Monday, 28 March 2022


හදවත සනසන ඔසු අතර දෙළුම් විශේෂ තැනක් ගනී. ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙස වැදගත් වන දෙළුම් ජීවිතයේ අවසාන මොහොතේ පවා පණ රැක ගැනීමට පෙවිය හැකි යුෂ වර්ගයකි. ශ්රී ලංකාවේ උෂ්ණ හා වියළි කලාපයේ හොඳින් වැවෙන අතර, අනෙක් ප්රදේශවල ද දැක ගත හැකිය. දෙළුම් ශාකය ගෙවතු වගාව සඳහා භාවිතා කළ හැකි ශාකයක් මෙන්ම ආර්ථික වටිනාකමක් ඇති ශාකයකි. මීටර දෙකක් තුනක් දක්වා උසට වැවෙන පඳුරු ස්වභාවයක් ගනී. එහි රතු පැහැති මල් දැකුම්කළුය. රතු කහ පැහැති වෘත්තාකාර පලතුරකි. බීජ විශාල ප්රමාණයක් ඇති මෙම ශාකයේ රතු රෝස මාංසලමය බීජාවරණය ඉතාමත් රසවත්ය.

ආඩිම, ලෝහිත, පුස්ප, රක්ත බීජ සහ දන්ත බීජ යන සංස්කෘත නාමවලින් හඳුන්වන දෙළුම් විටමින් සී, බී සහ ඩී වලින් පෝෂිතය. හෘදයට හිතකර පලතුරකි. එමෙන්ම මොළයට ද හිතකරය. කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා දෙළුම් යුෂ පානයට දෙයි. දියවැඩියාව දුරලීමේ මහඟු හැකියාවක් මෙම යුෂවලට තිබේ. ආහාර රුචිය හා බඩගිනි ඇති කරන, පිපාසය සංසිඳුවන ඉතා රසවත් මෙම යුෂ කුඩා මෙන්ම වැඩිහිටියන්ට ද හිතකරය. මිහිරි රසැති, මිහිරි මෙන්ම ඇඹුල් රසැති, ඇඹුල් රස තුන් වර්ගයක් ලෙස දෙළුම් දැකිය හැකිය. මිහිරි රසැති ගෙඩි තුන්දොස්ම සමනය කරයි. ඇඹුල් මිහිරි ගෙඩි සෙම හා වාතය ද සමනය කරයි.
දෙළුම් ඵලයේ පොත්තෙන් සාදා ගන්නා කසායේ ඉදිමුම් නසන, තුවාල සුව කිරීමේ ගුණය ඇති නිසා කටේ ඇති වන තුවාල සහ ශරීරයේ ඇති වන තුවාල සේදීම සඳහා යොදා ගනියි. පත්ර තැම්බූ ජලයෙන් ඇස් සේදීමෙන් අක්ෂි රෝග සමනය කෙරේ. ඇස් රතු වීම, ඇසේ හටගන්නා නගන, දෙළුම් පත්ර තැම්බූ ජලයෙන් මඳ උණුසුමින් තැවීමෙන් සහනයක් සලසා ගත හැකිය.
මස්තිෂ්ක බලකාරක නිසා මොළයේ හටගන්නා දුර්වලතා නිසා කුඩා ළමුන්ගේ මන්ද මානසික තත්ත්වයන් වලදී ද භාවිත කළ හැකිය. අම්ල පිත්ත සහ අර්ශස් රෝග වලදී මෙහි පොතු තැම්බූ ජලය භාවිත කරයි. ස්තම්බන ගුණය ඇති නිසා රක්ත අර්ශස් හෙවත් ගුද මගින් ලේ වහනය වන රෝගවලදී ඖෂධ ලෙස භාවිතා කරන අතර, ආහාරයක් ලෙස ද පලතුරු භාවිතා කළ හැකිය. ළමා කාලයේ දී හටගන්නා සෙම් රෝගවලට දෙළුම් මල් කැකුළු එළු කිරි සමඟ අඹරා ලේහ කිරීම හෙවත් දිවේ ගෑම සිදු කරයි. සෙම් රෝග සමනය ගුණය මෙන්ම සෙංගෙඩි වළක්වාගැනීමට පෙනහලුවල හටගන්නා ක්ශත හෙවත් තුවාලවල දී මෙම යුෂ පානයට දෙනු ලබයි.
මුත්ර කාරක ගුණය දෙළුම්වල ඇති නිසා මුත්ර දැවිලි රෝගවලදී ද හිතකරය. ශරීරයේ ප්රතිශක්තිය ඇති කිරීමේ හැකියාව නිසා දුර්වල වයස්ගත එක්තැන් වූ පුද්ගලයන්ට දිය හැකි ඖෂධීය ආහාරයකි. නාසයෙන් ලේ ගලන විට දෙළුම් යුෂ නස්ය කිරීමට ද, අජීර්ණය හා කෑම අරුචිය ඇති විට දෙළුම් ලෙලි, කෙළිඳ පොතු හා තිරස්සවාලු තම්බා මී පැණි දමා පානය කිරීම ගුණදායක වේ. මුලේ පොතු තැම්බූ ජලය දීමෙන් පණුවන් නසී. පක්ෂාඝාතය හෙවත් අංශභාග රෝගීන්ගේ කථන අපහසුතා ඇති විට දෙළුම් ඉස්ම, මී පැණි, නස්නාරං ඉස්ම, තිප්පිලි කොටස් බාගයක්, කලුදුරු කොටස් එකත් කබලේ බැද කුඩු කර තේ හැඳි භාගයක ප්රමාණයක් මිශ්ර කර දිව මැදීම හා කෑමට දීමෙන් කතාව යථා තත්ත්වයට ගත හැකිය. නිතර ගර්භ ශ්රාව වන ස්ත්රීන්ට ද හිතකර පලතුරකි.

උපදෙස් - වෛද්ය ජී. සුචරිත සමරවීර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...