විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට අවශ්‍ය විදේශ විනිමය නිකුත් නොකිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා මාර්. 1 පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හා මහා භාණ්ඩාගාරයෙන් කල ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ය.
ඔහු පෙන්වා දෙන්නේ , ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ඉන්ධන ආනයනය සදහා අවශ්‍ය විදේශ විනිමය ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණ ද එම උපදෙලට අනුව අදාළ පාර්ශව ක්‍රියා කර ඇති බවක් නොපෙනෙන බව ය.
ඒ හේතුවෙන් ඉන්ධන මගින් ක්‍රියාත්මක කෙරෙන විදුලි බලාගාර අක්‍රිය වී ඇතැයි ජනක රත්නායක මහතා පැවසීය.
"ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම වන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමයි. ඒ වගේ ම ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු බලපත්‍රලාභින්ගේ මූල්‍ය තත්වය යහපත් තත්වයෙන් පවත්වා ගැනීම තහවුරු කිරීමත් අපේ වගකීමක්. විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් රජයට උපදෙස් දීමේ වගකීමක් අපට පැවරී තිබෙනවා.
ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි සැපයුමට ඇතිවන බාධා වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් උපදෙස් මාලාවක් අපි රජයට ඉදිරිපත් කර තිබුණා. එහෙත් මේ වන තුරු රජය හෝ අමාත්‍ය මණ්ඩලය විසින් එම යෝජනා සැළකිල්ලට ගත් බවක් පේන්නට නැහැ.
ඉන්ධන අර්බුදය හේතුවෙන් පැන නැගුණු විදුලි අර්බුදය වැරදි මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රථිපලයක් බව ද කිව යුතුයි. වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය කියල අදහස් කළේ අප සතු වූ විදේශ විනිමය ඥාණාන්විතව භාවිත නොකිරීම. එහිදී මූලිකත්වය ලබා දෙන්න තිබුණේ ඉන්ධන ඇතුළු අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සදහායි. නමුත් සිදුවුණේ ණය ගෙවීමට පැවති විදේශ විනිමය භාවිත කිරීම හා ඒ නිසා අද වන විට අත්‍යවශ්‍ය ඉන්ධන ආනයනයට මුදල් අහිමි වීම.
දිනකට පැය 7ක් 8ක විදුලි කප්පාදුවක් නිසා සුළු, මධ්‍යම හා විශාල පරිමාණ කර්මාන්ත සියල්ල අක්‍රිය වෙනවා. සමස්ත ආර්ථිකය ම අගාදයකට ඇද වැටෙන බව කිව යුතුයි."
මේ අතර, විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට විදුලි බලාගාර 8ක් නවතා දැමීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව, ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර වන සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යනයන බලාගාර දෙක පමණක් මේ වන විට ක්‍රියාත්මක වේ.
තාරක සම්මාන්
No comments:
Post a Comment