Thursday, 10 March 2022


අමෙරිකානු නිල ඇස්තමේන්තු අනුව රුසියා - යුක්‍රේන යුද්ධයේ පළමු සති දෙක තුළ මිය ගිය රුසියානුවන් සංඛ්‍යාව 5,000 ත් 6,000 ත් අතර අගයක් ගන්නා බවට අනාවරණය වී තිබේ.

එමෙන් ම තුවාල ලැබූ රුසියානු භටයින්ගේ සංඛ්‍යාව 15,000 සිට 18,000 දක්වා වනු ඇතැයි ගණන් බලා ඇති අතර තුවාලකරුවන්ගේ අනුපාතය මිය ගිය අයගේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වනු ඇතැයි උපකල්පනය කරන බව ද එම නිලධාරීන් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, යුක්‍රේනය ප්‍රකාශ කර ඇත්තේ , රුසියානු සොල්දාදුවන් 12,000 ක් සටන්වලින් මිය ගිය බව ය.

මේ අතර, යුක්‍රේනයේ දී සිය හමුදා භටයින් මියගොස් ඇත්තේ 500 කට අඩු සංඛ්‍යාවක් යැයි පසුගිය සතියේ රුසියාව ප්‍රකාශ කර තිබිණි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ , යුක්‍රේන යුද්ධය ආරම්භ වී එහි තුන් වන සතිය ගතවෙමින් පවතින විට නැවත වරක් යුක්‍රේන්න කියෙව් අගනුවරට තවමත් ප්‍රහාර එල්ල වෙමින් පවතින බව ය.

මේ අතර රුසියාව ඉදිරි දිනවලදි යුක්‍රේන සිවිල් වැසියන්ට එරෙහිව රසායනික අවි ප්‍රහාරවලට යොමු විය හැකි බවට ධවල මන්දිර නිලධාරීන් අනතුරු අඟවා ඇත.

රුසියාවේ පාලනය යටතේ පවතින යුක්‍රේනයේ වනොබිල් න්‍යෂ්ටික බලාගාරයේ කාන්දුවක් සිදුවිය හැකි බවට ද එරට රාජ්‍ය න්‍යෂ්ටික බලාගාර සමාගමක් වන Energoatom සමාගම පවසා තිබිණ.

එම සමාගම සඳහන් කර ඇත්තේ, මේ වන විට බලාගාරයේ පවත්නා තත්ත්වය අනුව විකිරණ කාන්දු වීමේ අවදානමක් පවතින බව ය.

තව ද, යුක්‍රේනයේ මරියුසෝල් නගරයේ රෝහලක මාතෘ හා ළමා වාට්ටු විනාශ කරමින් රුසියාව බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර එය යුද්ධ අපරාධයක් බවට යුක්‍රේන ජනාධිපති සෙලෙකි ප්‍රකාශ කර ඇත.

මේ අතර, අද (මාර්තු 10) දින ඇන්ටාලියා නගරයේදි රුසියාවේ සහ යුක්‍රේනයේ විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ඔවුන් තුර්කියට පැමිණ ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්ත කර තිබේ.



කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...