තම මුඛ ආවරණය ඉවත්කොට චේතනාන්විතවම වෙනත් පුද්ගලකුගේ මුහුණට කැස්සක් පිටකළ පුද්ගලයකුට එය සාපරාධි පහරදීමක් ලෙස තීන්දු කරමින් කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්ත අධිකරණයක් මගින් වසර දෙකක පරිවාස කාලයකට යටත් කර තිබේ. පසුගිය සතියේ, ප්‍රාන්ත අධිකරණ විනිසුරු හෙදර් ලැමුරියුක්ස් තම තීන්දුව ලබාදෙමින් “කැස්සක් ඇතිවීම ස්වභාවික සිදුවීමක් වුවද, චේතනාන්විතවම වෙනත් කෙනකුගේ මුහුණට කැස්සක් පිටකර කිසියම් පුද්ගලයකුගේ පෙනහළු තුළ ඇති වායු අණු තවත් පුද්ගලයකු මතට විමෝචනය කිරීම වසංගතයක් පැතිර යමින් පවතින අවස්ථාවක අපරාධ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්” යැයි ප්‍රකාශ කර තිබේ.
මෙලෙස වරදකරු බවට පත්ව ඇත්තේ කයිල් පෘඩන් නමැති 35 හැවිරිදි පුද්ගලයකි. 2020 වසරේ නොවැම්බර් මස පෘඩන් කැල්ගරිහි පිහිටි “බ්ලැක් ස්වෝන්” සමාජශාලාවේ විඩියෝ ක්‍රීඩාවක නිරත වී ඩොලර් 160ක මුදලක් ජයග්‍රහණය කර තිබේ. ඔහු එම ටෝකනද රැගෙන එහි සේවිකාවක වන කයිලා කොසෙට් වෙත ගොස් එම ටෝකන මාරුකොට මුදල් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. එහිදී එම සේවිකාව පවසා ඇත්තේ ගෙවීමට අවශ්‍ය මුදල් සමාජශාලාවේ හිමිකරු තවමත් ලබා දී නොමැති බැවින් ඒ අවස්ථාවේ ඔහු ජයග්‍රහණය කළ මුදල ගෙවීමට නොහැකි හෙයින් පසුදින පැමිණ එය ලබා ගන්නා ලෙසටය. එම අවස්ථාවේ කෝපයට පත් පෘඩන් තම මුඛ ආවරණය ඉවත් කොට ඇයගේ මුහුණට කෙළ විසිවන ලෙස කැස්සක් පිටකර තිබේ. මීටර දෙකකටත් අඩු දුරක සිට තම මුඛ ආවරණය ඉවත් කළ පෘඩන් තම මුහුණට කැස්සක් පිටකළ බවත්. ඉන් බියපත් වූ තමා වහා සමාජශාලාවේ පිටුපසට දිව ගිය බවත් එම සේවිකාව පවසා තිබේ.
එම සිදුවීමෙන් පසු එම සමාජශාලාවේ නිත්‍ය ගනුදෙනුකරුවකු වූ 60 හැවිරිදි පුද්ගලයකු පෘඩන්හට ඩොලර් 60ක් ලබා දී ඉතිරි මුදල් හිමිකරු පැමිණි විටෙක ලබාගන්නා ලෙස පවසා තිබේ. ඩොලර් 60ද රුගෙන එම ස්ථානයෙන් පිටව ගිය පෘඩන් බොස්ටන් නමැති පීසා අවන්හල වෙත ගොස් බියර් පානය කොට තම ඉතිරි ඩොලර් 100 ලබා ගැනීම සඳහා යළි බ්ලැක් ස්වෝන් අවන්හල වෙත පැමිණ තිබේ. ඔහු සිතා ඇත්තේ තමන්ට ඩොලර් 60ක් ලබාදුන් පුද්ගලයා එම අවන්හලේ සේවකයකු බවටය. එහෙයින් එම පුද්ගලයා වෙත ගොස් ඉතිරි ඩොලර් 100 ලබා දෙන ලෙස ඔහු ඉල්ලා ඇත. එවිට ඉහත කී පුද්ගලයා පවසා ඇත්තේ තමා එහි සේවකයකු නොවන බැවින් හිමිකරු පැමිණි විට එය ලබාගන්නා ලෙසය. ඉන් කෝපයට පත් පෘඩන් එම පුද්ගලයාට පහර දී තුවාල සිදු කර තිබේ.
මින් පෙරද මෙවැනි වරද සඳහා තමා පුද්ගලයන් තිදෙනකුට දඬුවම් පනවා ඇති බවත් මෙම එක් එක් නඩුවේදී අධිකරණයට වරදකරුවන්ගේ චේතනාව පිළිබඳ කිසිදු තර්කයක් ඉදිරිපත් කර නොමැති බව සැලකිල්ලට ගැනීම වැදගත් බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය පවසා ඇත.
කොවිඩ් පැතිරීම සිදුවන්නේ ශ්වසන ජල බිඳිති මගින් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාත්මක නිගමනය වන හෙයින් වෛරසය ආසාදිත පුද්ගලයෙකු කැස්ස විටක එම වෛරස් අංශු පිටකරන බවත් ඒ අනුව පෘඩන් හිතාමතාම සේවිකාව වෙත කැස්සක් පිට කිරීමෙන් ඔහුගේ පෙනහළු තුළ ඇති වායු අණු වායුගෝලයට විමෝචනය කර ඇති බව සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව තමා ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරු හෙදර් ලැමුරියුක්ස් තම නඩු තීන්දුවේ සඳහන් කර තිබේ. මෙම සිදුවීම පෘඩන් විසින් චේතනාන්විතවම සිදු කර ඇති බව අධිකරණයේ නිගමනය වී ඇති බැවින් ඔහුට දඬුවම් නියම කිරීමට අධිකරණය කටයුතු කළේය.
අධිකරණ තොරතුරුවලට අනුව පහරදීම් සම්බන්ධයෙන් පෘඩන් කොන්දේසි සහිතව නිදහස් කර ඇති අතර සේවිකාවගේ මුහුණට කැස්සක් පිට කිරීම සම්බන්ධයෙන් වසර දෙකක පරිවාස කාලයකට යටත් කර තිබේ. අධිකරණයෙන් පැනවූ කොන්දේසිවලට අනුගත වුවහොත් පෘඩන් හට අපරාධ වාර්තාවක් ගොනු වන්නේ නැත.
“කැනඩාවේ ඇතැම් පුද්ගලයන් කොවිඩ් පවතින අවස්ථාවේ මුව ආවරණ නොමැතිව වෙනත් පුද්ගලයන් වෙතට හුස්ම පිට කිරීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්හි වරද පිළිගෙන ඇත. එහෙත් එවැනි ක්‍රියාවක් අපරාධයක් ලෙස තීන්දු කරමින් විනිසුරුවරයෙකු තීන්දුවක් දුන් බවට හෝ එවැනි නීතියක් ඇති බවට ලොව කොතැනකින් හෝ සොයා ගැනීමට අධිකරණයට හෝ විත්තිකාර පාර්ශ්වයට නොහැකි වූයේයැ”යි විත්තියේ නීතිඥ ඩේවිඩ් රොපර් පවසා තිබේ. මෙය මින් ඉහත සිදු නොවූවක් යැයි පැවසූ ඔහු අධිකරණය මෙවැනි තීන්දුවකට එළැඹ ඇත්තේ ලොව පුරා ව්‍යාප්තව ඇති වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් බවද ඔහු ප්‍රකාශ කළේය.
හිතාමතාම කෙනෙකුට කෙළ ගැසීම පහරදීමක් විය හැකි බව කැනඩාවේ කළෙක සිට පවතින නීතියකි. ඉහත කී නඩු තීන්දුවෙන් මතු වූ ගැටලුව වූයේ අදෘශ්‍යමාන අංශු විමෝචනය කිරීම බලය යෙදීමක්ද යන්නයි.
රොපර් පැවසුවේ තමා සහ තම සේවාදායකයා වන කයිල් ක්ලෝඩ් පෘඩන් විනිසුරුවරියගේ තීරණයට ගරුකරන නමුදු නඩු විභාගයේදී එවැනි අදෘශ්‍යමාන ක්‍රියාවන් සාපරාධී අපරාධයක් වන්නේද යන්න නැවත සිතා බැලිය යුතු බවයි. “මෙය සෑම දිනකම සිදුවන දෙයක්,” ඔහු පැවසීය.
කැල්ගරි විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්යවරියක වන ලීසා සිල්වර් සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර ඇත්තේ පෘඩන්ගේ ක්‍රියාව තමා කිසිම ආකාරයකින් අනුමත නොකරන නමුදු කැස්සක් පහරදීමක් ලෙස අර්ථ දැක්වීම කෙතරම් දුරකට සුදුසුද යන්නයි.
වරදක් කොවිඩ් තත්ත්වයට ගැලපෙන පරිදි අපරාධයක් ලෙස වෙනස් කළ නොහැකි යැයි පෙන්වා දෙන ඇය “හුස්ම ගැනීම, කිවිසුම් පිටකිරීම, කැස්ස හා සිනහව බලයක් යෙදීමක් ලෙස සැලකිය හැකිද? සත්‍යය නම් අපරාධ නීතිය යනු මොට ආයුධයකි. වරද කොතරම් සුළු වුවද. සිරගත කිරීමේ විභවය සෑම අපරාධ වරදක් සඳහාම පවතී. පෘඩන්ගේ ක්‍රියාව පහර දීමක් ලෙස නිර්වචනය කළ නොහැකි බවත් ඔහුට මහජන සෞඛ්‍ය නීති යටතේ අවවාද කිරීම හෝ අවම වශයෙන් අපරාධ නීති සංග්‍රහය යටතේ ඔහුට පොදු හිරිහැරයක් සිදු කිරීම යටතේ චෝදනා කිරීම වඩාත් තර්කානුකූල විය හැකි බවත්” මහාචාර්යවරිය සඳහන් කර තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
No comments:
Post a Comment