Tuesday, 8 March 2022


අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්රී ලංකා මහ බැංකුව ඊයේ (07) පියවර ගත්තේය.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක් සඳහා වන විදේශ විනිමය අගය රුපියල් 230 දක්වා අවප්රමාණය කර තිබේ.
ගෙවුණු මාස කිහිපයේ ශ්රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්රී ලංකා මහ බැංකුව අමෙරිකානු ඩොලරයක මෙරට හුවමාරු වටිනාකම රුපියල් 202.99 ක අගයක පවත්වා ගෙන ගියේය.
නමුත් උන්ඩියල් හා හවාලා ආදී අවිධිමත් ක්රමවේද හරහා ඩොලරය ඊට වඩා බොහෝසෙයින් ඉහළ වටිනාකම්වලට හුවමාරු වී තිබුණි.
මෙවන් පසුබිමක අමෙරිකානු ඩොලරයක් සඳහා වන විනිමය හුවමාරු වටිනාකම රුපියල් 230 දක්වා නම්යශීලි කිරීමට මහ බැංකුව ඊයේ තීරණය කළේය.
බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථීකයේ මෑත කාලීන ප්රවණතා සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව පුළුල් ප්රතිපත්ති මාලාවක් ප්රකාශයට පත්කර ඇති අතර විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීම සඳහා වෙළඳපොළට ඉඩ සැලසීමේ අරමුණින් මෙම තීරණය ගත් බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.
ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"ආනයනය කරන භාණ්ඩවල මිල වැඩිවෙනවාමයි. ඒ අවධානම අරගෙන තමයි මේ තීරණය ගත්තේ."
ඒ අනුව අද දින ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව අමෙරිකානු ඩොලර් එකක මෙරට ගැනුම් මිල සටහන්ව තිබුනේ රුපියල් 225.20 ක් ලෙසය.
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 229.99 ක් ලෙස දැක්වුණි.
පවතින මෙම තත්ත්වය හමුවේ වැඩි වශයෙන් ඩොලර් සපයාගැනීම සඳහා විගමනික ශ්රමිකයින් විසින් මෙරටට ප්රේෂණය කරනු ලබන අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට දැනට ගෙවන රුපියල් 10 දිරි දීමනාව රුපියල් 38 දක්වා වැඩිකිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
කෙසේවෙතත් ශ්රී ලංකා මහ බැංකුව ප්රමුඛව ගත් මේ සියලු ක්රියාමාර්ග නිෂ්ඵල බවට පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
"මේක 230 නවතින්නේ නෑ. හේතුව මෙය වෙළෙඳපොළ විසින් තීරණය කරපු අනුපාතයක් නෙමෙයි. ඉන්දිය ණය දෙන්න නම් රුපියල අවප්රමාණය කරන්න කියලා කියපු නිසා තමයි මේ තීරණය ගත්තේ."
ඒ අනුව කොළඹ විනිමය හුවමාරු මධ්යස්ථානවල, ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශයට පත් කළ නව හුවමාරු අනුපාතිකයන්ට අනුව ගනුදෙනු සිදුවන්නේදැයි අද දෙරණ සොයාබැලීය.
එහිදී අනාවරණ වූයේ අද දින අනුපාතික සංශෝධනය කර ඇති පසුබිමක වුවත් අමෙරිකානු ඩොලරයක හුවමාරු වටිනාකම රුපියල් 249 - 251 ත් අතර අගයක පවතින බවය.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට 2022 පෙබරවාරි මාසයේ මෙරට නිල විදේශ සංචිතය ඩොලර් මිලියන 2,314 ක් ලෙස පවත්වා ගෙන ගොස් තිබේ.
එයින් ඩොලර් මිලියන 2,025 ක් විදේශ විනිමය ලෙස පවතින අතර මෙරට රත්රං සංචිතය පවතින්නේ අමෙරිකානු ඩොලර් මිලියන 98ක් ලෙසය.
මෙවන් පසුබිමක සමස්ත ආර්ථිකය කළමනාකරණය සඳහා ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ජනපතිවරයා සභාපතීත්වය හොබවන මෙම ආර්ථික සභාව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ, වෙළෙඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු පිරිසගෙන් සමන්විතය.
මේ අතර මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස අග භාගයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවන බවද වාර්තා වෙයි.
ඉන්දීය විදේශ අමාත්ය එස්. ජයශංකර් මහතා සමඟ පැවති දුරකථන සංවාදයකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇතැයි ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ටිව්ටර් සටහනක සඳහන් ය.
ශ්රී ලංකාව ඉන්ධන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් සහ අත්යවශ්ය භාණ්ඩ වෙනුවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ඉන්දියාවෙන් සපයාගැනීමට අපේක්ෂිතය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...