනි සංශෝධනය ක්රියාත්මක නොවීමත් එක්ක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ලංකාව සම්බන්ධයෙන් 2012 වසරේ ගෙන ආව යෝජනාවෙන් අපි පරාජය වුණා. ඒ බලපෑම් හින්දා 2013 වසරේදී උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්න රජය කටයුතු කළා. ඒත් 13 වැනි සංශෝධනය ක්රියාත්මක කරන්න ඒ රජයේම සිටි අන්ත දක්ෂිණාංශික, අන්තවාදී බලවේග ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ හින්දා 2013, 2014 වසරවලත් අපි ජිනීවා යෝජනාව පරාජය වුණා.
2015 යහපාලන රජය ආවට පස්සේ ගත්ත තීරණයත් කිසිසේත්ම අනුමත කරන්න බැහැ. විදේශීය නීතිඥවරුන් සහ විදේශීය නඩුකාරවරුන් මේ රටට ගෙනැල්ලා යුද අපරාධ සම්බන්ධයෙන් හයිබි්රඩ් අධිකරණ ආරම්භ කරන්න ඒ අය කැමැති වුණා. ඇත්තටම ඒක මේ රටේ කිසිම කෙනෙක් අනුමත නොකරපු දෙයක්.
හැබැයි ඒ ආණ්ඩු දෙකම මේක විසඳන්න තියෙන ලේසිම ක්රමය කියාත්මක කළේ නැහැ. මේ සම්බන්ධයෙන් සොයා බලන්න දේශීයව පත්කරපු කොමිසම් තුනක් තියෙනවා. එකක් උගත් පාඩම් කොමිසම. ලංකාවෙදි වුණා කියන යම් යම් සිද්ධි සහ ඒ වෙනුවෙන් ගත යුතු පියවර ඒ වාර්තාවේ තියෙනවා. ඊළඟට උදලාගම කොමිසම සහ පරණගම කොමිසම. මේ චෝදනා සම්බන්ධයෙන් ගත යුතු පියවර වගේම විකල්ප යෝජනාත් ඒ වාර්තාවල සඳහන් වෙනවා. ඒ පැවැති කිසිම රජයක් ඒවා ක්රියාත්මක කළේ නැහැ. ඒ හින්දයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ.”
දයාන් ජයතිලක මහතා අදහස් දැක්වූයේ එසේය.
ජනතාව පසුගිය මැතිවරණවලදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුවට අති විශාල බලයක් ලබා දුන්නේ පැවැති රජයක් කළ වැරැදි නිවැරැදි කර ගැනීම සඳහාය. නමුත් ජයතිලක මහතා පවසන්නේ වර්තමාන රජයද කටයුතු කරන්නේ ඒ ආකාරයෙන්ම වන බවය.
“දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද කරන්නේ. තමන්ගේ සහෝදරයා, එහෙම නැත්නම් යුද ජයග්රහණයේ නියමුවා විදියට කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරපු කමිටුවලින් ලබා දුන්නු නිර්දේශ පිළිබඳ සොයා බලන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තවත් කමිටුවක් පත් කරනවා. ඇත්තටම ඒක විහිළුවක්. ඒ ගැන සොයන්න පස්සේ තවත් කමිටුවක් පත් කරාවිද කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ගත යුතු නිර්දේශ ඒ කමිටු වාර්තා හතරේම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිතුමාට ඒ නිර්දේශ කියෙව්වා නම් ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. ඒත් මේ තවත් කමිටු පත් කර කර කල් මරන එකයි කරන්නේ. බෙල්ල මුලටම එරිලා තියෙද්දි අපි තවත් කල් ගන්නවා වගේ වැඩක් මේක. හරි වැඩපිළිවෙළක් නැති හින්දයි අපි පසුගිය වසරෙදිත් මානව හිමිකම් යෝජනාව පරාජය වුණේ. මේ වෙද්දි පස් වතාවක් අපි ඒ යෝජනාව පරාජය වෙලා තියෙනවා. ඒත් තවමත් මේ රජය ඒ සම්බන්ධයෙන් ගත යුතු නිසි පියවර ගන්නේ නැහැ.
ඒ වගේම රජයට එහෙම පියවර ගන්න හැකියාවක් ඇති බවකුත් පේන්නේ නැහැ. යුද ජයග්රහණයෙන් පස්සේ 13 වැනි සංශෝධනය ක්රියාත්මක නොකරන්න බලපෑම් කෙරුම පාර්ශ්ව තමයි අද මේ රජය මෙහෙයවන්නේ. ඒ හින්දා ඒක ක්රියාත්මක වේවි කියලා විශ්වාස කරන්න බැහැ. යහපාලන රජය කළේ සියලුම කොන්දේසිවලට එකඟ වෙන එක. ඒක අනුමත කරන්නත් බැහැ. එහෙම නැතිව ප්රායෝගික මැද මාවතක කටයුතු කරනවා නම් මේ ප්රශ්නයෙන් අපිට අත් මිදෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ ත්රස්තවාදයට එරෙහිව අපි ලබා ගත්ත සාධාරණ යුද ජයග්රහණයට කළු පැල්ලම් එකතු වෙන එකයි. හැබැයි පැවැති හැම රජයක්ම ඒකට පාර කපන එක තමයි කරලා තියෙන්නේ. වර්තමාන රජයත් ඒ පාරෙම ගමන් කරන එක ගැන මට තියෙන්නේ කනගාටුවක්.”
ජයතිලක මහතා සංවාදය අවසන් කළේ එසේය.
චන්දන පොන්නම්පෙරුම
No comments:
Post a Comment