Friday, 4 March 2022


හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර ඇත.

2016 වසරේ ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව එම චෝදනාවලින් පමණක් අදාළ විත්තිකරුවන් නිදහස් කරන බවත් විනිසුරුවරු නියෝග කර සිටී.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබාදීම සඳහා එය අද (04) දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරු විසින් මෙම බහුතර තීන්දුව ලබාදී තිබුණි.
බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්රකාශයට පත් කළ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා, පොදු දේපළ පනතේ 7 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයින්ට පමණක් බව සඳහන් කළේය.
එහෙත් මෙම නඩුවේ විත්තිකාර පර්පචුවෙල් ට්රෙෂරිස් සමාගම ස්වභාවික පුද්ගලයෙකු නොවන හෙයින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වාගෙන යා නොහැකි බවද විනිසුරුවරයා පැවසීය.
ඒ අනුව එම සමාගමට එල්ලවී තිබෙන චෝදනාවලට සම්බන්ධ වී පවතින හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්, පර්පචුවෙල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ චෝදනා ද පවත්වාගෙන යාමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.
එහෙත් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා සිය තීරණය ප්රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පැමිණිල්ල විසින් ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යාහැකි බවය.
මෙම තීරණය ප්රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය මෙම නඩු තීන්දුව පිළිබඳව අධ්යයනය කර පියවර ගැනීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.
එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්ර ප්රනාන්දු මහතා අධිකරණය විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට දුන් තීරණයත් සමගම සමස්ත අධිචෝදනා පත්රයම පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව සඳහන් කළේය.
මෙම චෝදනා පත්රය සංශෝධනය කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්ර ප්රනාන්දු මහතා ඒ අනුව එය ඉල්ලා අස්කර ගත යුතු බව පැවසීය.
කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව අධ්යයනය කර තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව සඳහන් කළ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා ඒ අනුව ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව මෙම නඩුවේ සෙසු චෝදනාවලට අදාළ විභාගය පැවැත්වීම සඳහා "පූර්ව නඩු විභාග සම්මන්ත්රණය" සඳහා මැයි මස 4 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...