Sunday, 13 March 2022


මේ දිනවල රටේ ලොකුම අවුල ඩොලර්ය. ජනතාවට විඳින්න වෙන දුක් ගැහැටවලින් 99.9%කටම හේතුව මේ ඩොලර් අවුල බව අමුතුවෙන් කිවයුතු නැත. පාරක් ගානේ පෝලිමේ ඉන්නත්, කන බොන දේ සීමා කරන්නත්, අධික මිල ගණනටත් හේතුවත් ඩොලර් හිඟය මිස අන් කිසිවක් නොවේ.

කෙසේ වෙතත් මෙම ඩොලර් හිඟය නැති කරලීම සඳහා අපනයනය වැඩි කිරීමට, ණය ගැනීමට, ඩොලරයට වැඩි වටිනාකමක් දීමට රජය නොයෙකුත් උත්සහ ගත්තත් ඒවා තුළින් ඉක්මන් විසඳුමක් ලැබෙන පාටක් පේන්න නැත. එයට හේතු වී ඇත්තේ ඩොලර් ලැබෙන ප්රධාන මාර්ග අවහිර වෙමින් කළු කඩ අති ප්රබල වීම නිසාය. ආණ්ඩුව පසුගිය කාලයේ ඩොලරයට විවිධ වටිනාකම් ලබාදුන්නත් ඒ සියල්ල යටවුණේ මෙකී කළුකඩ නිසාය. මේ නිසාම මහබැංකුව විසින් කළු කඩවලට එරෙහිව නීතිය දැඩිව ක්රියාත්මක කරන බවට නිවේදන මගින් කියන තැනට පත්විය. එහෙත් පුදුම විහිළුව නම් තවමත් එවැනි කිසිදු කළු කඩයකට එරෙහිව නීතිය ක්රියාත්මක කර නැති වීමය. එයට හේතුව සැබවින්ම කළු කඩ ප්රබල නිසාය.
මේ නිසාම ආණ්ඩුවත් කතා වෙන, මහ බැංකුවත් කතාවෙන කළු කඩ, උණ්ඩියල්, හවාලා ක්රමය ගැන අපි විශේෂ සොයා බැලීමක් සිදුකළෙමු. ඒ හැමෝම කතාවෙන කළු කඩ යැයි කියන පිටකොටුවේ චැතැම් වීදියේ ඇති මුදල් හුවමාරු මධ්යස්ථාන කිහිපයක හිමිකරුවන් සමඟය. ඔවුන්ගේ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සකසන බව කිවයුතුය.
රටේ ඇතිව තිබෙන ඩොලර් අර්බුදයට දියහැකි හොඳම විසඳුම මොකක්ද? යන්න අපි ඔවුන්ගෙන් විමසා සිටියෙමු.
''ඇත්තටම මේ ප්රශ්නයෙන් ගොඩ එන්න පුළුවන් හොඳම ක්රමය තමයි රුපියල පා කරන එක. එහෙම නැතිනම් ඩොලරයේ අගය අත්හැරීම. ආණ්ඩුව ඒක කළ යුතුමයි. ඒකෙන් අපිට පාඩුවෙනවා තමයි. ඒත් මේ පවතින අර්බුදයෙන් මිදෙන්න ඒ හැර වෙන විසඳුමක් නෑ. දැන් මහ බැංකුවෙන් ඩොලර් එක 230 කිව්වා. මම කියන්නේ එහෙමවත් කරන්න එපා කියලා. අත්ඇරලම දාන්න'' යැයි එක් ව්යාපාරිකයෙක් කීවේය.
ඩොලරය අත් ඇරීමත්, ඒ හරහා මේ අර්බුදය නිමාවීමත් පමණක් නොව වර්තමානයේ කළු කඩ ප්රබල වීමත් සම්බන්ධයෙන් අපි ප්රශ්න කළෙමු.
''ඇත්තටම ආණ්ඩුවෙන් මිල නියම කරපුවම අපි ඊට වඩා වැඩි මිලට ඩොලර් මිලදී ගන්නවා. අපිටත් වඩා අපිව හොයන් එන්නේ පාරිභෝගිකයා. ඇයි? ඒ අය දන්නවා අපි බැංකුවට වඩා වැඩියෙන් ගෙවනවා කියලා. ඒ නිසා අපිට ඩොලර් එනවා. ඒ වගේම දැන් තියෙන තත්ත්වය එක්ක බැංකුවකින් ඩොලර් 1000ක් ගන්නවා කියන්නේ මාරම අමාරුයි. රට යන්න විතරක් නෙමෙයි මොන දේට වුණත් දැන් බැංකුවකින් උපරිම දෙන්නේ ඩොලර් 600-800යි. කෝටි ගණන් බිස්නස් කරන ට්රුවල් කරන කෙනෙක්ට ඒ ගාන මදි. ඉතිං ඒ අය ඩොලර් ගන්න එන්නේ අපෙන්.
ඒ කියන්නේ ඔයාලා ඩොලර් දෙනවද එවලෙම?
මෙහෙම හිතන්නකෝ ඔයාගේ දරුවෙක්ට ලක්ෂ 20 යවන්න ඕන කියලා ඉගෙන ගන්න වැඩකට. දැන් බැංකුවෙන් යවන්න පුළුවන්ද? බෑනේ. ඒත් අපිට පුළුවන්.
ඒ කියන්නේ උණ්ඩියල්?
ඔව්. උණ්ඩියල්, හවාලා මේ ඔක්කොම කරන්නේ එකම දේ. උණ්ඩියල් කියන්නේ ඉන්දියාවේ, හවාලා කියන්නේ පකිස්ථානයේ. යවන්න ඕන ගාණ අපිට කිව්වම ඒ අදාළ අයට අපි අපේ අය හරහා සල්ලි දානවා. මේක මහා වරදක් නෙමෙයි. පවතින තත්ත්වය එක්ක වුණ දෙයක්. ඒක නැති කරන්න කරන්න නම් ඩොලර් එක අත්අරින්න ඕන. එතකොට ඩොලර් එක යනවා 260ට. බැංකුවල පවා. අන්න එහෙම වුණාම කළු කඩෙයි බැංකුවයි සමාන වෙනවා. ඊටපස්සේ හැමෝම බැංකුව හරහා ලේසියට විශ්වාසයෙන් එවන්න ගන්නවා.
ඔවුන් කියන කතාව ඇත්තය. බැංකුවත් කළු කඩයත් අතර අහසට පොළව සේ ගණන් වෙනස් නිසා, මිලදී ගැනීම් වෙනස් නිසා බොහෝ විදේශ ශ්රමිකයන් යොදාගන්නේ මේ උණ්ඩියල් ක්රමයයි. අපි ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් අසා සිටියෙමු.
''දැන් ඔය රටවල ඉන්න අය, කොරියාව, සෞදි ඩුබායි වගේ ඉන්න අය කරන්නෙම උණ්ඩියල්. ඇයි? අපි ගන්නේ බැංකුවට වඩා වැඩියෙන්. එහෙම ගන්නකොට අපිට දෙනවා. ඒ අය එහෙදී අපේ කෙනාට දුන්නම අපි ඒ මුදල මෙහේ මුදලින් නිවසටම දෙනවා. ඒකෙන් වෙන්නේ ඩොලර් බැංකුව හරහා මාරුවෙන්නේ නෑ. බැංකුවට එන්නේ නෑ. ලංකාවට එන්නෙ නෑ. ඉතිං ඩොලර් හිඟයක් ඇතිවීම් සාමාන්යයි. ඒක නැති කරන්න නම් ආයේ මුලින් කිව්වා වගේ ඩොලරයේ වටිනාකම අත්අරින්න ඕන.
ඩොලරය අත් ඇරීම මෙම ඩොලර් අර්බුදයට විසඳුමක් නම් එකී අත් හැරීම මත භාණ්ඩ මිල ඉහළ යාම දරුණු වනු ඇත. එහෙත් පවතින අර්බුදයෙන් ගොඩ ඒමට එය විසඳුමක් නම් එය කොපමණ කාලයක් සිදුකළ යුතුද යන්න ප්රශ්නයක් වනු ඇත.
''ලෝකයේ ගොඩක් රටවල් ඩොලරයේ වටිනාකම අත්ඇරලා තියෙන්නේ. වියට්නාමය වගේ රටවල් පවා. ඒ නිසා මේක මේ මාසයකට අවුරුද්දකට නෙමෙයි සදාකාලිකවම ඩොලරයේ අගය අත්අරින්න ඕන. එහෙම කරපුවම මේ ප්රශ්නය විසඳෙනවා. පවතින තත්ත්වයෙන් ගොඩ එන්න යම් තරමකට හරි මාස 6ක් යනවමයි. ඒත් ඉතිං ඩොලරය තවම අත්ඇරලා නෑනේ. මහ බැංකුවෙන් තවම තීරණය කරනවා. ඒ නිසා මේ කතා අපි කියන්නෙ අපි ගැන හිතලා නෙමෙයි. රට ගැන හිතලා. අපි ගැන හිතුවා නම් අපට වාසියි මේ තියෙන විදිහ. මොකද මේ රටේ ලොකු ලොකු අය පවා සල්ලි යවන්නේ ගෙන්න ගන්නේ අපි හරහා නිසා. ඒත් මේ වෙලාවේ ගොඩ එන්න නම් අනිවාර්යයෙන් මේක වෙනස් කරන්නම වෙනවා. එහෙම නැතුව විසඳුමක් නෑ.''
මෙම සාකච්ඡාව සිදුකළ දිනට පසුදින මහ බංකුව විසින් ඩොලරයේ ගැණුම් විකුණුම් මිල පවතින තත්ත්වය යටතේ බැංකු සඳහා තීරණය කරන්න අවස්ථාව ලබාදුන්නේය. ඒ අනුව බැංකු ඩොලරය රුපියල් 250ට මිලදී ගෙන 260 විකුණන්නට විය. අප කතා කරන කළු කඩ 255ට ගෙන 257ට විකුණන තැනට පත්වී ඇත. ඩොලරය අත්හළ මොහොතේ සිට ලොකුම පාඩුව සිදුවී ඇත්තේ තමන්ට බව මෙකී කළු කඩ හිමියෝ කීහ.


ගයාන් ගාල්ලගේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...