21 වැනි සියවසේ තාක්ෂණික විප්ලවය ලෝකය සිසාර ඉතා වේගයෙන් ගමන් ගන්නා කාලවකවානුවක එකී වේගයෙන්ම ජනප්රිය වන සමාජ මාධ්ය වතගොත නොදන්නා කෙනකු නැති තරම්ය. එපමණට බොහෝ දෙනා සමාජ මාධ්ය භාවිත කරන්නන් බවට පත්ව ඇත. මෙතෙක් ජනප්රියව පැවති ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත ඉක්මවා යමින් එකී ජනප්රියභාවය සමාජ මාධ්ය තුළට හැරී ඇති ආකාරය ඕනෑම පුද්ගලයකුට පැහැදිලි වන්නකි. අද වන විට දුරකතනයක් අත නොරැඳි පුද්ගලයකු සොයා ගැනීම නොමළ ගෙදරකින් අබ මිටක් සොයාගන්නවාටත් වඩා අපහසු දෙයක් ලෙස පැවසීම වැරැදි නැත. විශේෂයෙන්ම ස්මාට් දුරකතනය අත රැඳි ඕනෑම පුද්ගලයකු මෙකී කුමන හෝ සමාජ මාධ්යයක සැරිසරන වග රැයක්, දහවලක් නොතකා ඉහළ පහළ ඇදෙන ඔවුන්ගේ ඇඟිලි තුඩු සාක්ෂි දරනවා නිසැකය. එකී සමාජ මාධ්ය තුළ සැරිසරන ඔබ සැබවින්ම කරන්නේ කුමක් ද? සැබවින්ම සමාජ මාධ්ය කියන්නේ මාරයෙක් ද? නැත්තම් දියුණුවට උල්පතක් ද?
සමාජයේ ඕනෑම දෙයක හොඳ නරක පැතිකඩ දෙකක් පවතී. මිනිසුන් වන අප තුළත් එසේය. සර්ව සම්පූර්ණ මිනිසුන් නැත. එනම් හොඳ, නරක පැතිකඩ දෙකම මිනිස්සු සතුය යන්නයි. සමාජ මාධ්යය ද එසේය. සමාජ මාධ්ය හොඳට භාවිත කළ හොත් බොහෝ පලදායි දෑ අපට අත්කරගැනීමට හැකි, සමාජයට බොහෝ යහපත් දෑ මුදාහැරිය හැකි දැනුම් සම්භාරයකි. නමුත් අනිසි ලෙස භාවිත කළොත් එය තමන්ට සේම මුළු මහත් සමාජයටම පිළිලයක් විය හැකි අයහපතෙහි ආයුධයක් වන්නත් පුළුවන.
සමාජ මාධ්ය හොඳයි ද නරකයි ද යන්න තීරණය වෙන්නේ අපි එය භාවිත කරන ආකාරය අනුවය. කෙනෙක් අධ්යාපනයේ නව මං විවර කරගන්න සමාජ මාධ්ය භාවිත කරද්දී තවත් කෙනෙක්ගේ අධ්යාපනය විනාශ වීමට සමාජ මාධ්ය හේතු විය හැකිය. කෙනෙක් නව රැකියා අවස්ථා සමාජ මාධ්ය හරහා විවර කරද්දී තවකෙක් තිබෙන ඉපයීම් මාර්ගයත් නැති කරගනී. තව කෙනෙක් ස්වකීය දස්කම් පාන්න සමාජ මාධ්ය භාවිත කරද්දී තව කෙනෙක් අතිශය පෞද්ගලික දේ සමාජ මාධ්යයට මුදාහැර තමන්ගේ ජීවිතයම විනාශ කර ගනී. කෙනෙක් යහපත්, හරවත් දේ සමාජගත කරන්න සාමාජ මාධ්ය භාවිතා කරද්දී තව කෙනෙක් වෛරය, ක්රෝධය වපුරවන්න එය භාවිත කරයි. ඔබ සමාජ මාධ්ය භාවිත කරන්නේ කුමන අරමුණින් ද? තත්පරයක් ගෙන මේ මොහොතේම සිතා බලන්න.
වත්මනේ බොහෝවිට සමාජ මාධ්ය භාවිතය පිළිබඳව අසන්නට, දකින්නට ලැබෙන දෑ එතරම් සුබවාදී නැති බවක් පෙනෙන කරුණකි. සමාජය තුළින් එවැනි සුබවාදී නොවන අදහසක් මතුවන්නට හේතුව කුමක් ද? බෝහෝවිට අපි, තමන් පිළිබඳ සිතනවාට වඩා අනුන් ගැන සෙවීමට වැඩි ඇල්මක් දක්වන්නෙමු. අනික් අය අඳින පලඳින කන බොන ඉන්න හිටින විදිහ ගැන හරියටම කිවුවොත් අතිශය පෞද්ගලික දේවල් හරහා අවුස්සන්නට ඒ පිළිබද ප්රතිවිරුද්ධ මත එකතු කිරීමට සමාජයේ බහුතර පිරිස වැඩි ඇල්මක් දක්වනවා. අපිට අපි ගැන හොයන්න, අපේ සමීපතමයන් සමඟ එක්ක ආදරය, සෙනෙහස වර්ධනය කරගනිමින් සබඳතා පුළුල් කරගන්න, දරුවන් සමඟ කාලය ගෙවන්න, මාපියන් සමඟ කාලය ගෙවන්න, තමන්ගේ ජීවිතය සැලසුම් කරන්නට, අනාගත ඉලක්ක වෙනුවෙන් සිතා බලන්න බොහෝ දෙනකුට කාලයක් නොමැත. ඒ සඳහා ඔවුන් ලබා දෙන සරල පිළිතුර නම් කාර්යබහුලයි යන්නයි. අපි සියලු දෙනා කාර්ය බහුල වී ඇත්තේ සැබැවින්ම අවශ්යම දේ වෙනුවෙන්ම ද? මඳක් සිතා බලන්න.
සමාජ මාධ්ය තුළ සැරිසරා අපිට කිසිසේත්ම අදාළත්වයක් නොමැති කුමකට හෝ නැතිනම් පුද්ගලයකුගේ අතිශය පෞද්ගලික දෙයකට තමන්ගේ යම්කිසි මුදලක් ද වැය කර යළි නොඑන වටිනාම කාලය ද කැප කර වැදගත්ම දේ එකී පුද්ගලයාගේ මෙන්ම තමන්ගේ මානසික සාමය සතුට ද නැති කර ගැනීමට අපිට ඕනෑ තරම් කාලය තිබීම නම් සැබවින්ම පුදුම සහගතය. තමන්ගේ බැඳීම් රැක ගැනීමට ඇති කාලය තුළ තවකකුගේ ජීවිතයේ බැඳීම් බිඳින්නට සමාජ මාධ්ය භාවිත කරනවා නම් එය කොතරම් පල රහිත තමන්ට මෙන්ම අනුනටත් අයහපත පිණිස හේතු වන්නේ ද?
විශේෂයෙන්ම සමාජ මාධ්ය තුළ උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්රිය වනතුරුම ඇලී ගැලී සිටින ඇතැම් මව්පියන්ට ස්වකීය වගකීම්, යුතුකම් මතක නැත. ඉතිං පවුලක ඉදිරි පැවැත්ම සමාකාමි ලෙස ගලායන්නේ කෙසේ ද? ස්වාමිපුරුෂයා - භාර්යාව අතර, එසේම මව පියා දූ දරුවන් අතර සමඟියක් සමාදානයක් කෙසේ නම් තිබෙන්න ද? ගෘහස්ථ ගැටුම්, දික්කසාද, දරුවන් හැර යාම, සහෝදර සහෝදරියන් අතර ගැටුම් අසන්නට දකින්නට ලැබීම පුදුම සහගත නැත. තනි තනිව තම තමන්ගේ ලෝක තුළ බිත්ති හතරක් තුළ දුරකතනය සමඟ තනිවන බොහෝ දෙනෙක්ට සංවේදීම පවුල් සම්බන්ධතා අමතකව යාම ඛේදවාචකයකි. අතීතයේ කෑම මේසය තුළ පවුලේ සියලුම දෙනා එක්ව හිඳ කතාබහ කරමින් ප්රශ්න ගැටලු ඇත්නම් සාකච්ඡාවට ලක් කළ අතීතයක් අපට ඇත. නමුත් වර්තමානයේ කිසිදු දිනක නොහඳුනන එක් දිනකින් හඳුනාගන්නා ඇතැම් පුද්ගලයින් සමඟ ස්වකීය පුද්ගලික ජීවිතය බෙදා ගැනීමට යාමෙන් ඛේදනීය ඉරණම් කෙරෙහි ගොදුරු වූ කොතෙක් දෙනෙක් අපට හමුවිය හැකි ද? මාපියන්ට දරුවන් කෙරෙහි ස්වකීය අවධානය දෙන්නට නොහැකි වූ තැන දරුවන්ට ස්වකීය මාපියන් සමඟ සමීප වන්නට නොහැකි තැන සහෝදර සහෝදරියන්ට සහෝදර බැඳීම් පිළිබඳ තැකීමක් නොමැති තැනදී සමාජ මාධ්ය තුළින් ඛේදනීය ඉරණම් අනාගතයේදී ද අසන්නට දකින්නට ලැබීම කෙසේ නම් වළක්වන්න ද?
පුංචි කාලේ අපේ හිත් හොරාගත්තු අඹ යහළුවෝ විශිෂ්ට නිර්මාණය කාට නම් අමතක වෙන්න ද? එහි එන නිමල්ගේ සුනිල්ගේ යහළුකම් අද කොහෙද? වර්තමානයේ එවන් යහළුකම් පොත්වල පිටු අතරම සැඟ වී ගොස් ඇද්දැයි විටෙක සිතේ. එපමණටම වර්තමානයේ සමාජ මාධ්ය තුළ පෝස්ට් එකක් ශයා කිරීම, කමේන්ට් එකක්, ලයික් එකක් දැමීමට පමණක් යහළුකම් සීමා වී ඇත යන්න පෙනෙන යථාර්ථයයි. නිමල්ලා, සුනිල්ලා සිටිය හැකි නමුත් සීමාසහිතය යන්න සැබෑවකි. පෙනෙන යහළුවන්ට වඩා නොපෙනෙන නොහඳුනන යහළුවන්ගේ ඇසුරට අද බොහෝදෙනා යොමු වී ඇත. එය කෙතෙක්දුරට ඔබට හිතකර ද යන්න ඔබම සිතා බලන්න.
සමාජයේ ජීවත් වන සියලුම මිනිසුන්ගේ මානසික මට්ටම් එක හා සමාන නොවේ. ඇතැම් විට ඔබ විනෝදය පිණිස නැතිනම් වෛරී ලෙස පළ කරනු ලබන යමක් ඒ සඳහා ලක් වන පුද්ගලයාට දරා ගැනීමට කොතරම් දුරට හැකි වේ ද? සමහර විට ඔවුන්ගේ ජීවිතයන්ට පවා එය අනිටු ලෙස බලපෑම් කරනවා විය හැකිය. එම නිසාවෙන් කිසියම් වූ දෙයකට ප්රතිචාර දැක්වීමේදී හෝ යමක් සමාජ මාධ්යයට මුදාහැරීමේදී හෝ සමාජ මාධ්ය තුළින් ගොඩනඟා ගන්නා බැඳීම් පිළිබඳව සිය දහස්වර සිතා බලන්න. ඔබගේම සමීපතමයකු ලෙස සියලු මිනිසුන් කෙරෙහි කාරුණික විය හැකි නම් සමාජ මාධ්ය හේතුවෙන් අසන්නට, දකින්නට ලැබෙන ඛේදවාචකයක් අනාගතයේදී අසන්නට නොලැබෙනු ඇත. එසේම සමාජ මාධ්ය තුළ අතිශය පෞද්ගලික දේවල් පවා එක් කරන පිරිස සිතිය යුත්තේ එය තමාට කොතරම් ඵලදායි වනවා ද සහ සමාජයට එය කෙසේ බලපෑම් සහගත වනවා ද යන්නයි.
තමන්ටත් අනුන්ටත් අවැඩක් නොවන ඵලදායි යමක් සඳහා සමාජ මාධ්ය භාවිතා කිරීමට හුරුවීමට වගබලා ගත යුතුය. සමාජ මාධ්ය ඵලදායි ලෙස භාවිතා කළ හොත් එය වටිනා සම්පතකි. නැත හොත් එය අපිව ගිලගන්නා මාරයෙක්ය. එමනිසා සමාජ මාධ්ය තුළ සැරිසරන අපි නුවණැසින් යුතුව එහි සැරිසරන්න වගබලා ගනිමු.
නදීෂා හේරත්
No comments:
Post a Comment