දෙමව්පියන්ගේ මිථ්‍යා විශ්වාසය නිසා මියගිය දරුවාගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මව, පියා සහ මිත්තණිය මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (11) ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, මව ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර පියා සහ මිත්තණිය ඇප මත මුදාහරින ලෙසය.
දරුවාගේ පියා සහ මිත්තණිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරුණි.
රෝගී වූ දරුවාට ප්‍රතිකාර කරනවා වෙනුවට සුවවීමට යාච්ඤා කිරීම හේතුවෙන් පසුගියදා එම දරුවා මියගොස් තිබුණි.
පසුව මියගිය සිය දරුවාගේ සිරුරට යළි පණ එනතෙක් යාච්ඥා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මව, පියා සහ මිත්තණිය පොලිස් අත්අඩංගුවට ගැනුණි.
කටාන, හල්පේ ,ආඬිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි මලීෂ දුලක්ෂණ නම් දරුවා පසුගිය 07 වනදා මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් තිබුණි.
දින තුනක පමණ කාලයක් මියගිය දරුවාගේ සිරුර නිවසේ තබාගෙන ඊට පණ එතැයි අපේක්ෂාවෙන් මව්පියන් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ආනාවරණ වී තිබුණේ අදාළ නිවසින් දුර්ගන්ධයක් හමන බවට අසල්වාසීන් පොලීසියට කළ දැනුම්දීමෙන් පසුවය.
දරුවාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව දිස්ත්‍රික් මහරෝහලේදී හෙට සිදුකිරීමට නියමිතය.
මේ අතර සිද්ධියට අදාළව මේ වනවිට ප්‍රකාශ 6ක් සටහන් කරගෙන ඇති බව පොලීසිය පැවසීය.
එමෙන්ම අදාළ දෙමාපියන් සම්බන්ධ වූ යාච්ඤා මෙහෙයන් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පොලීසිය වැඩිදුරටත් පැවසුවේ එම යාච්ඤාවන් සිදුකළ ස්ථානවල පුද්ගලයින්ගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගන්නා බවය.
No comments:
Post a Comment