ගීත මියුලැසියක් ලෙස ප්රචලිත වූ ප්රවීණ ගායන ශිල්පී විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය මෙලොවින් සමු ගෙන අදට (29) වසර 21ක් සපිරේ. මේ සැමරුම් ලිපිය ඒ නිමිත්තෙනි.)
ගීතලෝලීන්ගේ ගෞරවනීය ආදරයට පාත්ර වූ විශාරද මාලනී බුලත්සිංහල ජීවත්ව සිටියදී ගායන ක්ෂේත්රය තුළ හිමි කර ගනු ලැබුවේ ඉහළම ස්ථානයකි. එලෙසින්ම දිවි ගමනට සමු දී දශක දෙකක් ඉක්ම ගිය අද දවසේ ද ඇය විසින් එසේ හිමි කරගෙන තිබූ ස්ථානයේ වෙනසක් සිදු වී නැතැයි සඳහන් කළ හොත්, ඊට බහුතර පිරිසක් එකඟ වනු ඇත. එපමණක් නොව ගායන ක්ෂේත්රය සුපුෂ්පිත කරමින් අගනා කාලකාරිනියක වූ ඇයගේ සුවඳ වියැකී ගියමුත් ඇයගේ මධුර වූ හඬ නම් තවමත් මේ පොළෝ තලයෙන් ඈත් වී නැත.
මාලනී බුලත්සිංහල ගායන දිවියට ප්රවේශ වී තිබෙන්නේ ශ්රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වීමෙනි. එවක ගුවන් විදුලියේ පැවති ළමා පිටිය වැඩසටහන ඇයගේ ගායන කුසලතා වර්ධනය කර ගැනීමට බොහෝ සේ ඉවහල් විය. එම වකවානුවේ ඇයට ප්රවීණ ගීත නිබන්ධකයකු මෙන්ම සන්නිවේදනඥයකු වූ කරුණාරත්නන අබේසේකර සූරීන්ගෙන් ලැබුණු මඟපෙන්වීමත් ඉතාම වැදගත්.
ගුවන් විදුලියෙන් මාලනි බුලත්සිංහලයන්ගේ ගීතයක් ශ්රාවකයන් අතරට ගියේ "යාල යාල යාල යමු සතුන් බලන්න" ගීතයෙනි. එම ගීතය ඇය විසින් ගායනා කර ඇත්තේ ග්රේනම් ලෙනාඩෝ සමඟිනි. ඉන් අනතුරුව එවක ගුවන් විදුලියේ විකාශය වූ ප්රබෝධ ගී වැඩසටහනටත් ඇය ගීත ගායනයෙන් දායකත්වය සපයා තිබේ. ගුවන් විදුලියේ විකාශය වූ උදාන ගී වැඩසටහනට ඇය විසින් ගායනා කළ “සඳමඬලේ සිට තරු මඬලේ සිට දිවැස් හෙළන පුතුනේ” ගීතය එදා මෙන් අදත් ජනප්රියය. ප්රවීණ ගේය පද රචක සමන් චන්ද්රනාත් වීරසිංහයන් තමයි ඒ ගීතයේ සංකල්පනාව ඇයට නිර්මාණය කර දෙන්නේ. අනතුරුව ගීතයට සංගීතය සපයා ඇත්තේ සංගීතවේදී ෂෙල්ටන් ප්රේමරත්නය. මාලනී බුලත්සිංහල ගුවන් විදුලියේ “ඒ” ශ්රේණියේ ගායිකාවකි. ඇය ගායනා කළ බෞද්ධ සංකල්පනාවලින් යුතු ගීතත් ඉතාම ජනප්රියයි. ඒ අතරින් “තුන් රුවණේ සරණයි ... හැදූ වැඩූ දෙමාපියන් සරණයි”, “පිපෙනා මලකට… ගලනා දොළකට” මෙන්ම “හිමි සනරාමර ලෝක සිවංකර ලොවුතුරු බුදු සමිඳේ” යනාදී ගීත අදත් මෙරට ගීතලෝලීන්ගේ බැති සිත් උපදවන ගීත බවට පත් වී අවසානය.
මෙරට ගීතයකට ප්රථමයෙන්ම රූප රචනයක් නිර්මාණය වූයේත් ඇගේ ගීතයකටයි. “මේ රට මගේ රට … මා ඉපදුණ රට … හැදෙන වැඩෙන රට … මගේම මව් රට” එම ගීතයයි. මේ ගීතයේ පද සංකල්පනාව ඇයට නිර්මාණය කර දී තිබුණේ එවක ප්රවීණ නර්තන ශිල්පිනියක ලෙස ප්රචලිතව සිටි මිරැන්ඩා හේමලාතාය. සංගීතවේදී ඔස්ටින් මුණසිංහ ඒ ගීතයට සංගීතය නිර්මාණය කර දී ඇත.
ගී පද රචකයකු වූ බන්දුල ගුණවර්ධන මහතාගේ පබැඳුමකට සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන් සංගීතවත් කළ “වසන් කරන්නට බෑ මගේ හිත අද පෙම් මල් පූදිනවා” මාලනී බුලත්සිංහල ගැයූ අපූර්වත්වයෙන් යුතු ගීතයක්. එම ගීතය සැබවින්ම ප්රේමණීයයි. ඒ වගේම මාලනී බුලත්සිංහල තම ගායන දිවියේ හොඳම යුග ගායනාව ඉදිරිපත් කර තිබුණේ ප්රවීණ ගායන ශිල්පියකු මෙන්ම සංගීතවේදියකු වූ විශාරද ගුණදාස කපුගේ මහතා සමඟය. ඔහුත් සමඟ ඇය විසින් ගායනා කළ ජනප්රියම ගීතයක් වූයේ “දම්පාටින් ළා සඳ බැස යනවා” ගීතයයි.
මේ ප්රතිභාපූර්ණ ගායන ශිල්පිනිය ජනප්රියත්වයෙන් ඉහළට පැමිණියේ වෙනත් ගායන ශිල්පිනියන්ගේ ගීත ගායනා කිරීමෙන් නොවෙයි. ඇය අනුන් අනුකරණය කළ ගායන ශිල්පිනියක් ද නොවෙයි. එදාත් අද මෙන් හෙටත් මාලනී බුලත්සිංහල යනු එක ලෙස දිලෙන තරුවකි.
No comments:
Post a Comment