Thursday, 21 October 2021

COVID-19 DELTA ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින (Delta +) නම් නව ප්‍රභේදය ලොව පුරා හිස ඔසවමින් පවතින බැවින් මෙරට ජනතාව ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.


එබැවින් වෛරසෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු චර්යාමය පුරුදු තවදුරටත් නිසි ලෙස අනුගමනය කිරීම අතිශය වැදගත් බව එම කාර්යාංශය සඳහන් කරයි.

 

පහුගිය කාල සීමාව තුළ එංගලන්තය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් අතරින් 8%ක පමණ දෙනාට Delta + අනුප්‍රභේදය ආසාදනය වී ඇති බව ඔවුන් උදාහරණ ලෙස පෙන්වා දී ඇත.

 

ඇතැම් විශේෂඥයින් එහි පැතිර යාමේ වේගය මින් පෙර පැවැති Delta  ප්‍රභේදයට වඩා වැඩි යැයි පැවසිමට මෙතෙක් ලැබී ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බව පවසා ඇතැයි ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර තිබේ.

 

එම කාර්යාංශය පවසන්නේ, යම් හෙයකින් එසේ වැඩිවීමක් ඇත්නම් එය 10%ක වැනි සාපේක්ෂ ව කුඩා වැඩි වීමක් විය හැකි බවට දැනට ඇති දත්ත විශ්ලේඝණය කළ ඇතැම් විශේෂඥයින් අනාවැකි පළ කර තිබෙන බව ය.

 

කොරෝනා මර්දන විධි විධාන ලිහිල් කිරීමෙන් පසුව එක්සත් රාජධානිය තුළ ඇති වූ විශාල ම COVID රැල්ල මේ දිනවල දක්නට ලැබෙන නමුත් මේ රැල්ලට ප්‍රධාන ම හේතුව මේ නව ප්‍රභේදය ම දැයි කීමට තවමත් සාක්ෂි හමුව නොමැති බව ද සඳහන් වේ.

 

කෙසේ නමුත් එරට නව COVID රැල්ල ඇති වීමට වෛරසයේ වෙනස් වීම්වලට වඩා චර්යාමය සාධක බලපා ඇති බවට සාධක සහිත බව ඔවුහු පවසති.

 

රටක දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන යම් තරමකට අඩු වීමත් සමග රට වැසියන් වසංගත පාලන විධි විධාන පිළිබඳව අඩු අවධානයක් දැක්වීම නැවත COVID ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු වන බවට බොහෝ රටවල් මේ වනවිට උදාහරණ සපයමින් තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කර තිබේ.

 

පසුගිය කාලය තුළ කොරෝනා වෛරස පැතිරීම බොහෝ දුරට පාලනය කර තිබූ සිංගප්පූරුව වැනි රටවල සෞඛ්‍ය පුරුදු සම්බන්ධ විධිවිධාන ලිහිල් කිරීමත් සමග ම ආසාදිතයන් වාර්තා වීම නැවත අධික ලෙස ඉහළ යාමක් දක්නට ලැබීම සහ ඇතැම් රටවලට නැවත සංචරණ සීමා පැනවීම වැනි විධිවිධාන කරා යොමුවීමට සිදුවීම ආදිය ඔවුන් උදාහරණ ලෙස දක්වා තිබේ.

 

එන්නත්කරණය මගින් රෝගය වැළඳෙන පුද්ගලයන් අසාධ්‍ය විමට හෝ මරණයට ලක් වීමට ඇති ප්‍රවණතාව පැහැදිළිව අවම කරන නමුත් පුද්ගල චර්යාමය සාධක මත කොටිඩ්-19 පැතිරෙන අවස්ථාවන් ඉතා බහුල වීම නිසා ඉහළ එන්නත් ආවරණයක් සහිත රටක වුවත් ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් වැඩි විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

 

එබැවින් එන්නත්කරණය තුළින් හා ඉන් පසුව ද නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.


කාංචනා විජයබණ්ඩාර

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...