පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් එම වකවානුවේ ආරක්ෂක අමාත්යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වගකිවයුතු බව ශ්රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අද (16) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ප්රකාශ කළේය.
ඔහු සඳහන් කළේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්රියාමාර්ග නොගැනීම මෙරට ජාතික ආරක්ෂාවේ දැවැන්ත බිඳ වැටීමක් බවය.
ඒ අනුව ඊට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වගකිවයුතු බව සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට ක්රියාමාර්ග නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කරතිබූ ශ්රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙනිය, මුර්දු ප්රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය තුන් වන දිනටත් අද පැවැත්වුණි.
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ප්රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳව කාදිනල් හිමියන් දැනුම්වත් කර තිබුණේ නම් පාස්කු දින දේවමෙහෙයන් අවලංගු කර මෙම විනාශය වළක්වා ගත හැකිව තිබූ බවද සඳහන් කළේය.
මෙම ප්රහාරයේ වගකීම හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මත පමණක් පැටවීමට උත්සාහ දරා ඇති බව චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඇතුළු සියලු බලධාරීන් වගකිවයුතු බවද සඳහන් කළේය.
මෙම ප්රහාරය එල්ල කළ සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන් ගේ නම්, ලිපින, ජාතික හැඳුනුම්පත් අංක, ඔවුන් ගැවසෙන ස්ථාන ඇතුළු සියලු තොරතුරු බුද්ධි අංශ වාර්තා මගින් බලධාරීන්ව දැනුවත් කර තිබූ බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් පෙන්වා දී තිබුණි.
එවක අගමැති රනිල් වික්රමසිංහ මහතා ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට නොකැඳවීම නිදහසට කරුණක් නොවන බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා එම මණ්ඩලයේ සාමාජිකයකු වූ තමා එහි රැස්වීම්වලට නොකැඳවීම සම්බන්ධයෙන් අගමැතිවරයා වශයෙන් පියවරක් ගත යුතුව තිබූ බවද වැඩිදුරටත් පෙන්වා දී ඇත.
අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 18 වනදා තෙක් කල් දැමුණි.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්රමසිංහ, එවකට සිටි කැබිනට් මණ්ඩලය සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.
No comments:
Post a Comment