කොළඹ හතේ ජාතික කෞතුකාගාරයට නුදුරින් මාකස් ප්‍රනාන්දු මාවතේ ගස්වැල් පිරි වත්තක් මැද තිබෙන සුදු පැහැති මහල් ගොඩනැගිල්ල මේ දිනවල නම් පාළුවට ගොස් නඩත්තුවකින් තොරව පවතින බව පෙනේ. එය 1913 දී තැනූ එහි හිමිකරු වන්නේ මෙරට සිටි ධනවතෙක් මෙන්ම උගතෙක් ද නිදහස් සටනේ පුරෝගාමියෙක් ද වූ වෛද්‍ය ඩබ්ලිව්. ආතර් ද සිල්වායි. ශ්‍රාවස්තිය ලෙස නම් තැබූ මෙය අද භාවිතයට නොගෙන තිබෙන අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ලබාදීමට රජය තීරණය කර ඇති බව පසුගිය සතියේ වාර්තා විය.
රජය එම තීරණයට එළඹ ඇත්තේ පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ සභික මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
වසර සීයයකට වඩා වැඩි ඉතිහාසයක් සහිත එම ගොඩනැගිල්ලේ පැරණි ගෘහ නිර්මාණ සැලැස්මට බාධා නොවන ලෙස එය ප්‍රතිසංස්කරණය කිරීමටත්, ඒ සඳහා රුපියල් කෝටි 30ක පමණ මුදලක් වෙන් කිරීමටත් රජය තීරණය කර තිබේ.
මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ උපදේශකත්වය මත ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමට ද රජය තීරණය කර තිබේ.
ආතර් ද සිල්වා ලංකා නිදහස් සටනේ බෞද්ධ පුනර්ජීවනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ සංවිධානයක් වූ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ පාඨශාලා සාමාන්‍යාධිකාරි ධුරය දැරුවේය. එකල සුද්දන්ගේ තැබෑරුම් ව්‍යාපාරයට එරෙහිව රුල්ලක් සේ පැතිර ගිය අමද්‍යප සභාවේ ආරම්භක සභාපති ධුරය සහ තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති ධුරයද දැරුවේ ඔහුයි. දේශපාලන සංගමයක් ලෙස රටේ සියලු ජාතීන් නියෝජනය කරමින් පිහිටවූ ලංකා ජාතික සංගමයේ ලේකම් ධුරයද ඔහු දැරුවේය. පසුව දේශපාලනයට පැමිණි ආතර් ද සිල්වා 1931දී සහ 1936 මහා මැතිවරණවලින් ජය අත්කරගෙන එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. ඔහු 1936 සිට 1942 දක්වා සෞඛ්‍ය ඇමතිවරයා ලෙසද කටයුතු කළේය. පසු කාලයකදී සිල්වා තමා පදිංචි වී සිටි සුවිසල් ශ්‍රාවස්ති මන්දිරය රජයට පවරා දෙනු ලැබීය. අලංකාර වූ සියුම් දැව කැටයම්, කිරිගරුඬයෙන් සැකසුණු දොර ජනෙල් කවුළු, විසිත්ත කාමර, ආපන ශාලා, භෝජනාගාර, සුඛෝපභෝගී නිදන කාමර ආදියෙන් ශ්‍රාවස්තිය පිරී පවතී. ඉහළ මාලයේ සිත්කළු ආලින්දය, දෙපස වූ දැවමුවා කුඩා මැදිරි මෙන්ම කැටයම් පිරි තරප්පු පෙළද මේ මැඳුරේ අලංකාරත්වය ඉහළ නැංවීය.
එය ඓතිහාසික වටිනාකමක්ද සහිත මන්දිරයකි.
1948 වසරේදී එංගලන්තයෙන් මෙරටට නිදහස ලැබුණු පසු පිහිටුවනු ලැබූ පාර්ලිමේන්තුවට දුරබැහැර ප්‍රදේශවලින් තේරී පත්ව ආ මන්ත්‍රීවරුන්ගේ නේවාසිකාගාරයක් වශයෙන් ආණ්ඩුව විසින් ශ්‍රාවස්තිය භාවිත කළේය. ඒ සඳහා මෙම මන්දිරය පාර්ලිමේන්තුවට පවරා දෙනු ලැබීය. දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිවහන වශයෙන් යොදාගත් මෙම මහ මන්දිරයේ සැඟවුණු රසකතා රාශියකි. මෙරටට පැමිණි විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද ශ්‍රාවස්ත්‍රියේ නවාතැන් ගෙන තිබේ.
ආතර් ද සිල්වා දානපතියකු ලෙසද ප්‍රකට වූ අතර නැතිබැරි අයට නිතර උදව්පදව් කළ පුද්ගලයෙකි. 1869 මාර්තු 15 වැනිදා ගාල්ලේ උණවටුණ ග්‍රාමයෙහි උපන් ආතර් ද සිල්වා මූලික අධ්‍යාපනය ගාල්ලේ බොනවිස්‌ටා රිච්මන්ඩ් විදුහල්වලින් ලබා පසුව කොළඹ රාජකීය විදුහලට ඇතුළු වී ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසුව 1891 වසරේදී පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳව ශිෂ්‍යත්වයක් හිමිකරගෙන ඉන්දියාවේ බොම්බායේ පශු වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබීය. පශු වෛද්‍යවරයකු ලෙස ලංකාවට පැමිණි ආතර් 1893දී කොළඹ මහ නගර සභාවේ පළමු පශුවෛද්‍යවරයා ලෙස පත්වන විට ඔහුගේ වයස අවුරුදු 24කි.
තරුණ ආතර් කොල්ලුපිටියේ සුප්‍රකට ඇල්ෆ්‍රඩ් හවුස් නම් මහා මන්දිරයේ හිමිකරු වූ ප්‍රකට ව්‍යාපාරික චාල්ස් හෙන්රි ද සොයිසාගේ දියණියක හා පෙමින් බැඳුණේය. එහෙත් පෙම්වතියගේ පියා බැතිමත් කිතුණුවකු මෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාත අයෙක් වූ අතර ඔහු අනාගත බෑණාගෙන් ඉල්ලා සිටියේ විවාහය සිදු කිරීමට නම් කිතුණු ආගමට පැමිණෙන ලෙසයි. එයට එකඟ නොවූ ආතර් පෙම්වතිය අත්හළේය. පසුව යෝජනාවක් මත ආතර් විවාහ වුණේ තවත් ප්‍රකට ධනවතකු වූ මොරටුවේ චන්ද්‍රසේකර මුදලිවරයාගේ දියණිය වූ කැතරින් චන්ද්‍රසේකර සමඟයි. එම විවාහයෙන් දායාද ලෙස අක්කර දහස් ගණනක වතුපිටි සහ විශාල ධනයක්ද ව්‍යාපාරද ඔහුට උරුම විය. චන්ද්‍රසේකර මුදලි සුවිසල් ශ්‍රාවස්ති මන්දිරය තනා ආතර් සිල්වා යුවළට විවාහ දායාදයේ කොටසක් ලෙස තෑගිකළ බව පැවසේ. එවකට පැවති පුවත්පත් ගණනාවකට ඔහු ඉංග්‍රීසියෙන් ලිපි ලියා තිබේ. පොතපතට විශාල කැමැත්තක් දැක්වූ ඔහු සතුව ඒ කාලේ ලංකාවේ තිබූ විශාලතම පෞද්ගලික පුස්තකාලයද විය.
පළමුවන ලෝක යුද සමයේ මුල් භාගයේදී ලංකාවට ආහාර අහේනියක් ඇති විය. භාණ්ඩ මිල ඉහළ ගියේය. ඒ කාලයේ ආතර් සිල්වා අනුරාධපුරයෙන් විශාල කුඹුරු යායක් මිලදී ගෙන එය අස්වද්දවා ගැමියන්ට ආහාර සැපයීමට කටයුතු කළ බව පැවසේ. එම කුඹුරු ඉඩම ආසන්නයේම මිනිසුන්ද පදිංචි කළේය. අද ඒ ප්‍රදේශය හඳුන්වන්නේ අනුරාධපුරයේ ශ්‍රාවස්තිපුරය නමිනි. මිය යනවිට ඔහු තමා සතු ධනයෙන් විශාල කොටසක් වැයකර තිබුණේ පොදුජන යහපත වෙනුවෙනි. ආතර් ද සිල්වා 1942 මාර්තු 31 වැනි දින මෙලොවින් සමුගත්තේය. ඔහු සිහිපත් කිරීම සඳහා 1984දී ශත 60 වටිනාකමින් යුත් මුද්දරයක්ද නිකුත් කෙරිණි.
දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිවහන වශයෙන් පරිහරණය වූ මෙම මැඳුර ඉතිහාසයේ රස මතක රුසක් සඟවාගෙන සිටියි. විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රුසක්ද ශ්‍රාවස්ත්‍රියේ නවාතැන් ගෙන ඇති බව වාර්තාවල සඳහන් වේ. ඒ අතර නිදහස් ඉන්දියාවේ පළමු අගමැති වූ ශ්‍රී ජවහර්ලාල් නේරු, ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වූ මහත්මා ගාන්ධිතුමා, ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් වූ ඩොනමෝර් සාමිවරයා ඇතුළු ප්‍රභූන් රාශියක් සිටිති.
අද කුරුඳුවත්තේ විශාල ගොඩනැගිලි රාශියක් පැවතුණද එකල කටුගෙය හැරුණු විට තිබුණු එකම එකම විශාල මන්දිරය ශ්‍රාවස්තිය විය. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්ව තිබූ කාලයෙහි මන්ත්‍රීවරුන් 72 දෙනකුට පමණ නැවතීමට හැකි තරම් කාමර පහසුකම් පැවතුණි. 1980 දශකයේ මන්ත්‍රී නිල නිවාස කොළඹ ජාවත්තේ කැප්පෙටිපොළ මාවතේ ගොඩනැගිල්ලකට සහ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලට ගෙනයාමෙන් පසුව ශ්‍රාවස්තියේ එක යුගයක් අවසන් වුණි. මෙම ගොඩනැගිල්ල 1994දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් විය. පසුව 1995 පසු බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය කාර්යාල සඳහා එය ලබා දී තිබිණි. මෑත අතීතය දක්වාම ශ්‍රාවස්තිය බස්නාහිර පළාත් සභා කාර්යාලය ලෙස භාවිත කෙරුණි. 2018 නොවැම්බරයේ සිට එහි ප්‍රධාන ගොඩනැගිල්ලේ අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීම සඳහා බිහි වූ කොමිසමේ කාර්යාලය පවත්වාගෙන ගොස් තිබුණු අතර පසුව එය කිසිම වැඩකට යොදාගෙන තිබුණේ නැත.
ශ්‍රාවස්තිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නේවාසිකාගාරයක් වශයෙන් පැවැති කාලයේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් මන්ත්‍රීවරු එහි සමගියෙන් මෙන්ම විනෝදයෙන් පදිංචි වී සිටියහ. පාර්ලිමේන්තුවේදී එකිනෙකාට එරෙහිව දරුණු ලෙස බැණ අඬගහගන්නා පෙරළිකාර මන්ත්‍රීවරුන් පවා සවස් කාලයේ ශ්‍රාවස්ති මන්දිරයට පැමිණ එකම මේසයේ හිඳ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ආහාර අනුභව කිරීම එකල දැකගත හැකිවිය.
විවිධ දේශපාලන පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් සවස් කාලයේ ශ්‍රාවස්ති මන්දිරය අබියස වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙන අයුරුද බොහෝවිට දකින්නට ලැබුණි.
පසුගිය ආණ්ඩුවේ අවසාන කාලයේද ශ්‍රාවස්තිය එහි පෞරාණික වටිනාකම රුකෙන අයුරින් ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කෙසේද යන්න සහ එය වඩාත් ඵලදායක ලෙස භාවිතයට ගත යුත්තේ කෙසේද යන්න ගැන යෝජනා ඉදිරිපත් කිරීමට කථානායකවරයා විසින් සත් පුද්ගල කමිටුවක් පත්කළද ඉන් කිසිදු වැඩක් වුණු බවක් අප නම් දන්නේ නැත.
අලුත් වැඩපිළිවෙළේදී පෞරාණික බව රුකෙන පරිදි ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන අතරම එහි රසවත් ඉතිහාසය ගැන ජනතාව දැනුවත් කිරීමත් කළ යුතු කාර්යයකි. ඒ එහි හිමිකරු ලෙස සිටි විශිෂ්ට ශ්‍රී ලංකා පුත්‍රයාට ගරුත්වයක් ඇතිවන පරිද්දෙනි.
කුසුම්සිරි විජයවර්ධන
No comments:
Post a Comment