Thursday, 4 November 2021

මානව සමාජයෙහි ඉතිහාසය, විකාශනය සහ ව්‍යාප්තිය සඳහාත්, ඒවා සදාතනිකව පවත්වාගෙන යෑම සඳහාත්, නඩත්තු කිරීම සඳහාත්, සමාජයේ පැවැත්ම සඳහාත් විවිධ ආයතන හෙවත් සංස්ථා ගණනාවක් සැකසී තිබේ. මෙම ආයතන අතරින් ඉතාමත්ම සුවිශේෂී වන්නේ විවාහයයි. මෙය ක්‍රියාත්මක වන්නේ විවාහ නීතිරීති සහ දරුවන් ඇති දැඩි කිරීමේ රාමුවක් තුළය. එමඟින් මානව සමාජයේ ප්‍රවර්ධනය සිදුවීමට බලපෑමක් සිදු වේ. මෙම විවාහය නමැති සංකල්පය ලෝකයෙහි ප්‍රභවය දක්වා ඈත කාලයක් තරම් දුරට දිව යන්නකි. සමාජයේ පවත්නා ආයතනයක් වශයෙන් අනාදිමත් කාලයක සිට විවිධ සමාජයන්හි දී මෙම සංස්ථාව විවිධ හැඩයන් ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අප විසින් අවධානය යොමු කරන විට අපට උපකාරි වන්නේ සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ය.


මේ සම්බන්ධව ශ්‍රී ලාංකික සන්දර්භයට පැමිණීමට පෙර ඉන්දියාවට මෙම බහුපුරුෂ විවාහයේ ප්‍රභවය කෙසේ ඇති වුණේලදැයි පරීක්ෂා කළ යුතුය. වෛදික යුගයේ මෙම විවාහ ක්‍රමය බහුල ලෙස පැවැති බව සෘග් වේදයෙන් සහ අනෙකුත් පැරණි මූලාශ්‍රවලින් හෙළි වේ. කෙසේ වෙතත් පොදුවේ ඒක භාර්යා විවාහය ඉතා දැඩි විශ්වසනීයත්වයකින් යුක්තව පැවතුණි. එම නිසා ඉන්දියාවේ සිටි කාන්තාවගේ පතිව්‍රතාවය ඉතා උසස් කොට සැලකීය. පැරණි ඉතිහාසය කෘතිවලින් බහුපුරුෂ විවාහය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ගැනීමට නොහැකිය.


ඉතාමත්ම සම්භාව්‍ය නිදසුන වන්නේ මහාභාරත වීර කාව්‍යයේ සඳහන් වන පඤ්ච පාණ්ඩව සහෝදරයින් ද්‍රෞප දී සමඟ විවාහ වී සිටීමයි. එම සහෝදරයින් සිව්දෙනාටම බිරිය වූයේ ද්‍රෞපදීය. මෙය සිදු වූයේ විශේෂ කරුණු කීපයක් යටතේය. මෙම විස්තරය ඉතා අත්‍යලංකාරයෙන් මෙහි විස්තර කර තිබේ. පසු කාලයෙහි දී මෙම බහු පුරුෂ විවාහය පිළිබඳ දකුණු ඉන්දියාවේ පැවතීම පිළිබඳ බ්‍රහස්පති විසින් ද පුරාතනයේ පැවැති සිරිතක් ලෙස ආපස්ථම්බ විසින් ද කරුණු දක්වා තිබේ.


විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ මෙම සිරිත පැවතීම පිළිබඳ සඳහන් කිරීම සිත් ගන්නා සුළුය. ආර්ය ගෝත්‍රිකයින් අතර මෙම විවාහ චාරිත්‍රය වඩා පුළුල් ලෙස කෙසේවත් ව්‍යාප්ත වූයේ නැත. ජටිල ගෞතමීට ස්වාමිපුරුෂයින් හත්දෙනකු සිටි අතර, වර්ක්ෂී සහෝදරයින් හත්දෙනකු සමඟ විවාහ වූවාය. අශ්වින් තම නිවුන් සහෝදරයින් සමඟ සූර්යා හුවමාරු කර ගත්තේය. ඒ හා සමාන භාවිතයක් තවමත් බ්‍රහ්මණයින් අතර පවතින බව සඳහන් වේ.


රාජ්පුත් සහ සින්ධ‍ුරා ප්‍රදේශයන්හි සහෝදරයින් අතර දරුවන් බෙදා ගත්හ. පන්ජාබයේ ජාත්වරුන් අතර සිටි වැඩිමල් සහෝදරයාගේ භාර්යාව බාල සහෝදරයින්ගේ භාර්යාව ලෙස ද කටයුතු කළාය.


බහු පුරුෂ විවාහය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සන්දර්භය පිළිබඳ අවධානය යොමු කරන විට ඉතා ඈත අතීතයේ සිට මෙම සම්ප්‍රදාය පැවතී තිබුණි. නමුත් සමාජයේ එය පැවැතියේ කවර නිශ්චිත කාලයක දැයි සඳහන් කිරීම දුෂ්කරය.


විජය රජතුමා එය රැගෙන පැමිණියේ ද එමෙන්ම ඔහුගේ අතවැසියන් විසින් අසල්වැසි උප මහාද්වීපයෙන් රැගෙන එන ලද්දේ ද එසේත් නැති නම් විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණෙන විට සිටි ජනතාව අතරේ මෙම සිරිත පැවතුණේ දැයි නිශ්චිතව සඳහන් කිරීමට පැහැදිලි සාක්ෂි නොමැත.


පැරණි සාහිත්‍ය මූලාශ්‍ර තුළ වුවත් ඒ පිළිබඳ වැදගත් තොරතුරක් සොයා ගැනීමට නොමැත. 'රසවාහිනි”යෙහි බහුපුරුෂ විවාහය පිළිබඳ තොරතුරක් සඳහන් වන්නේ නැත. එවැනි චාරිත්‍රයක් පිළිබඳ 14 වැනි ශත වර්ෂයෙහි රචිත සිංහල ලේඛනවල ද සඳහන් වන්නේ නැත. එවැනි දෙයක් පැවතුණේ නම් සද්ධර්මරත්නාකරයෙහි හෝ සද්ධර්මරත්නාවලියෙහි සඳහන් විය යුත්තේය. නමුත් එය ඉන්දියානු කතාවක් වුවත් එක් ජාතකකතාවකින් යම්කිසි හැඟීමක් මේ පිළිබඳ ලබා ගත හැකිය.


බෞද්ධ සාහිත්‍යය තුළින් හෙළිවන එකම තොරතුර කුණාල ජාතකයයි. මෙහිදී කන්හා කුමාරිකාවට ස්වයංවර රැස්වීමකදී විවාහ අපේක්ෂක පස්දෙනෙක් සමඟ විවාහ වීම සඳහා අවසර දුන්නේය. අල්ටෙකාර්ල මෙම සිදුවීම දෞප දී සිදුවීමට සම්බන්ධ කරයි. ඔහු ද්‍රෞපදීගේ බහුපුරුෂ විවාහය ඓතිහාසික සිදුවීමක් ලෙස පෙනී යන බව සඳහන් කරයි.


එසේ නොමැති නම් මහාභාරත කතුවරයාට ඒ පිළිබඳ නිශ්ශබ්ද වන්නට තිබුණි. නමුත් මෙම මාතෘකාව සම්බන්ධයෙන් විහාරමහදේවිගේ මඟුල් මහ විහාර ශිලා ලේඛනය ඉතා වැදගත් එකක් වන අතර, අපගේ අධ්‍යයන කාලය පිළිබඳ වැදගත් තොරතුරක් දෙයි. මෙම ශිලා ලේඛනය සොයාගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම පත්තුවේ මඟුල් මහා විහාරය නම් වූ පැරැණි විහාරයක නටබුන් අතරයග පොතුවිල්හි සිට වැල්ලවාය දක්වා ඇති මාර්ගයෙහි අටවැනි සැතපුම් කණුවට සැතපුමක් පමණ දකුණිනි.


මෙම ශිලා ලේඛනවල සඳහන් වන්නේ වනගතව තිබූ රූණු-මහ-වෙහෙර නමැති පැරැණි විහාරය පැරකුම්බා නමින් යුත් සහෝදර රජවරුන්ගේ බිසව වූ විහාරමහදේවිය විසින් සම්පූර්ණයෙන්ම පිළිසකර කරන ලද බවය. එම විහාරය පවත්වාගෙන යෑම සඳහා ඇය විසින් ඉඩම් ප්‍රදානයක් ද කර තිබේ. එහි මෙසේ සඳහන්ය.


‘‘රූණු රට රජ කරන පැරකුම්බා දෙබෑ රජ දරුවන් දෙදෙනාට අගමෙහෙසුන් වූ විහාරමහදේවි නම් මා විසින් මුල් පිසැ කරවා දරුගම් වටනා පස පරිවාර සහිතවැගගගග ථබදවස්ෆ කොටැ මා විසින් මා විසින් කරවන ලදහ.‘‘


මෙම ශිලා ලේඛනයට අනුව සහෝදරයින් දෙදෙනාගේම නාමයන් වූයේ පරාක්‍රමබාහුය. ඔවුන් දෙදෙනාගේම භාර්යාව වූයේ විහාරමහදේවියයි. එම නිසා මේ කාල පරිච්ඡේදය තුළ ප්‍රභූ සමාජයේ බහුපුරුෂ විවාහය පැවැති බවට මෙම අභිලේඛනයෙන් ආලෝකයක් විහිදේ.


පරණවිතාන මෙම සහෝදර රජවරුන් දෙදෙනා පිළිබඳ අවධානය යොමු කරයි. මෙහි ඇති එක් ශිලා ලේඛනයක් මෙම සහෝදර රජවරුන් දෙදෙනා සොළී හමුදාව පරාජයට පත් කර රෝහණ රාජ්‍ය පාලනය කරමින් සිටි බව සඳහන් කරයි.


එමෙන්ම මෙම ශිලා ලේඛනයෙහි මෙම සහෝදර රජවරුන් දෙදෙනාම පරාක්‍රමබාහු නමින් හැඳින් වූ බවත් ඔවුන් දෙදෙනාගේම බිරිය වූයේ විහාරමහදේවි බවත් කියවේ. ස්ථම්භ ලිපියෙහි මෙම පාලකයින් දෙදෙනා විසින් මර්දනය කරන ලද චෝළ ආක්‍රමණය පිළිබඳ වැඩි විස්තර අඩංගු වේ. නමුත් අවාසනාවකට මෙම ඓතිහාසික සිදුවීම පිළිබඳ ආරම්භ වන ස්ථානයෙහි දී මෙම ශිලා ලේඛනය කැඩී බිඳී ගොස් තිබේ.


එමෙන්ම මෙම ශිලා ලේඛනය පිහිටුවා ඇත්තේ සහෝදර රජවරුන් දෙදෙනාගේ අභාවයෙන් පසුව බව පෙනී යයි. විහාරමහදේවිය පිළිබඳ මෙහි විස්තර කර ඇත්තේ සහෝදර රජවරුන් දෙදෙනාගේ ප්‍රධාන බිසව ලෙසින් සිටී” යනුවෙනි.


පරණවිතාන විසින් මෙම ශිලා ලේඛනයෙහි සඳහන් වන පරාක්‍රමබාහු යනු පස් වැනි පරාක්‍රමබාහු යනුවෙන් ද ඔහුගේ සහෝදරයා වන්නේ හතර වැනි බුවනෙකබාහු ද යනුවෙන් අදහස් කර තිබේ. එමෙන්ම ශිලා ලේඛනයෙන් පස් වැනි පරාක්‍රමබාහුගේ සහ හතර වැනි බුවනෙකබාහුගේ රාජ්‍ය සමයන් පිළිබඳ තොරතුරු ලැබේ.


කොඩ්රින්ටන් ද මෙම පාලකයින් දෙදෙනා සහෝදරයින් බව දක්වා තිබේ. පුරාක්ෂර විද්‍යානුකූලව මෙම ශිලා ලේඛන පස් වැනි පරාක්‍රමබාහුගේ සමයට අයත් කළ හැකිය. නමුත් මෙම ශිලා ලේඛනයන්හි මනා ලෙස පිටපත් කිරීමෙන් පසුව පරණවිතාන මේ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසුව ඔහු මුලින් දැක් වූ අදහස විය නොහැකි බව සඳහන් කළේය.


පළමු ශිලා ලේඛනයෙහි දී සහෝදරවරුන් දෙදෙනාම පරාක්‍රමබාහු නමින් හැඳින් වූ බව දැක්වේ. මෙම සහෝදර රජවරු දෙදෙනාම පාලනය කර ඇත්තේ රෝහණය බව ශිලා ලේඛනය සඳහන් කරයි. හතර වැනි බුවනෙකබාහු සහ පස් වැනි පරාක්‍රමබාහු පිළිවෙලින් ඔවුන්ගේ අගනගර පිහිටුවා ගත්තේ මායා රාජධානියෙහිය. ඔවුන්ගේ බලාධිකාරය මුළු දිවයිනේම ව්‍යාප්ත නොවුණත් සමස්ත ශ්‍රී ලංකාවේම බලය විහිදූ බව කියවේ.


ඇයගේ ස්වාමිපුරුෂයින් දෙදෙනා සමස්ත දිවයිනේම පාලකයින් වූයේ නම් විහාරමහදේවිය ඔවුන් දෙදෙනා පිළිබඳ සඳහන් කිරීමේ දී හුදෙක් රෝහණ පාලකයින් ලෙස පමණක් සඳහන් නොකරනු ඇත.


එම නිසා මෙම ශිලා ලේඛනයෙහි සඳහන් වන කුමාරවරු දිවයින පාලනය කළ ප්‍රධාන රජවරුන් ලෙස හඳුනා ගැනීමට නොහැකිය. එම නිසා මෙම දෙදෙනා දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණයක් නිසා දිවයිනේ උතුරු කොටස තුළ යම්කිසි ආකාරයක කලබලකාරී තත්ත්වයක පවතින සමයක රෝහණයෙහි සිටි ස්වාධීන පාලකයින් දෙදෙනෙක් බව සිතිය හැකිය. මූලාශ්‍රවලට අනුව ශ්‍රී ලංකාවේ එක් රජෙකුට සිටිය යුත්තේ එක් අග්‍ර මහේසිකාවකි. එම නිසා මෙම පාලකයින් දෙදෙනා රෝහණ ප්‍රදේශය තුළ සිටි සුළු පාලකයින් දෙදෙනෙක් බව සඳහන් කළ හැකිය.


කෙසේ වෙතත් අනෙක් පැත්තෙන් මඟුල් මහ විහාර අභිලේඛනයෙහි සඳහන් වන විහාරමහදේවිය හතර වැනි බුවනෙකබාහුගේ සහ පස් වැනි පරාක්‍රමබාහුගේ භාර්යාව බවට පත් වී සිටියාය. එයට හේතු වන්නට ඇත්තේ ඇය ක්ෂත්‍රිය පෙළපතට සම්බන්ධ වී සිටින්නට ඇති නිසාත් සමහරවිට ශිලා ලේඛනයෙහි සඳහන් වන පාලකයින් දෙදෙනාගේ රාජවංශ ඉතා ශක්තිමත් නොවූ නිසාත් වන්නට ඇත. මෙම ශිලාලේඛනයෙහි සඳහන් වන තොරතුරු රටාවට අනුව විහාරමහදේවිය මෙම රජවරුන් දෙදෙනාගේ බිරිය බවට පත් වූවා පමණක් නොව ඇයට ප්‍රමාණවත් දේශපාලනික බලයක් ද තිබුණු බව පෙනේ. විහාරමහදේවි දරුගම් ඉඩම් සැපයීම ඇතුළු ප්‍රදාන කීපයක් මෙම විහාරයට කර තිබේ. ඇය මෙම ශිලා ලේඛයෙහි දී ඇය විසින් කරන ලද මෙම පුණ්‍යකර්ම තවදුරටත් අනාගතයේ දිවයින පාලනය කරන රජවරු යුව රජවරු හා අනෙක් පාලකයින් විසින් පවත්වාගෙන යා යුතු බව කියා සිටියි.


එයින් පෙනී යන්නේ ඇයට ප්‍රමාණවත් දේශපාලන බලාධිකාරයක් තිබූ බවයි. එවැනි ඉල්ලීමක් කළ හැකි වන්නේ ප්‍රධාන දේශපාලන සන්දර්භයට ඇතුළත් වූ පුද්ගලයිනට පමණක් යෝජනා කළ හැකිය. විහාරමහදේවි රජවරුන් දෙදෙනකුගේ භාර්යාව වීම නිසා මෙම කාලයෙහි දී බහු පුරුෂ විවාහය පිළිබඳ සම්ප්‍රදායක් පැවැති බව ද කියැවේ' මෙය සත්‍යයක් විය හැකි නමුත් සමාජය තුළ මෙය ඉතා දැඩි ලෙස ස්ථාපිත වී තිබුණේල දැයි පැහැදිලි නැත'


කෙසේ වෙතත් මෙම විවාහ ක්‍රමය ක්‍රමානුකූලව 'එක ගෙයි කෑම” නමින් ඉස්මතු වන්නට ඇත. ආර්. ඩබ. අයිවර්ස් බහු පුරුෂ විවාහය පිළිබඳ විස්තර කරමින් ඒ පිළිබඳ ශ්‍රී ලාංකික පළමු ඓතිහාසික ලියවිල්ල වන්නේ නොක්ස්ගේ ග්‍රන්ථය බව සඳහන් කරයි. ඔහු පහත සඳහන් ආකාරයෙන් විස්තර කරයි. මෙම විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාහිත්‍ය තොරතුරු බලන විට පළමුවැන්න වන්නේ නොක්ස්ගේ ග්‍රන්ථයයි.


එමෙන්ම ඔහු උපග්‍රන්ථයක් ලෙසින් පහත කොටස දක්වා තිබේ.


මෙම රටේ සෑම පුද්ගලයකුටම බිරිඳක් සිටී. නමුත් සමහර කාන්තාවනට ස්වාමිපුරුෂයින් දෙදෙනෙක් සිටී. එය නීත්‍යානුකූල මෙන්ම පොදු දෙයකිග සහෝදරවරුන් දෙදෙනා එකම නිවසේ එක් භාර්යාවක් සමඟ වසන අතර, දරුවන් ද ලබා පියවරුන් දෙදෙනා විසින් ඔවුන්ගේ ආරක්ෂාව ද සපයනු ලැබේ.


නමුත් මුලින් අප විසින් පෙන්වා දී ඇති පරිදි රූණු මහ වෙහෙර අභිලේඛනයට අනුව ශ්‍රී ලංකාවේ බහු පුරුෂ විවාහය පිළිබඳ කියවෙන ප්‍රධාන ඓතිහාසික ලේඛනය ලෙස මෙම ශිලා ලේඛනය සඳහන් කළ හැකිය.


මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ පැවැති බහු පුරුෂ විවාහය පිළිබඳ තවත් ඉතා වැදගත් නිදසුනක් මයුර සන්දේශයෙන් ගත හැකිය. මයුර සන්දේශය පස් වැනි බුවනෙකබාහු රජුගේ වර්ණනාවෙන් පසුව ජයසිරි බිසව පිළිබඳ විස්තර කර තිබේග මයුර සන්දේශයේ දස පද සැහැල්ලේ 38 වැනි පද්‍යයේ සඳහන් කර ඇති පරිදි පණිවුඩකරුවා විභීෂණ දෙවියන් හමු වී රජතුමාටත් බිසවටත් ඇයගේ ස්වාමිපුරුෂයින් වන සහෝදරවරු තිදෙනාටත් ආශීර්වාද කරන ලෙස ආයාචනා කර සිටියි.


විබිසන සුරවරන සිරි සරන වැඳ දන්ව න්


සිරින් මුදුන් නිරිඳුන් සහ බිසෝ සඳු න්


තරින් බෙලෙන් දිසි තුන් බෑ මෙහිමි සඳු න්


තෙසු රජමැති ඇමැති ඈ සෙනග ඇම සමගි න්


‘හිමි’ යන සිංහල වචනයෙන් ස්වාමියා යන අර්ථය ලැබේ. මෙහිදී හිමි සඳුන්’ යන වචනට පෙරිමෙ’ යන වචනය යොදා තිබේ. මෙම දස පද සැහැල්ලට පෙර මෙම ග්‍රන්ථයෙහි දී සහෝදරවරුන් තිදෙනා පිළිබඳ සඳහන් වී නොමැත. පරණවිතාන මෙහිදී ‘හිමි’ යන පදය වැදගත් කාන්තාවකට පෙර යෙදුවේ නම් එයින් අර්ථවත් වන්නේ ස්වාමිපුරුෂයා බව දක්වයි. ඉහතින් සඳහන් කළ වචනයේ අර්ථයට අනුව ජයසිරි බිසවට ස්වාමිපුරුෂයින් තිදෙනකු සිටි බවත් ඔවුන් සහෝදරයින් වූ බවත් සඳහන් කළ යුතුය.


ශ්‍රී ලංකාවට පෘතුගීසීන් පැමිණෙන විට බහුපුරුෂ විවාහය හෙවත් එක ගෙයි කෑම’ පැවතුණි. එමෙන්ම උඩරට ප්‍රදේශයෙහි ද එම විවාහ ක්‍රමය පැවතුණි. අප පසුවට විස්තර කරනු ලබන රාජාවලියෙහි ද කෝට්ටේ රජ පවුල්වල මෙම බහුපුරුෂ විවාහය පවත්වාගෙන ගිය බව සඳහන් වේ. මයුර සන්දේශයෙහි තවත් තැනක ජයසිරි බිසවට ස්වාමිපුරුෂයින් තිදෙනෙක් සිටි බවට තොරතුරු දෙයි.


පිනානා ලක මෙතුන් බෑ හිමින් වෙ ත


මනානා ලොවිනිසුරු දෙවමින් සත ත


දිනානා ලෙසින් තෙද දියුණ දිග ත


දිනානා විකුම් දුන මැනවි දිය සෙ ත


බිසව පිළිබඳ සඳහන් කිරීමෙන් පසුව ස්වාමිපුරුෂයින් ලෙස සහෝදරයින් තිදෙනෙක් සිටි බව අර්ථවත් කරන තුන් බෑ හිමි යන වචන මෙහි ද යෙදී තිබේ. මෙම සහෝදරයින් තිදෙනා වූයේ අලගක්කෝනාර ඈපා සහ දෙව්හිමිය; දේවස්වාමි*.


මෙහි සඳහන් වන තුන් වැනි පුද්ගලයා සගම ශිලා ලේඛනයෙහි සඳහන් වන අලකේශ්වරගේ සහෝදරයා වූ දේවමන්ත්‍රින් ලෙස නිශ්චිත වශයෙන් සැලකිය හැකිය. දෙවැනි පුද්ගලයා ලෙස සඳහන් වෙන ඈපා එළුඅත්තනගලූවංසයෙහි විස්තර වන අර්ථනායක විය යුතුය. තුන් වැනි වික්‍රමබාහුගේ තෙවැනි රාජ්‍ය වර්ෂයට අයත් විය හැකි අම්පිටිය අභිලේඛනය ඈපා නමැති පුද්ගලයකු අර්ථනායක ලෙස සඳහන් කර තිබේ.


එම නිසා බහු පුරුෂ විවාහය රජ පවුල තුළ පවත්වාගෙන ගිය බව කිව හැකිය. ඉහතින් සඳහන් කළ විස්තරයට අනුව පස් වැනි බුවනෙකබාහුගේ මව වූ ජයසිරි බිසවගේ ස්වාමිපුරුෂයින් වූයේ අලකේශ්වර ඇතුළු සහෝදරයින් තිදෙනාය. එම නිසා තෙවැනි අලකේශ්වර පස් වැනි බුවනෙකබාහු රජුගේ පියාය. ඔහුට අලකේශ්වර නම දැරීම සඳහා අයිතියක් තිබුණි. ඒ බව රාජරත්නාකරයෙහි සඳහන් වනිඅලගක්කෝනාර භුවනෙකබාහු නමින් රජ වී’ යන සඳහනින් පෙනේ.


අලකේශ්වරගේ පුත්‍රයා වූයේ කුමාර අලකේශ්වරය. ඔහු හතර වැනි අලගක්කෝනාර: අලකේශ්වර* යැයි කිව හැකිය. බිසවකගේ පුත්‍රයකු නිසා ඔහුට කුමාර යන නාමය යෙදුණි. තුන් වැනි අලකේශ්වර යනු බහු පුරුෂ විවාහය පැවැති රජ පවුලේ බිසවකගේ ස්වාමිපුරුෂයකු බව සනාථ වේ. පස් වැනි බුවනෙකබාහු රජතුමා මවගේ පරම්පරාවට අනුව සිංහාසනයට පත් වූයේ නම් ඔහු තුන් වැනි වික්‍රමබාහු රජුගේ පුත්‍රයා විය යුතුය. පාරම්පරික සිරිත් විරිත් අනුව ඔහු රාජ්‍යත්වයට පත් වන්නට ඇතැයි සැකයක් නොමැත.


එසේ නම් තුන් වැනි වික්‍රමබාහු රජු රජ කරන සමයෙහි අලකේශ්වර ඇතුළු සහෝදරයින් තිදෙනා තුන් වැනි වික්‍රමබාහු රජුගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයින් වූ බවට සිතීමට හැකිය. මෙම වර්ගයේ විවාහය සහෝදරයින් මුල්කරගත් සහ දේශපාලනික බහු පුරුෂ විවාහය ලෙස නම් කළ හැකිය.


මෙම බහුපුරුෂ විවාහය ධනවත් සහ දිළිඳු පන්තිවල පොදුවේ පැවතුණු බව ඓතිහාසික මූලාශ්‍ර කීපයකින් පැහැදිලි වේ. කෝට්ටේ යුගයෙහි දී කෝට්ටේ රජුගේ සහෝදරයින් දෙදෙනෙක් එක් ස්ථානයක වාසය කරමින් එක් කාන්තාවක සමඟ ලිංගික සම්බන්ධතා පැවැත් වූ බව රාජාවලිය සඳහන් කරයි.


එක් කාරණයක් මෙහිදී සඳහන් කළ යුතුය. මෙම පවුලේ වැඩිමලා වූයේ ධර්ම පරාක්‍රමබාහුය. මෙහිදී විවාහයට එළඹුණේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි සහෝදරයින්ය. වැඩිමල් සහෝදරයා විවාහ නොවීය. එක් කරුණක් මෙහිදී සඳහන් කිරීම වැදගත් වන්නේය. එනම් පළමු වැනි රාජසිංහගේ සහ එම බිසවගේ මරණයෙන් පසුව විජයබාහු කීරවැල්ල පරම්පරාවේ කුමාරිකාවක් සමඟ විවාහ වීමය.


පෘතුගීසි සමය තුළ මෙම චාරිත්‍රය පැවැති අතර පෘතුගීසි උසාවිය විසින් එය අනුදන්නා ලදී.


තම්බයියා විසින් ටෙනන්ට් උපුටා දක්වමින් කෝට්ටේ හත් වැනි විජයබාහු රජතුමා ඔහුගේ සහෝදරයාත් එක්ව එක් භාර්යාවක් සමඟ විවාහ වූවත් එම බහුපුරුෂ විවාහයේ ප්‍රතිඵලයක් ලෙස නුවර පළමු වැනි රාජසිංහ රජතුමාගේ උපත සිදු වූ බව පෙන්වා දෙයි. ඉහතින් සඳහන් කළ කරුණුවලට අනුව මෙකල තිබූ බහුපුරුෂ විවාහයේ ප්‍රධාන ලක්ෂණය වූයේ සහෝදරයින් පමණක් එක් කාන්තාවක් සමඟ විවාහ වූ ක්‍රමයයි. පෘතුගීසින් විසින් ලංකාව ආක්‍රමණය කරන විට ලංකාවේ තිබූ සිංහල විවාහ පිළිබඳ රිබයිරෝ විස්තර කළේය.


ඔවුන්ගේ විවාහ පරිහාසාත්මක එකකි. ගැහැනු ළමයෙක් ඇයටම අයත් වන කුලයකින් ගිවිසුමකට අනුව විවාහ වෙයි. එම ගිවිසුමට අනුව වෙනත් කුලයකින් විවාහ වීමට නොහැකිය. ඥාතීන් එකඟ වන්නේ නම් ඔවුහු විශේෂ භෝජන සංග්‍රහයක් සහ දෙදෙනාගේ විවාහය ද ගිවිස ගනිති. ඊළඟ දිනයේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයකු ඔහුගේ ස්ථානය ගනියි. සහෝදරයින් හත්දෙනෙක් සිටින්නේ නම් එම සියලු දෙනාගේම භාර්යාව වන්නේ ඇයය. රාත්‍රී කාලයෙහි දී තම ස්වාමිපුරුෂයා නොමැතිව වරින් වර අනෙකුත් සහෝදරයින් සමඟ වාසය කරයි. දිවා කාලය තුළ කුටිය තුළ කිසිවකු නොමැත්තේ නම් ඔහුට කාන්තාවත් සමඟ විවේක ගත හැකිය. ඔහු සුදුසු යැයි සිතා කාමරය තුළට ගියේ නම් වෙනත් කිසිවකුට එම කාමරයට ඇතුළු විය නොහැකිය. ඇයට සියලු දෙනාම ප්‍රතික්ෂේප කළ හැකිය.


විවාහයෙහි දී කුමන සහෝදරයා සමඟ පොරොන්දුවකට එළැඹුණත් මෙම කාන්තාව සියලු දෙනාගේම භාර්යාවය. බාල සහෝදරයා සමඟ පමණක් විවාහ වූයේ නම් අනෙකුත් කිසිම සහෝදරයකුට ඇය පිළිබඳ අයිතියක් නැත. නමුත් ඔහු කැමති වේලාවක එම සහෝදරයින්ගේ භාර්යාවන් සමඟ හැසිරිය හැකිය.


සහෝදරවරුන් හත් දෙනෙකුට වඩා සිටියේ නම් හත් දෙනාගෙන් ඉහළ සිටින සහෝදරවරුන්ට ඇය පිළිබඳ අයිතියක් නොමැත. නමුත් සහෝදරයින් දෙදෙනාගේ සිට පස් දෙනකු සිටියෝ නම් ඔවුහු එක් කාන්තාවක් සමඟ සතුටු වන්නෝය. විශාල සංඛ්‍යාවකින් යුත් සහෝදරයින් සිටින ස්වාමිපුරුෂයෙක් සමඟ විවාහ වන කාන්තාව ඉතා වාසනාවන්ත යැයි සැලකේ. ඉතා මහන්සි වී වැඩ කරමින් උපයා ගන්නා සියලුම වස්තුව ඔවුහු ඇයට නි‍වෙසට ගෙනැවිත් දෙති. ඇය ඉතා ගෞරව බහුමානව ජීවත් වන අතර, සියලුදෙනාම ඇයට උදව් කරති. මෙම කාරණය නිසා උපදින සියලුම දරුවෝ එම සහෝදරයින්ට පියවරු යනුවෙන් අමතති.


බැල්ඩියස්, උඩරට තිබූ මෙම බහු පුරුෂ විවාහය ශත වර්ෂයකට පසුවත් යුරෝපීන්ගේ සංස්කෘතියත් සමඟ මිශ්‍ර වී දුර බැහැර ප්‍රදේශයන්හි පවා තිබුණු බව පෙනේ. බැල්ඩියස් සිංහලයෝ තම සහෝදරයින්ගේ විවාහ අනුමත කරති. ඇයගේ ස්වාමි පුරුෂයාගේ ලිංගික අවශ්‍යතා සැපයීමක් පිළිබඳ සඳහන් කරයි. ජෝන් ඩේවි ද නුවර යුගයේ පැවැති බහු පුරුෂ විවාහ ක්‍රමය පිළිබඳ ප්‍රකාශ කර තිබේ.


ඔහු ටිබැට් දේශයේ තිබූ බහු පුරුෂ විවාහයට සමාන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පැවැති බව සඳහන් කරයි. හවුල් ස්වාමිපුරුෂයෝ නිතරම සහෝදරයෝ වූහ. ඔහුට ස්වාමිපුරුෂයින් හත්දෙනෙක් සමඟ සිටි කාන්තාවක් පිළිබඳ තොරතුරු සපයා ගැනීමට හැකි විය. මෙම චාරිත්‍රය පන්තියකට හෝ කුලයකට පමණක් සීමා නොවීය. බහු පුරුෂ විවාහය දිළිඳු සහ ධනවත් සියලු දෙනාටම පොදු දෙයක් විය. දුප්පත් ජනතාවගේ ආකල්පය වූයේ ඔවුනට විශේෂ කාන්තාවක් වෙනුවෙන් වියදම් කිරීමට නොහැකි වූ බවය.


ඩේවි තවදුරටත් මෙසේ සඳහන් කරයි. පුරුෂයින්ගේ ධනවත් භාවය සහ තරාතිරම දේශපාලනික වශයෙන් ඇති එකමුතුව සහ එහි බලපෑම පවුල තුළ එකමුතු බවක් ඇති වේ. පියවරු දෙදෙනෙක් සිටීම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ. එම දරුවනට එක් පියකු නැති වුණත් තවත් එක් පියකු සිටින නිසාය.


මෙම ශෛලියේ බහු පුරුෂ විවාහය සංවර්ධනය වන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයෙහි දී සිටය. මුස්ලිම්වරු ද නුවර යුගයේ දී සිංහල කාන්තාවන් සමඟ විවාහ වූ බව දක්වයි. පෘතුගීසින් පැමිණීමට පෙර මුස්ලිම්වරු සෑහෙන අධිකාරිත්වයකින් යුක්ත වූහ. ශ්‍රී ලංකාවේ යුරෝපීන් වාසය කළත් ඔවුහු වෙ‍ළෙඳ කටයුතුවල නිමග්න වූහ. වෙ‍ළෙඳ කටයුතු සම්බන්ධයෙන් තිබූ තරගකාරිත්වය නිසා සිංහලයින්ගේ ආර්ථික තත්ත්වය වර්ධනය වන්නට ඇත. ආර්ථිකය වර්ධනය වනවාත් සමඟම බහුපුරුෂ විවාහය ද ව්‍යාප්ත වන්නට ඇත. බහුපුරුෂ විවාහයට සම්බන්ධ වී සිටි ස්වාමිපුරුෂයෝ ඔවුනට එක් භාර්යාවක් සිටින බව නොකියති.


ඔවුහු ‘අපි එක ගෙයි රක්ෂා වෙනවා’ යනුවෙන් කියති. බිරිය ද ඇය ඔවුන්ගේ බිරිය යයි නොකියති. ඇයි මම ඒ දෙතුන් දෙනාටම බත් උයා දෙනවා’ යනුවෙන් කියයි. අපට සහෝදරයින් මුල් කර ගත් බහුපුරුෂ විවාහය පිළිබඳ සාක්ෂි හිඟය. කෝට්ටේ යුගයට අයත් සමහර ශිලා ලේඛනයන්හි මෙක සහ මෙකු යන වචන දක්නට ලැබේ. මේවායින් අර්ථවත් වන්නේ මෙම කාන්තාව සහ මෙම පුරුෂයා යනුවෙනි.


මෙම වචන විශේෂයෙන්ම සඳහන් වී ඇත්තේ පැපිලියාන ඉම්පත්‍රයේය. එම ශිලා ලේඛනය සමහරක් තැනෙකි මෙක පුත්ිසහිමෙකු පුත්’ යනුවෙන් සඳහන් කරයි.


මෙම පුද්ගලයාගේ පුත්‍රයින් යන අර්ථය දෙන මෙකුපුත් යන්නට පසුව පුත්‍රයින් 11 කගේ නම් සඳහන් වී තිබේ. පහත සඳහන් ආකාරයෙන් ඒ බව දැක්විය හැකිය. එනම් මෙකුපුත් පාලායි, මහ්දෙවායි, පාලායි, තිරිමායි, මහානීලයි, ලියන දෙවායි, කන්දෙතිරිමායි, තොටගෙයිදෙවායි, මනනමිතායි, කුඩානිලායි සහ ලොකාධුරයායි යනුවෙනි.


නැවත ද මෙකුපුත් තිරිමායි, සිංහපාලයි, කලූවායි, සුවයායි ඇතුළු වූ නම් විසිහතරක් යනුවෙන් සඳහන් වේ.


පැපිලියාන ශිලා ලේඛනයෙහි පුත්‍රයින් 24 කගේ නම් සඳහන් වී තිබේ. මෙම ශිලා ලේඛනයෙහි දී එක් පුද්ගලයකුට පුත්‍රයින් සහ දියණියන් ඉතා විශාල ප්‍රමාණයක් සිටි බව සඳහන් වේ. මෙයින් සිතිය හැක්කේ මෙම දරුවන් බිහි වන්නට ඇත්තේ බහු පුරුෂ විවාහයේ ප්‍රතිඵලයක් නිසාය. පුත්‍රයින් විශාල ප්‍රමාණයක් යනුවෙන් අදහස් වන්නේ සහෝදරයින් ද විශාල ප්‍රමාණයක් සිටි බවය. ඉහතින් සඳහන් කළ කරුණුවලට අනුව ශ්‍රී ලංකාවේ පැවතුණේ සහෝදරයින් එක් කාන්තාවක් සමඟ විවාහ වන බහුපුරුෂ විවාහය බව සිතිය හැකිය.


කේරල හමුදාවන් විසින් විශාල ඉඩම් ප්‍රමාණයක් අයත් කර ගෙන සිටි නිසා ඒවා පාලනය සඳහා බහුපුරුෂ විවාහ ක්‍රමය අනුගමනය කරන්නට ඇතැයි ද සිතිය හැකිය. යුරෝපා රචකයින් විසින් සඳහන් කර ඇති පරිදි මලබාර්වරු සහ කේරලයෝ මෙම බහුපුරුෂ විවාහය අනුගමනය කරන්නට ඇත. ප්‍රංශ භාෂාවෙන් ඉන්දියාවේ කුල ක්‍රමය සම්බන්ධයෙන් ඉතා වටිනා කෘතියක් කළ එමිල් සෙනාට් නායර් සමාජයේ බහුපුරුෂ විවාහය පැවැති බව සංවේදනාත්මකව දක්වා තිබේ. සෙනාට් නායර්වරුන්ගේ මලබාර් වෙරළ තීරයේ සිටි හමුදා ප්‍රධානීන් මෙම බහුපුරුෂ විවාහය අනුගමන කළ බව කියයි. මෙම සම්බන්ධතාවයත් සමඟ කේරළ ජනතාව මරුමකත්තයන් ක්‍රමය කාන්තාවන් මඟින් අනුගමනය කළ බව කිව හැකිය'


 මහාචාර්ය එන්. ඒ. විමලසේන


 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...