විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම සහ ජලාශවල ප්‍රමාණවත් පරිදි ජලය නොමැති වීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක කෙරෙන විදුලි කප්පාදු කිරීම් ඉදිරියේදී පැය 15ක් දක්වා පමණ ඉහළ යා හැකි යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මින් ඉදිරියේදී විදුලිය කප්පාදු කරන වේලාවන් ප්‍රකාශ කරනවාට වඩා විදුලිය ලබා දෙන වේලාව පැවසීම වඩා පහසු වනු ඇති බව ය.
එබැවින් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන හැකිතාක් ඉක්මනින් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර එසේ වුවහොත් පමණක් විදුලි කප්පාදු කිරීම් හැකිතාක් අවම කිරීමට හැකි වනු ඇති බව ත් ඔහු පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ඉන්ධන බලාගාරවල ධාරිතාව මෙගාවොට් 1700 ක් පමණ වුව ද මේ මොහොත වන විට ඉන්ධන නොලැබීම හේතුවෙන් නිෂ්පාදනය කිරිමට හැකියාව ඇත්තේ මෙගාවොට් 1000ක ධාරිතාවක් පමණක් බව ය.
නමුත් මෙරට දිනක් තුළ රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2800ක් බව ද ඔහු පැවසීය.
එමෙන් ම ජලය නොමැතිකමින් ජල විදුලි බලාගාර හරහා ලබා දීමට හැකිව ඇත්තේ දහවල් කාලය සඳහා මෙගාවොට් 300ක් සහ රාත්‍රී කාලය සඳහා මෙගාවොට් 700ක් පමණක් බව ද ඔහු පැවසීය.
මේ අතර එළඹෙන අලුත් අවුරුදු සමයේදි පවා ජනතාවට අඳුරේ ම හිඳින්නට වේ දැයි එම අවස්ථාවේදි මාධ්‍යවේදියෙක් ඔහුගෙන් විමසීය.
ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.
මාධ්‍යවේදියා - "අවුරුදු සමයේ ජනතාවට අඳුරේ ම ඉන්න සිදුවෙයි ද?"
සභාපතිවරයා -
"හෙල් නොලැබුණින්, වැස්සේ නැති වුනොත් පැහැදිලිව ම අඳුරේ ඉන්න වෙයි. විදුලි බල මණ්ඩලයක් තියෙනවා නම් ජනතාවට විදුලිය නැති වෙනවා නම් ඒ විදුලි බලය මණ්ඩලය මොකට ද? කියන එක ලොකු ගැටලුවක්. හැබැයි මේක තනියම විදුලි බල මණ්ඩලයට පවරන්න බෑ. අදාළ අමාත්‍යාංශයක් තියෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව තියෙනවා. මුදල් අමාත්‍යශය තියෙනවා. මේ සියලු දෙනාගේ එකමුතුව හරිහැටි ක්‍රියාත්මක නොවුණොත් මේවා ක්‍රියාත්මක කරන්න බෑ"
මේ අතර, එළඹෙන අප්‍රේල් මාසය වන විට ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඉන්ධන ලැබීමට නියමිත බැවින් අලුත් අවුරුදු සමය වන විට ගැටලුවකින් තොරව ඉන්ධන සැපයීම සිදු කළ හැකි වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
අද (මාර්තු 30) දින ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේ ය.
එහිදි ඔහු ප්‍රකාශ කළේ, පසුගිය ජනවාරි මස සිට මාර්තු මස දක්වා වන මාස තුනක කාලය තුළ පමණක් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1ත් 1.2ත් අතර මුදලක් වැය වී ඇති බව ය.
රට තුළ අසිමිත ඉන්ධන පරිභෝජනයක් සිදු වන අතර එබැවින් මෙම වසර පුරාවට ම ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 5 ක පමණ මුදලක් වැය වනු ඇතැයි ඔහු වැඩිදුරට ත් පැවසිය.
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment