ශ්රී ලංකාවේ තානාපති කාර්යභාරය භාරගැනීම තමන්ට ඉමහත් ගෞරවයක් බව ශ්රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ලෙස පත්ව ආ ජූලි චන්ග් මහත්මිය පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්රකාශ කර ඇති ජූලි චන්ග් මහත්මිය අතීත උරුමය, විවිධ සංස්කෘති හා නූතන සංකීර්ණත්වය ඇතුළුව ශ්රී ලංකාව පිළිබඳව තවදුරටත් ඉගෙනගැනීමට අපේක්ෂා කරන බව එහි සඳහන් කර ඇත.
සියවස් දෙකක් පුරා අමෙරිකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ අමෙරිකාවේ නවෝත්පාදන, ව්යවසායකත්ව චින්තනය සහ ලොව නන් දෙසින් අමෙරිකාවට ගලා ආ බොහෝ සංක්රමණිකයින් හේතුවෙන් බව ඇය පවසයි.
ශ්රී ලංකාවේ සිවිල් සමාජය, ව්යාපාරික අංශය සහ තරුණ පිරිස් සමඟින් පුද්ගලයින් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ දී තානාපතිවරිය වශයෙන් සිය වැඩකටයුතු හැඩගැස්වෙනු ඇත්තේ ද ඒ ගුණාංග මගින් බව මෙරට නව අමෙරිකානු තානාපතිවරිය සිය ට්විටර් ගිණුමේ තවදුරටත් සඳහන් කර ඇත.
ශ්රී ලංකාවට තමා පිළිගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පළකරන ශ්රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරිය බොහෝ පාර්ශව හමුවීමට ද අපේක්ෂාවෙන් පසුවන බව සිය ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි ජූලි ජේ. චන්ග් මහත්මිය ඊයේ (18) පස්වරුවේ දිවයිනට පැමිණියාය.
No comments:
Post a Comment