Thursday, 24 March 2022


සංචාරකයින්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්රී ලංකාව පත් කළ හැකියි. ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

වසරේ පළමු කාර්තුවේ දී සංචාරකයන් 260,000කට අධික පිරිසක් පැමිණ සිටිති. එය පසුගිය වසරේ සමස්ත සංචාරකයන්ගේ පැමිණීමට වඩා ඉහළ අගයකි. වසර අවසානය වන විට සංචාරකයන් මිලියන 1.3ක ඉලක්කය සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි. සංචාරක ක්ෂේත්රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
කොළඹ 03, ගාලු පාරේ, අංක 80 ස්ථානයේ පිහිටි ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (24දා) පෙරවරුවේ නිරීක්ෂණය කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
සංචාරකයන් ගෙන්වා ගැනීම, නවාතැන් හා නිවාඩු නිකේතන සැලසුම් කිරීම, සංචාරක හෝටල් සහ සංචාරක ආයතන ඇතුළු සංචාරක සේවාවන් ලියාපදිංචිය හා වර්ගීකරණය, බලපත්ර නිකුත් කිරීම ඇතුළු සංචාරක කර්මාන්තයට අදාළ සියලු ක්ෂේත්ර අධීක්ෂණය සඳහා සංචාරක සංවර්ධන අධිකාරියට බලතල පැවරී ඇත.
සංචාරක කර්මාන්තය බිඳ දැමීමට විවිධ ආකාරයේ සැලසුම්සහගත ප්රචාරණයන් ගෙන යමින් තිබේ. එවැනි පසුබිමක වුවද සංචාරකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පවතී. පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය. මෙරටට පය තැබීමේ සිට නැවත පිටත්වීම දක්වා ඉහළ ආගන්තුක සත්කාරයක් සමග සිත්ගන්නා සුළු සේවාවක් සැපයීමට කටයුතු සැලැස්වීම සංචාරක සංවර්ධන අධිකාරිය සතු වගකීමක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ගුවන් සමාගම් සමග සාකච්ඡා කර මෙරටට පැමිණෙන ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
යාල, කුමන, මින්නේරිය ඇතුළු වනෝද්යාන හා වෙරළ කලාපය සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග, ජනාධිපති ප්රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...