Thursday, 3 February 2022



ලොව පුරා ඉතා ජනප්රිය අවන්හල් ජාලයක් වන පීසා හට් (Pizza hut) අවන්හල් මේ වන විට දහඅට දහසකට අධික සංඛ්යාවකින් යුක්තය. ශ්රී ලංකාවේද අද වනවිට පීසා හට් අවන්හලට ඇත්තේ ඉතා විශාල ඉල්ලුමකි. 2018 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී වසර විසි පහක් සැමරීමේ සංවත්සරය වෙනුවෙන් ලංකාවේ ඉතා සුවිශේෂී අවන්හලක් විවෘත විය. ඒ තිඹිරිගස්යායේදීය. ඒ අනුව විශේෂ අවශ්යතා සහිත තරුණ තරුණියන් සේවය කරන ලෝකයේ ප්රථම (පීසා හට්) අවන්හල ලෙස මෙය හැඳින්විය හැකිය. 2018 වසරේදී ආරම්භ කළ මෙම ව්යාපෘතිය අද වනවිට ඉතා සාර්ථක ලෙස තිඹිරිගස්යාය ශාඛාවේ ක්රියාත්මකය. නොබෝ දිනකින් තවත් ශාඛා කිහිපයක්ම මෙවැනි ආබාධිත තරුණ තරුණියන් පමණක් සේවය කරන අවන්හල් බවට පත්වීමට නියමිතය. මෙම ශාඛාවේ සේවය කරන්නේ කථනාබාධිත සහිත තරුණ තරුණියන් පමණි.

“ලංකාවේ ජනගහණයෙන් 9%ක ආසන්න ප්රමාණයක් ආබාධිත සහිත පුද්ගලයන් ජීවත් වන බව සොයාගෙන තියෙනවා. ඒ අයට රැකියා අවස්ථා හරි අඩුයි. රජයේ රැකියාවලින් 3%ක් ආබාධිතයන් වෙනුවෙන් ලබා දෙන්නැයි දැනුම් දී තිබුණත් පෞද්ගලික අංශය එවැනි රැකියා වැඩි වශයෙන් ලබා දෙන්නේ නැහැ. මේ නිසා මෙවැනි ආබාධිත තරුණ තරුණියන්ට රැකියා ලබා දෙමින් ඔවුන්ට සම තැනක් ලබා දෙන්න අපිට ඕන වුණා.” යැයි විධායක කළමනාකරු (මානව සම්පත්) කෞෂල්ය මෙන්ඩිස් මහතා දේශයට පැවසීය.
මේ අනුව පීසා හට් අවන්හලේ සේවය කරන කථනාබාධිත තරුණ තරුණියන් කෙරෙහි දැඩි අවධානයක් යොමුවනු ඇත. මීට පෙර මෙවැනි රැකියාවක් සඳහා ඔවුන්ට අවස්ථාවක් නොලැබිණි. ලංකාවේ ඇතැම් ආයතන ආබාධ සහිත පුද්ගලයන්ට රැකියා අවස්ථා ලබා දුන්නද ඒ බොහෝ අවස්ථාවලදී රැකියා ලබා දී ඇත්තේ පාරිභෝගිකයන්ට නිරාවරණය නොවන ස්ථානවලදීය. නමුත් මෙහිදී පීසා හට් අවන්හල එම අභියෝගය බාර ගත්තේය. ආබාධිත සහිත පුද්ගලයන්ට අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන් සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබුණේ ඒ අනුවය.
පීසා හට් අවන්හලට පැමිණෙන පාරිභෝගිකයකු අසලට ගොස් අවශ්ය ආහාරපානවල ඇණවුම් ලබාගෙන එම ඇණවුම ඉතා ඉක්මනින් පාරිභෝගිකයන්ට ලබාදීම මොවුන්ගේ වගකීමය. මෙය එක්තරා අන්දමින් අභියෝගයකි. සාමාන්ය පුද්ගලයකුගෙන් ආබාධිත පුද්ගලයකු මෙම ඇණවුම ලබාගත් පසු ඉතා ඉක්මනින් පාරිභෝගිකයන්ට අවශ්ය ආහාරපාන ලබාදීම ද අභියෝගයකි. නමුත් තිඹිරිගස්යායේ පවත්වාගෙන යනු ලබන පීසා හට් අවන්හල එම අභියෝගය ජයගෙන හමාරය. ආයතනය මගින් ලබා දී ඇති පුහුණුවත්, මඟපෙන්වීමත් මත ඒ කාර්යය අපහසු නොවිණි. අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ද මෙම අපූරු අත්දැකීම ලබන්නට අකැමැත්තක් නොවිණි. පසුගිය වසර තුන ඇතුළත මෙම ශාඛාවේ සේවය කරන මෙවැනි ආබාධිත තරුණ තරුණියන්ගේ ආර්ථිකය මෙන්ම සමාජ ජීවිතය ද ඉහළ නංවන්නට මෙම අවන්හල් සේවය සමත් වී තිබේ. ඒ අනුව ඵලදායීතාවය, සේවයට වාර්තා කිරීම, ඉතා ඉහළ තත්ත්වයක පවතින අතර සේවය හැරයාම පවතින්නේ ඉතාමත් අඩු මට්ටමකය.
සාමාන්ය අවන්හල්වලින් ලැබෙන අමතර දීමනා, පහසුකම් මෙන්ම උසස්වීම් ද මෙම ආබාධිත තරුණියන්ට ලැබෙන අතර නොබෝ දිනකින් තිඹිරිගස්යාය පීසා හට් අවන්හලට අමතරව One Galle face වෙළෙඳ සංකීර්ණයේ ඇති පීසා හට් ආයතනයේදීද ආබාධිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ ක්රමවේදයක් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව ආබාධිත තරුණ තරුණියන් මෙහෙයවන දෙවැනි පීසා හට් අවන්හල ලෙසින් එය හැඳින්විය හැකිය. එමෙන්ම මහනුවර දළදා මාලිගාව අසල පිහිටි පීසා හට් අවන්හලද එලෙස ආබාධිත තරුණ තරුණියන් මෙහෙයවන අවන්හලක් ලෙස පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ලොව පුරා ඇති පීසා හට් අවන්හල් අතරින් ආබාධිත තරුණ තරුණියන් පමණක් මෙහෙයවන අවන්හල් ත්රිත්වය ලෙසින් ඉදිරියේදී මෙම ශාඛා තුන හැඳින්විය හැකිය. මෙම අවන්හල්වල සිටින කළමනාකරුවන් පමණක් සාමාන්ය සේවකයන් වන අතර අන් සියල්ලෝම කථනාබාධිත සේවකයෝ වෙති.
“ඉදිරි වසර තුන ඇතුළත අපගේ සමස්ත සේවක සංඛ්යාවෙන් සියයට දහයක් ආබාධිත අය වෙනුවෙන් ලබා දෙන්න සූදානමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේදී තවත් ආබාධිත පුද්ගලයන් පිරිසකට සේවය ලබාදීමට හැකිවේවි. මේ වන විටත් මෙහි සේවය කරන දරුවන්ගේ සේවය අතරතුරේදී ඔවුන්ට අනිත් පුද්ගලයන් පුහුණු කිරීමේ කටයුතු වගේම මෙයින් කිහිප දෙනකුට වැඩමුර කළමනාකරුවන් ලෙසින් උසස්වීම් ලබාදීමටත් කටයුතු සූදානම් කරමින් සිටිනවා. අපගේ බොහෝ ආයතනවල සේවක නවාතැන් පහසුකම් තියෙනවා. ඒ අනුව ඔවුන්ට එම නවාතැන්වල නතර වී සේවයට වාර්තා කිරීමේ හැකියාව පවතිනවා. මේ වෙද්දි තිඹිරිගස්යාය අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ප්රතිචාර ලැබෙමින් පවතිනවා. පැමිණෙන පාරිභෝගිකයන් මෙම සේවකයන් හරහා ජීවිතේ වෙනත් පැතිකඩක් දකිනවා. කිසිම මොහොතක මෙම ආබාධිත සේවකයන්ට රැකියා ලබාදීම අපගේ ආයතනයේ කීර්තිය වැඩිකර ගන්නවත්, ප්රසිද්ධියේ වැඩිකර ගන්නවත් ආයුධයක් කර ගන්නෙ නැහැ. තිඹිරිගස්යාය ශාඛාවද අනෙක් ඕනෑම පීසා හට් අවන්හල් ශාඛාවක් හා සමානයි. නමුත් ඇතුළත් වන ස්ථානයේ කථනාබාධ ඇති සේවකයන් සේවය කරන ආයතනයක් බවට දැන්වීමක් සඳහන් කර තිබෙනවා. කිසිම මොහොතක ඔවුන්ගේ ආබාධය අපගේ ආයතන ප්රචාරක දැන්වීමක් කර ගන්නෙ නැහැ. ඇතැම් පාරිභෝගිකයන් තම දරුවන් සමඟ තිඹිරිගස්යාය අවන්හලට පැමිණ ජීවිතයේ අලුත් පැතිකඩක් ගැන තම දරුවන්ට කියා දෙනවා. කිසිම මොහොතක මෙම සේවක සේවිකාවන්ට අපි අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.” යැයි කෞෂල්ය මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසීය.
කථනාබාධ සහිත පාරිභෝගිකයන් බොහොමයක් තිඹිරිගස්යාය පීසා හට් අවන්හලට පැමිණ මෙම සේවකයන් සමඟ ඔවුන්ගේ සුපුරුදු හස්ත සංඥාවෙන් කතාබහ කරන අන්දම දැකගත හැකිය. තමන් වැනි ආබාධිත කෙනකුට මෙලෙස රැකියාවක් ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ විශාල සතුටකි. මෙය සමාජයට පණිවුඩයකි. පසුගිය වසර තුන තුළ ඇතැම් පෞද්ගලික ආයතන මේ සම්බන්ධයෙන් අවන්හලේ ඉහළ නිලධාරීන් හා කතාබහ කොට මෙයින් ඇතිවී තිබෙන අභියෝග, ජයග්රහණ පිළිබඳ සොයා බලා තිබේ. ඒ අනුව මෙවැනි කෙනකුට වෙනත් ආයතනවලින් ද රුකියා ලබාදීමේ මාර්ගය පෙන්වා දීමට මෙයින් හැකිව තිබේ. ඉදිරියේදී සති අන්තයේදී තෝරාගත් පීසා හට් අවන්හල්වලින් පාරිභෝගිකයන්ට සංඥා භාෂාව පිළිබඳව නොමිලේ පුහුණුවක් ලබාදීමට ද සූදානම්ය.
“තිඹිරිගස්යාය අවන්හලේ කථනාබාධ ඇති සේවකයන් සේවයේ නිරත වෙනවා. මීට අවුරුදු දෙකකට පෙර සමාජ සේවා දෙපාර්තමේන්තුව හා ගම්පහ දිස්ත්රික්කයේ අමුණකුඹුර වෘත්තීය පුහුණු මධ්යස්ථානය එක්ව ආබාධිත පිරිස් සඳහා වෘත්තීය පුහුණු මධ්යස්ථානයක් ආරම්භ කළා. එමගින් ආබාධිත සහිත පුද්ගලයන්ට වෘත්තීය පුහුණුව ලබා දී රුකියා ලබාදීමටත් ස්වයංරැකියා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මෙවැනි වෘත්තීය පුහුණු මධ්යස්ථාන පහක් පමණ ආබාධිතයන් වෙනුවෙන් වෙන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ වනවිට කථනාබාධිතයන් බඳවාගෙන ඇත්තේ රත්මලාන අන්ධ ගොළු බිහිරි පාසලෙනි. නමුත් ඉදිරියේදී දිවයින පුරා විසිරී සිටින කථනාබාධ සහිත පුද්ගලයන්ටද පීසා හට් අවන්හල හා එක්ව තම ජීවිතය ජය ගන්නට හැකියාව පවතී. හොඳ වැටුපක් මෙන්ම තම ආබාධිත තත්ත්වය අමතක කොට ජීවිතය ජයගන්නට වෙර දරණ තරුණ තරුණියන්ට මෙය කදිම අවස්ථාවකි. මොවුන් සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනම කමිටුවක් පීසා හට් අවන්හල් ජාලය සතුව පවතී.
දුරකථන: 077 3787644 - රහල්, 076 9886984 - තමින්ද
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරෑ - සුමුදු හේවාපතිරණ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...