Sunday, 27 March 2022


 පසුගිය 07දා මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රුපියලට පාවීමට ඉඩ සලසමින් විනිමය අනුපාතිකය ඉහළ නම්‍යශීලීත්වයක් සහිතව ගනුදෙනු කිරීමට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉඩ සලසා තිබේ. එදින සිට විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 230ක මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බව මුලදී සඳහන් කර තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් දේශීය හා විදේශීය විනිමය වෙළෙඳපොළේ ප්‍රවණතාව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් සිදු කරනු ඇති බව දැක්වේ.


බාහිර කම්පනවල දැඩි බව හා දේශීය ආර්ථිකයේ මෑතකාලීන ප්‍රවණතා සැලකිල්ලට ගෙන එවැනි ආර්ථික තත්ත්වයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මාර්තු 04 දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කර තිබේ. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික හා මුල්‍ය වෙළෙඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවද නිවේදනය කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ උද්ධමනය, රුපියලේ විදේශ අගය හා මුල්‍ය අංශයේ ස්ථායිතාව ළඟා කර ගැනීමේ අරමුණෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා සූදානම්ව සිටින බවය.


ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණය පරිදි පසුගිය 8දා සිට රුපියල පාවීමට ඉඩ සැලසුවද පසු අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකිණුම් මිල 229.90ක් වූ අතර ගැනුම් මිල වූයේ රුපියල් 225.20කි.


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් කබ්රාල් මේ අවස්ථාවේ පැවසුවේ මහ බැංකුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙම මට්ටමේ පවත්වා ගැනීමට මින් ඉදිරියට කටයුතු කරනු ඇති බවය.


එසේ වුවද එම ප්‍රයත්නය පරාජය කරමින් රුපියල තවදුරටත් දුර්වල වූ අතර පසුගිය 10දා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාත අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 259.99ක් බවට පත්විය. එදා සිට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වැඩි කොටස ඩොලරය සමඟ කරන ගනුදෙනුවලදී රුපියල් 260ක් ගෙවීමට පටන් ගත්තේය. රුපියල පාවීමට ඉඩ දීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළ පසු ඉතිහාසයේ රුපියල වැඩිම ප්‍රමාණයකින් පහළ වැටුණු මුල් අවස්ථාව මෙය බව දේශීය හා විදේශීය ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.


නව රජය බලයට පත්වූ පසු මෙම වසරේ මුල දක්වාම ඩොලරයේ විකිණුම් මිල රුපියල් 202.99 මට්ටමක පවත්වාගෙන යාමට යම් පියවර ගැනීමට කටයුතු කර තිබුණි. එසේ වුවද එය සාර්ථක නොවූයේ පිටත ඩොලරයේ කළුකඩ මිලක් ඇතිවී එය රුපියල් 260 ඉක්මවා යාමට සිදුවු නිසාය. ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් ඉදිරිපත් නොකර ඉන් පිටත ගනුදෙනු කිරීමෙන් විශාල ආදායමක් ලබාගත හැකිවූ නිසා මහ බැංකුව ඩොලරයට පැනවූ නාමික වටිනාකම පුස්සක් බවට පත්විය. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබිය යුතු විදේශ ප්‍රේෂණ මෙන්ම ආයෝජන හා අපනයන ආදායම්ද පිටතට ගලා යාමට සිදුවූ නිසා මහ බැංකුව ඩොලර් අර්බුදයකට මුහුණ දුන්නේය. තමන් සමඟ ගනුදෙනුකරුවන්ට වැඩිපුර රුපියල් 10ක් දෙන බවට මහ බැංකුව නිවේදනය කළද එයින් ප්‍රතිඵලයක් ලැබුණේ නැත. වැඩිදෙනා පෞද්ගලික ගැනුම්කරුවන් දෙසට ඇදී ගියහ.


මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ආනයන සඳහා ගෙවීමට රජයට මුදල් නොමැති වූ අතර වරායට ගෙනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 2000 පමණ ප්‍රමාද ගාස්තු ගෙවමින් රඳවාගෙන සිටීමට සිදුව තිබිණ. මේ හේතුවෙන් රට තුළ භාණ්ඩ හිඟයක් ඇතිවූ අතර මිල මට්ටම ඉතා විශාල ලෙස ඉහළ නැගිණි.


රටේ පවතින ආර්ථික අර්බුදය හා ඩොලර් හිඟය සමනය කිරීම සඳහා රුපියලට පාවීමට ඉඩ දෙන ලෙස ආර්ථික විශේෂඥයන් රජයෙන් දැඩිව ඉල්ලා සිටියද, සිය ප්‍රතිපත්තිමය තීන්දුව ආරක්ෂා කර ගනිමින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම 202.99 ලෙස ස්ථාවරව තබාගැනීමට මහ බැංකුව මුලදී කටයුතු කළේය. එහෙත් පසුගිය 7දා තම දැඩි ස්ථාවරභාවය වෙනස් කිරීමට මහ බැංකුවට සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස බලාපොරොත්තු නොවූ පරිදි රුපියලේ විදේශ අගය පහළ වැටුණි. දියේ තද කරගෙන සිටි රබර් බෝලයක් අතහැරී කලක මෙන් එකවරම දැඩි පිම්මක් පැනීම සිදුවිය. දැන් රජයට සිදුව ඇත්තේ එම අභියෝගයට මුහුණ දෙමින් ආර්ථිකය කලමනාකරණය කිරීමට උත්සාහ කිරීමටය. එහෙත් මේ දක්වා රජය ගත් පියවරවලින් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිව නැති බව පෙනේ.


මෙතෙක් කල් රජය අනුගමනය කළේ විදේශ සංචිත භාවිත කර අමෙරිකන් ඩොලරයේ වටිනාකම රුපියල් 203 මට්ටමේ තබා ගැනීමටය. එසේ වුවද එම මිලට වෙළෙඳපොළේ අමෙරිකන් ඩොලරයක් මිලට ගැනීමට හැකිවූයේ නැත. මෙම තීරණය මත සිදුවූ වරද නම් එම අගය මත පදනම්ව ඛනිජ තෙල් ආදී ප්‍රධාන ආනයනවල මිල තීරණය වීමය. ඒ මෙහිදී සිදුවූයේ ආනයන වැය විශාල ලෙස වැඩිවීමය.


මේ පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසන්නේ අද පවතින අර්බුදකාරී අවස්ථාවේදී ආනයනය කරන භාණ්ඩවල මිල මෙමගින් ඉහළ දැමීමෙන් යම් අමෙරිකන් ඩොලර් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවය. ඔහු පවසන්නේ විනිමය අනුපාතය කෘත්‍රිම ලෙස පාලනය කිරීම අසාර්ථක වන අතර එය ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ දීම සුදුසු බවය. ඩොලරයේ අගය ඉහළ දැමීම නිසා ආනයන වියදම අඩුකිරීමට හැකි බව ඔහු කියයි. මෙතෙක් කල් ආණ්ඩුව සිදු කළේ විදේශ සංචිත යෙදවීම මගින් අමෙරිකානු ඩොලරයේ රුපියල් වටිනාකම රුපියල් 203 ලෙස තබා ගැනීමය. එහෙත් එම මුදලට විවෘත වෙළෙඳපොළේ ඩොලරයක් ලබාගැනීමට නොහැකිය. ඒ නිසා මෙම නව තීරණය වඩාත් පාරදෘශ්‍ය වන අතර, අපේ බැංකු පද්ධතිය සමඟ ගනුදෙනු කිරීමට ඩොලර් භාවිත කරන අය උනන්දු වනවා ඇත.


උද්ධමනය ඉහළ යාම, සෙසු භාණ්ඩවල මිල ඉහළ යාම වැනි හේතු නිසා විනිමය වෙළෙඳපොළට නිදහසේ කටයුතු කිරීමට දීමෙන් ආණ්ඩුවට දුෂ්කරතා ඇතිවන බව පිළිගත යුතුය. එසේ වුවද විදේශ විනිමය අනුපාත නිදහසේ තීරණය වීමට ඉඩ නොදෙන තාක් ආනයනය අඩු කළ හැකි නොවේ. ඛනිජ තෙල් ආනයනය අත්‍යාවශ්‍ය වන අතර තෙල් මිල ඉහළ දැමීම රටේ සෑම භාණ්ඩයක් හා සේවයක් කෙරෙහිම බලපායි. රටේ ඉන්ධන අර්බුදයක් තිබෙන විට පවා විශාල තදබදයක් ඇතිවන ආකාරයට වාහන කන්දරාවක් පාරවල ගමන් කරනවා දැකගත හැකි වේ. මේවා බොහෝවිට තනි පුද්ගලයන් ප්‍රවාහනය කරන වාහන වේ. එබැවින් ඉන්ධන මිල ඉහළ දමා පොදු ප්‍රවාහනයට ජනතාව උනන්දු කරවීම වැදගත්ය. එයින් ඛනිජ තෙල් සඳහා කරන විශාල වියදම අඩුකරගත හැකිය.


උණ්ඩියල් සහ හවාලා වැනි අවිධිමත් ක්‍රමවලට මුදල් ගනුදෙනු කිරීම අද මුළු ලොවටම ප්‍රචලිත වී ඇත. එවැනි අවස්ථාවල විශේෂ දිරිගැන්වීම් ගෙවීමෙන් එම තත්ත්වය වළකාලිය නොහැකිය. ඒ නිසා ඩොලරයේ ගැනුම් හා විකිණුම් මිල ස්වභාවික ලෙස තීරණය වීමට ඉඩ දීම සාර්ථක පියවරක් වෙයි. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම වර්ධනය කිරීමටද මෙමගින් හැකි වෙනවා ඇත.


ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ රුපියලේ විදේශ අගය පාකිරීම නිවැරදි තීන්දුවක් නමුත් එය සිදු කළ අවස්ථාව පිළිබඳ ගැටලු පවතින බවය. මෙම තීරණය කලින් ගත්තා නම් රටට ඩොලර් කෝටි 500ක පමණ මුදලක් ඉතිරි කරගත හැකිව තිබූ බව ඔහු කියයි. අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 202 ලෙස බලහත්කාරයෙන් ස්ථාවර කරගෙන සිටීම නිසා ආණ්ඩුව ඒ කාලයට ඩොලර් කෝටි 500කට අධික පාඩුවක් ලැබූ බව ඔහු කියයි.


''රුපියල පාකර හැරීමේ තීන්දුව 2020 වසරේ මුල සිට කළ යුතුව තිබුණු දෙයක්. එහෙත් එය ප්‍රමාද කිරීම නිසා මේ ඩොලර් කෝටි 500 අහිමිවීම සිදුවුණා. ඩොලරයේ විකිණුම් මිල ස්ථාවරව තබාගැනීමට නම් වෙළෙඳපොළේ මිල ඉහළ යන සැමවිටම එය පාලනය කිරීමට මහ බැංකුවට ඩොලර් වියදම් කිරීමට සිදුවෙනවා. එසේ කරමින් වසර දෙකක් තිස්සේ ඩොලර් කෝටි 500කට අධික ප්‍රමාණයක් අහිමි කරගෙන තියෙනවා. ඩොලරයේ මිල ඉහළ යාම නිසා භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුවුවද, මේ වනවිට ආනයනකරුවන් භාණ්ඩ මිල තීරණය කරනුයේ ඩොලරයේ මිල රුපියල් 260 මට්ටමට ගැලපීම් කරමින්. ඒ නිසා වුවමනාවෙන් පහළ හෙලුවා යැයි සිදුවන යහපතක් නැහැ. එය නමට පමණයි.


මහ බැංකුව ඩොලරයේ මිල රුපියල් 202 මට්ටමට තබාගෙන සිටි කාලයේදී ආනයනකරුවන්ට මහ බැංකුවෙන් ඩොලර් නොලැබුණු නිසා කළුකඩෙන් රුපියල් 260කට ඩොලර් ගෙන භාණ්ඩ නිදහස් කර ගත්තා. ඒවායේ මිල තීරණය වූයේ ඒ මත පිහිටලයි. ඒ නිසා ඩොලරයේ රුපියල් අගය බලහත්කාරයෙන් පාලනය කිරීම අසාර්ථක පියවරක් බව පෙනෙනවා. අපි ඒ දිනවල කොතරම් මෙහි අසාර්ථකභාවය පැවසුවත් පිළිගත්තේ නැහැ. දැන් ප්‍රමාදවෙලා හරි අපි පැවසූ දේ කර තිබෙනවා.''

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ මහ බැංකුව නිසි වෙලාවට රුපියල පාවීමට සලස්වා ඇති බවය. ඒ පිළිබඳ විවේචන කරන අය වගකීම භාර නොගෙන මාධ්‍යවලට විවිධ ප්‍රකාශ කර සැඟවී සිටින බව ඔහු කියයි.


''ඒ අය තමා දීර්ඝ කාලයක සිට රුපියල මුදාහරින්න කියලා හඬ නැගුවේ. දැන් අපි එය කරලා තියෙනවා. එතැනදි සිදුවන ප්‍රතිවිපාකවලට අප මුහුණ දිය යුතුයි. මේ අයම තමා මෙයට ඉස්සර විදේශ ණය ගෙවීම නවත්වන්න කියලා හඬ නැගුවේ. ඒත් එහෙම ණය ගෙවීම නැවැත්වුවා නම් ඇතිවන ජාත්‍යන්තර ප්‍රතිවිපාකවලට බලපෑම් කරන්නේ කවුද? හැමදේටම වැරදියි කියන මෙම අන්තවාදී සෙල්ලම නවත්වන්න ඕනෑ.


අපි නිසි අවස්ථාවේ නිසි වෙලාවටයි රුපියල පාකිරීම පිළිබඳ තීරණය ගත්තේ. එයට පෙර වුණත් කරන්න තිබුණා. ඒත් මෙයට වසරකට දෙකකට පෙර කළා නම් මොකක්ද සිදු වෙන්නේ. පසුගිය අවුරුදු දෙක තුළ කොවිඩ්-19 රැල්ල උත්සන්න වෙලා තිබුණේ. රැකියා ස්ථාන වසලා තිබුණා. ජනතාවට රැකියා අහිමිවෙලා. ජීවන ගැටලු උපරිමයට පත්වෙලා තිබුණා. සැමදෙනාගේම අවධානය යොමුවෙලා තිබුණේ කොවිඩ් වසංගතය දුරු කිරීමටයි. එවැනි අවස්ථාවක රුපියල පාකර හැරියා නම් ලැබෙන ප්‍රතිඵලවලට වග කියන්නේ කවුද?


අපි දැනගෙන සිටියා පාලනය කරගෙන තිබුණු රුපියලේ විදේශ අගය අතහැරියාට පසු සිදුවන දේ. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන බව අපි නොදැන සිටියා නෙමෙයි. දැන් එය සිදුවෙලා තිබෙනවා. රටේ ජනතාව පීඩනයකට පත්ව සිටින විට ඒ බව නොසලකා මහ බැංකුව තීරණ ගත්තා නම් විශාල ලෙස විවේචනවලට ලක්වෙන්නට තිබුණා. ආණ්ඩුවටත් එය ගැටලු සහගත වෙනවා. ඒ නිසා අපි හැකිතාක් රුපියල පාලනය කරමින් රට ස්වභාවික වනතුරු සිටලා සුදුසු අවස්ථාවේ මුදාහැරියා. එහෙම නැතිව හදිසියේ කළා නම් රුපියල පාලනය කිරීම සඳහා වැය කරන්නට සිදුවූ ඩොලර්වලට වඩා හානියක් සිදුවෙනවා. ඒ ගැන අපට නිසි අවබෝධයක් තිබෙනවා.''


මෙවර රුපියල 229.99ට තැබූ විට ඉන් එහාට අවප්‍රමාණ නොවේ යැයි මහ බැංකුව ප්‍රකාශ කළත් ඉතා ශීඝ්‍රයෙන් ඊට පසු රුපියල දුර්වල වූවා නොවේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසුවේය.


''අපි පැවසුවේ නැහැ එතැනම නවතීවි කියලා. අපි පැවසුවේ එම අවස්ථාවේ එතැන නැවතිය යුතුය කියලයි. ඊට පසුවත් පාලනය අතහැරි විට යළිත් වැඩි වුණා. එය බලාපොරොත්තු විය යුත්තක්. කෙසේ වුවත් රුපියල නම්‍යශීලී කළාට පසු අවප්‍රමාණ වීම වැඩිවෙලා ආපසු අඩු වෙනවා. දිගටම එම මට්ටමේ තියෙන්නේ නැහැ. ඕනෑම භාණ්ඩයක පාලනය ඉවත් කළ විට සිදුවන්නේ එයයි. එකවරම මිල ඉහළ ගිහින් එක්තරා මට්ටමකදී යළි පහළ බසිනවා. රුපියලටත් එහෙම තමා වෙන්නේ. එය ඉදිරියේදී බලාගන්න පුළුවන්. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමෙන් ජනතාවට සිදුවන හිරිහැරය තාවකාලිකයි. නුදුරු අනාගතයේදී මෙම තත්ත්වය නිවැරදි වේවි.''


යසවර්ධන රුද්රිගූ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...