ලොව විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නා වන ෂේන් වෝර්න්ගේ අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව සිදුකිරීමට ඔස්ට්රේලියානු රජය තීරණය කර තිබේ.
තිදරු පියෙකු වන ෂේන් වෝර්න් ඊයේ තායිලන්තයේදී මියගියේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙනි.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 52කි.
වසර 15ක් දඟපන්දුවෙන් ක්රිකට් ලොව සිය ආධිපත්ය පැතිරූ මේ අසහාය පා දඟ පන්දු යවන්නා ඊයේ තායිලන්යේ නිවාඩු නිකේතනයක් තුළදී සිය ජීවන ගමනට සමුදී තිබුණි.
ඔහු මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණේ, සිය මිතුරන් තිදෙනෙකු සමග නිවාඩු නිකේතනයෙන් පිටතට යාමට සූදානම්ව සිටියදීය.
නියමිත වේලාවට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ කාමරය පරීක්ෂා කළ මිතුරන්ට දැකගත හැකිව තිබුණේ වෝන් සිහිසුන්ව කාමරය තුළ වැටී සිටින අයුරුය.
පසුව මිතුරන් සහ එහි කාර්ය මණ්ඩලය මිනිත්තු 20ක පමණ කාලයක් වෝර්න්ගේ දිවි බේරාගැනීමට කටයුතු කර තිබුණත් ඔහු කිසිදු ප්රතිචාරයක් දක්වා තිබුණේ නැත.
පසුව ඔහු ගිලන් රථයකින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි.
වෛද්යවරුන් වෝර්න්ගේ දිවි බේරාගැනීමට දැඩි සටනක නිරත වුවත්, සියලුදෙනා කම්පනයට පත් කරමින් සදහටම ඔහු දෑස් පියා ගත්තේ තවත් දැවැන්තයෙකුගේ ක්රිකට් යුගයක් නිමා කරමිනි.
වෛද්යවරු උපුටා දක්වන විදෙස් මාධ්ය වාර්තා කළේ, වෝර්න් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවය.
ෂේන් වෝර්න්ගේ මරණය සම්බන්ධයෙන් තායිලන්ත පොලීසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
තායිලන්තයේ පෞද්ගලික රෝහලක සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මේ අසහාය ක්රීඩකයාගේ දේහය මෙල්බර්න් නුවර වෙත රැගෙන යාමට නියමිතය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්ය ගෞරව සහිතව මෙල්බර්න් නුවරදී සිදුකිරීමට නියමිත අතර එය සිදුකෙරෙන දිනය මෙතෙක් ප්රකාශයට පත් කර නොමැත.
1992 දී ඉන්දියාවට එරෙහිව සිඩ්නි නුවරදී ටෙස්ට් ඉනිම ආරම්භ කරන වෝර්න් ක්රමයෙන් ලොව සාර්ථක පන්දු යවන්නෙකු බවට පත්විය.
ටෙස්ට් තරග 145කට සහභාගී වෙමින් ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්යාව 708කි.
ඕනෑම පිතිකරුවෙකු සිය පන්දුවෙන් දණගස්වන වෝර්න් සිය ජීවිතයේ හොඳම පන්දු යැවීම සනිටුහන් කළේ, 1994 දීය.
අළුබඳුන ටෙස්ට් ක්රිකට් තරගාවලියේ එංගලන්ත පිතිකරුවන් අටදෙනකු ක්රීඩාගාරයට හරවා යවනු ලැබුවේ, ලකුණු 71කට කඩුලු 8ක් දවා ගනිමිනි.
1993 පැවති අළුබඳුන තරගාවලියේදී එංගලන්ත පිතිකරු මයික් ගැටින් දවා ගැනීමට, ෂේන් වෝන් යැවූ පන්දුව එවක හඳුන්වනු ලැබුවේ සියවසේ පන්දුව ලෙසය.
පා දඟ පන්දුවෙන් ක්රිකට් ලොව කැළඹූ මෙම සුපිරි පන්දු යවන්නා ටෙස්ට් කඩුලු 700 සීමාව පසු කළ ලොව පළමු පන්දු යවන්නා බවට පවත්වන්නේ 2006 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහිවය.
පිතිකරුවන්ට දැඩි හිසරදක් වු වෝර්න් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර දෙවැනි වන්නේ ශ්රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණි.
වෝර්න් 1999 දී ක්රිකට් ලෝක කුසලානය දිනූ ඔස්ට්රේලියානු කණ්ඩායමේ ප්රබල සාමාජිකයෙකි.
එල්ල වූ තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් වෝර්න්ට 2003දී වසරක තරග තහනමක් පැනවෙන්නේ 2003 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ද අහිමි කරමිනි.
ක්රීඩා ලෝලීන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගත් වෝන් 2007 දී ජාත්යන්තර ක්රිකට් පිටියට සමුදෙන්නේ තම රට වෙනුවෙන් එක්දින තරග 194 ක් සහ ටෙස්ට් තරග 145ක් ක්රීඩා කොට ජයග්රහන රැසක් ගෙන දුන් විශිෂ්ටයෙකු ලෙසය.
ෂේන් වෝර්න් දවාගෙන ඇති එක්දින කඩුලු සංඛ්යාව 293කි.
ජාත්යන්තර ක්රිකට් පිටියට සමුදුන්නත් 2008 දී පළමු ඉන්දියන් ප්රිමියර් ලීග් කිරුළ දිනා දීමට වෝර්න් සමත්වන්නේ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නායකත්වය දෙමිනි.
වසර කිහිපයක් එම කණ්ඩායම නියෝජනය කළ වෝන් පසුව එම කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස තම සුවිශේෂී අත්දැකීම් තරුණ ක්රීඩකයින්ට බෙදාදෙනු ලැබීය.
සියලු ක්රිකට්වලින් ඉවත් වන මේ සුවිශේෂී පන්දු යවන්නා පසුව ක්රිකට් විස්තර විචාරයට ද එක්විය.
මේ සුපිරි පන්දු යවන්නා 2013 ICC ක්රිකට් ඉතිහාසයේ ශ්රේෂ්ඨතම ක්රීඩකයින් පස්දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වන්නේ, විස්ඩන් සඟරාව, නම් කළ 21 වන සියවසේ දක්ෂතම ක්රිකට් ක්රීඩකයෙකු ලෙසය.
ඇතැම් අවස්ථාවල ප්රතිවාදී ක්රීඩකයන් සමග ආවේගශීලිව හැසිරුණු වෝන් අවස්ථා කිහිපයකදී ශ්රී ලංකා හිටපු නායක අර්ජුණ රණතුංග සමඟද උණුසුම් වචන හුවමාරුවල නිරත වුණි.
වෝර්න් පිටියේ ආවේගශී වුවත් විටෙක හොඳ මිතුරෙකි. විටෙක හොඳ සමාජ සේවකයෙකි.
වරක් ඔහු ඔස්ට්රේලියාවේ ලැව් ගිනි මැඩ පැවැත්වීමට මූල්යමය දායකත්වයක් ලබාදෙන්නේ, තම ටෙස්ට් ක්රිකට් හිස්වැසුමද වෙන්දේසි කරමිනි.
මනුසත්කම ලොවට කියා පෑ මේ සුපිරි පන්දු යවන්නා 2004 සුනාමි ව්යයසනයේදී ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගනයට වූ හානිය සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත්වූ ක්රීඩකයෙකි.
වෝර්න් සිය 500 වන ටෙස්ට් කඩුල්ල දවා ගත් මේ ක්රීඩාංගණය ප්රතිස්කරණයට සහ සුනාමියෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමට ඉදිරිපත්වී තිබුණි.
දඟ පන්දුවෙන් ක්රිකට් පිටිය උඩුයටිකුරු කළ මේ අසහාය පා දඟ පන්දු යවන්නාගේ වික්රමයන් ක්රිකට් ලෝලීන් අතර සදා මතකයේ රැදෙනු ඇත.
No comments:
Post a Comment