2019 දෙසැම්බර් 31 වැනිදා කොවිඩ් වසංගතය ආරම්භ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 7.6ක විදේශ සංචිත ශ්රී ලංකාව සතුවිය.
එය පසුගිය පෙබරවාරි අවසානය වනවිට බිලියන 2.1 දක්වා පහළ බැස තිබුණි.
මෙම තත්ත්වය මෙරට විදේශ සංචිතවල 72.36 % පහළ යාමක් වන අතර ඒ හේතුවෙන් මෙරට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් ඖෂධ , ඉන්ධන, ගෑස්, ආහාර ඇතුළු අත්යවශ්ය ද්රව්ය හිඟයක් ඇති කිරීමටද ඉවහල් වුණි.
අර්බුදය උග්ර වෙද්දී පසුගිය මාර්තු 07 වනදා ශ්රී ලංකා මහ බැංකුව එතෙක් රුපියල් 202ක රඳවාගෙන සිටි ඩොලරයේ අගය පාවීමට ඉඩහැරි අතර අද වාණිජ බැංකු රැසක ඩොලරයක විකුණුම් වටිනාකම සටහන්ව තිබුණේ රුපියල් 275ක අගයකය.
මෙම අර්බුදය දිනෙන් දින උග්ර වෙද්දී ඊට පිළියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා කැබිනට් අමාත්යවරුන්ගෙන් මෙන්ම, භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිවරයාගෙන් සමන්විත ආර්ථික කමිටුවක් පත් කළ අතර ඊට උපදෙස් ලබාදීමට විශේෂඥ උපදේශන මඩුල්ලක් ඊයේ කැබිනට් මණ්ඩලයේදී පත්කරනු ලැබීය.
මේ අතර අර්බුදය විසඳාගැනීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යාමේ තීරණයට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර තිබුණි.
කැබිනට් මණ්ඩලය මෙලෙස තීන්දු කළේ ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පසුබිමකය.
ඊයේ මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ එම නියෝජිතයා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ශ්රී ලංකාවට ජාත්යාන්තර මූල්ය අරමුදලේ සහාය ලබාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමුවී ඇතැයි සඳහන්ය.
මෙරට යෝජනා ජාත්යන්තර මූල්ය අරමුදලේ ජ්යෙෂ්ඨ නිලධාරින් වෙත ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්යවරයා අප්රේල් මැද භාගයේදී වොෂින්ටන් බලා පිටත්ව යාමට ද නියමිතය.
මේ අතර ඉන්දියාවෙන් ලබාගැනීමට නියමිත අමෙරිකානු ඩොලර් බිලියන එකක ණය පහසුකම සහ ඩොලර් මිලියන පන්සියයක පෙට්රෝලියම් ආශ්රිත නිෂ්පාදන ණය පහසුකමට අදාළ ගිවිසුම් අත්සන් කිරීම සඳහා මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අද එරට බලා පිටත්ව ගියේය.
ඩොලර් බිලියනයේ ණය පහසුකම අත්යවශ්ය ඖෂධ හා අත්යවශ්ය ආහාර ද්රව්ය ආනයනය සඳහා යොදාගැනීමට නියමිතය.
මෙම ගිවිසුම යටතේ ලබාදෙන මුළු ණය මුදලින් සියයට 75ක වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා ලබාගැනීම ඉන්දියාවෙන් සිදුකළ යුතු අතර ඉතිරි සියයට 25ක භාණ්ඩ හා සේවා වෙනත් ඕනෑම රටකින් ලබාගැනීම සිදුකළ හැකිවෙයි.
මේ අතර උද්ගතව ඇති ආර්ථික අර්බුදය ඇතුළුව රට මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (16) ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
No comments:
Post a Comment