Wednesday, 16 March 2022


ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට ශ්රී ලංකාව සීමිත භූමි ප්රමාණයක් සහිත කුඩා දූපතකි. එහෙත් එම සීමිත භූමි ප්රමාණය තුළ දක්නට ලැබෙන භූගෝලීය හා පාරිසරික විවිධත්වය අසීමිතය. මධ්යම පළාතේ මහනුවර දිස්ත්රික්කයේ මිනිපේ, උඩුදුම්බර, පාතදුම්බර, පන්විල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්ත්රික්කයේ උකුවෙල, රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගමුව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්යාප්තව ඇති කඳුවැටිය ලෙස, දුම්බර කඳුවැටිය හැඳින්විය හැකිය.

දුම්බර කඳුවැටියේ පැහැදිලිව හඳුනාගත හැකි කඳු මුදුන් 35 ක් පමණ ඇති අතර එය කඳුවැටි 17 කින් පමණ සමන්විත වේ. මේ ප්රදේශය සංචාරයේදී තේ වතු යායන් මෙන්ම වනාන්තරත් අවට දැකගත හැකි අතර කඳුවලින් ගලා හැලෙන මනස්කාන්ත දිය ඇලි දර්ශන ද සුලබය. මේ ප්රදේශයේ ප්රධාන ජල ප්රවාහය වන්නේ, මහවැලි ගඟේ ශාඛාවක් වන හුලු ගඟය.
මහනුවර සිට හෝ මාතලේ සිට ගමන් ආරම්භ කරන විට වත්තේගමට පැමිණ වත්තේගම සිට තේ වතු අතරින් වූ මාර්ගයේ විත් පන්විල දෙසට කිලෝමීටර එකහමාරක් පමණ ගමන් කරන විට මාර්ගයේ වම් පසින් රවන් ඔය හරහා ඉදිවූ පාලම අසලින්, ගල් පර්වත අතරින් ගලා හැලෙන සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන රහස් ඇල්ල දැක ගැනීමට හැකිය. මෙය රාස්ස ඇල්ල නමින් ද හඳුන්වන අතර මෙම දිය ඇල්ලේ උස මීටර් 15 ක් පමණ වේ. මේ සුන්දර කුඩා දියඇල්ල හුන්නස්ගිරිය කඳුවැටියෙන් නිර්මාණය වී රවන් ඔයෙන් මහවැලි ගඟට ගලා බසියි. පාතදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේවාලේගම්මැද්ද යන ගම්මානයට මෙම රහස් ඇල්ල දියඇල්ල අයත් වේ.
රහස් ඇල්ල පළමු ඇල්ල හා දෙවන ඇල්ල වශයෙන් කොටස් දෙකකින් යුක්තව ඇද හැලෙන අතර එහි මනස්කාන්ත දර්ශනය මහා මාර්ගයේ සිටම දැක ගත හැකිය. ඒ අනූව පළමු ඇල්ල මහා මාර්ගයෙන් ඉහළ පිහිටා තිබෙන අතර දෙවන කොටස මහා මාර්ගයෙන් පහළට වන්නට පිහිටා ඇත. කෙසේ වුවද මෙහි දෙවන කොටසේ දියඇල්ලේ සුන්දරත්වය ද මාර්ගයේ සිට නැරඹීම උචිත වේ. පහළට බැසීම අවදානම් සහගත වේ. එසේම මෙය අලංකාර දිය ඇල්ලක් වුව ද, දිය ඇල්ල පාමුල ඉතාමත් ගැඹුරු තටාකයක් නිර්මාණය වී තිබේ. සංචාරකයන් මෙම දියඇල්ලේ නෑම නොකළ යුතු බව ප්රදේශවාසීහු කියති. ඊට හේතුව මනරම් රහස් ඇල්ලේ අඳුරු මතකයන් ද සැඟවී ඇති බැවිනි. මෙම දියඇල්ලෙහි පුද්ගලයින් දිය නෑමට ගොස් දියේ ගිලි මිය ගොස් ඇති නිසාය. සාමාන්යයෙන් වසරකට පුද්ගලයින් තිදෙනෙකු හෝ දියේ ගිලි මරණයට පත් වන බව ප්රදේශවාසීහු පවසති. ඒ නිසා එහි සුන්දරත්වය පමණක් නැරඹීම සුදුසු වේ. ඊසාන දිග මෝසම් වර්ෂාව සමයන්හි දිය ඇල්ලේ ජල මට්ටම ඉතා ශීඝ්රයෙන් ඉහළ යන අතර එය දරුණු සැඩ පහරක් බවට ද පත් වේ.
රහස් ඇල්ල පිළිබඳව සඳහන් කරන විට එහි ඓතිහාසික පසුබිම් කතාවක් ද ජනප්රවාදයේ පවති.
ඒ අනූව මෙම දිය ඇල්ලේ සිට මැදමහනුවර ග්රාමය දක්වා රහස් උමඟක් ඇති බව ජනප්රවාදයේ පවතී. එසේම ඉතිහාසගත කතාවේ මෙසේ ද සඳහන් වේ. ශ්රී ලංකාවේ අවසන් රජු වන ශ්රී වික්රම රාජසිංහ රජු සතුරු ආක්රමණවලින් සැඟවී පලා යන අවස්ථාවේ සැඟවී සිටීමට මෙම දියඇල්ල ඇති ස්ථානයට පැමිණ තිබේ. වර්ෂාව නිසා දියඇල්ලේ දිය පහර ද ඔරොත්තු නොදෙන අන්දමට සැඩව තිබී ඇත. ඒ නිසා ශ්රී වික්රම රාජසිංහ රජුට උමඟට ඇතුළු විය නොහැකි වී තිබේ. එම නිසා ඔහුට මැදමහනුවර කරා යෑමට සිදුවී ඇත්තේ ගොඩබිම් මාර්ගය ඔස්සේය.
ඒ නිසා රජුට පලා යෑමට පමා වී ඇති අතර මේ හේතුව නිසා රජතුමා සතුරන්ගේ අත්අඩංගුවට පත් වී ඇත. මෙම දියඇල්ල රහස් උමඟ සඟවාගෙන ඇති නිසා මෙම දිය ඇල්ලට රහස් ඇල්ල යන නම ලැබී ඇති බව ජනප්රවාදයේ සඳහන් මතයයි. කෙසේ වුවද මෙසේ සඳහන් වන උමඟේ පිහිටීම අදටත් රහසක් බව ගැමියන්ගේ මතය වී ඇත.
දිය ඇල්ල අවට ස්වාභාවික පරිසරයේ ඇති පාරිසරික වටිනාකම සුවිශේෂි වේ. ඒ අනූව දුර්ලභ ගණයේ සත්ත්වයින් මෙන්ම දුර්ලභ ගණයේ ශාක වර්ග ද මෙම පරිසර පද්ධතිය තුළ ඇති බව පරිසරවේදින් සිය පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇත. රහස් ඇල්ල අසලම ටිකක් දුරට වන්නට හුලු ගඟ ඇල්ල, තලිය වැටුණු ඇල්ල, ලෙබනන් වත්ත ඇල්ල, ජෝඩු ඇල්ල හා සාරි ඇල්ල යන දිය ඇලිවල සුන්දරත්වයද මෙම ප්රදේශයේ සංචාරයේදී නැරඹීමට හැකිය. තවද මෙම දියඇලිවලට අමතරව තවත් කුඩා ප්රමාණයේ දියඇලි ද මෙම ප්රදේශයේ සංචාරයේදී දැක ගැනීමට
හැකියාව ඇත. දුම්බර කඳුකරයේ ස්වාභාවික සුන්දරත්වය විඳගන්නට පැමිණෙන විට සංචාරකයන් පිළිපැදිය යුතු කාරණා ද සඳහන් වේ. ඒ අනූව කසළ බැහැර කිරීම, පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය මෙහි තහනම් වේ. මෙම ස්ථානවල සුන්දරත්වය මතු පරපුරටත් උරුම විය යුතුය. එබැවින් මෙහි සංචාරයේදී සුන්දර පරිසරයට හානි නොකර සොඳුරු මතක සටහන් පමණක් ආපසු රැගෙන ඒමට කටයුතු කිරීම වැදගත් වේ.

ඡායාරූප එම්. තාරික්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...