Saturday, 30 April 2022

රජයේ සුරාබදු ආදායම ඇනහිටින ලකුණු සහ එය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට ද බලපායි ලු !


දේශිය මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් රට තුළදි නිෂ්පාදනය කර ගැනීමට දැඩි බාධාවක් මතුවීම තුළ ඉදිරියේදි මත්පැන්වලින් ලැබෙන සුරාබදු ආදායම රජයට නොලැබී යාමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

මේ තත්ත්වය මගහැර නොගතොත් සුරාබදු ආදායමෙන් රජය මාසිකව සිදු කරන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීම් ඇතුළු වියදම් කිහිපයක් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වන බව ද එම ආරංචි මාර්ගයන් පෙන්වා දෙයි.

සෙවණගල, පැල්වත්ත, හිඟුරාන, ගල්ඔය, හංවැල්ල යන ප්‍රධාන ස්කාගාර පහක් ආශ්‍රිතව දේශීය මත්පැන් නිෂ්පාදනය කරන අතර අදාළ මත්පැන් නිෂ්පාදන පෞද්ගලික සමාගම් මේ වන විටත් එතනෝල් නිෂ්පාදනය සඳහා වන බාධාවන් පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුව හා අදාළ බලධාරීන් දැනුවත් කරමින් මෙම අනතුරු ඇහවීම සිදු කොට ඇති බව ද වාර්තා වේ.

එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කෙරෙන අතර ඩොලර් හිහය මත එම් ගෙන්වීම්වලට බාධාවක් මතුව ඇති බව ද වාර්තා වේ.

එසේ ම, ස්කාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන හිඟවීම ද මෙම මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි ද සඳහන් වේ.

එසේ ම, මේ තත්වය පිළිබඳ සුරාබදු දෙපාර්තුමේන්තුව ද මුදල් අමාත්‍යාංශය දැනුවත් කොට ඇති බව ද වාර්තා වේ.

ඉකුත් වසරේ (2021) අපේක්ෂිත වාර්ෂික සුරාබදු ආදායම රුපියල් කෝටි 16,000ක් බව ත් කොරෝනා පැතිරයෑම හේතුවෙන් එයින් රුපියල් කෝටි 2,700ක සුරාබදු ආදායමක් අහිම් වූ බව ත් සුරාබදු කොමසාරිස්චරයා පසුගිය දා රාජ්‍ය ගිණුම් කාරක සභාවට දන්වා තිබිණි.

රජය මෙම එතනෝල් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදි මත්පැන් නිෂ්පාදනයට බාධාවක් ඇති වී දේශීය මත්පැන් නිෂ්පාදනය ඇනහිවිය හැකි අතර ඉන් රජයට විශාල බදු මුදලක් අහිම් වනු ඇති බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මෙය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට ද සෘජුව බලපානු ඇත.


චාමර අමරසූරිය

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...