”මට මතක් වන්නේ එවකට මහ බැංකු අධිපති ජයවර්ධනයන්, ළතැවිල්ලෙන් පසු වූ ජනපති චන්ද්රිකා මැතිනියගේ දුරකථන ඇමතුමකට පිළිතුරු දුන් ආකාරයයි, ඇයට දැනගැනීමට අවශ්ය වූයේ රුපියල පා කිරීම පිළිබඳ නිවේදනය ප්රකාශයට පත් කිරීම පමා කිරීමට හේතුවයි. මම ඒ මොහොතේ එම කාමරයේම සිටි අයෙක්මි. ඔහු ආත්ම විශ්වාසයෙන් යුතුව කියා සිටියේ, ‘ජනපතිනියනි, වාහනයේ තිරිංග නිවැරදිව වැඩ කරනවාද යන්න සොයා නොබලා වාහනය පාරට දැමිය නොහැකියි, මුලින්ම ඒවා නිසි ආකාරයට වැඩ කරන බවට මම ඔප්පු කර ගත යුතුයි’ යන්නයි. වෙනත් අයුරකින් කියන්නේ නම් සැලසුම වැරදුණොත් අක්රමික ලෙස රුපියලේ අගය කඩා වැටීම නවත්වා ගැනීමට තිරිංග යෙදීමට ඔහුට සිදුවන බව එයින් කියවිණි. තවදුරටත් ඔහු චන්ද්රිකා ජනපතිනියට කියා සිටියේ රුපියල පා කිරීම නම් මේ වාහනය කන්දකින් පල්ලමට කඩා වැටීමට යන්නේ නම් අන්තර්ජාතික මූල්ය අරමුදල නම් ගසේ හප්පාගෙන හෝ වාහනය නවතා ගත හැකි බවයි. එය අනතුර අවම කර ගැනීමට භාවිත කළ උපක්රමයයි”.
ශ්රී ලංකා රුපියල හා ඇමරිකා එක්සත් ජනපද ඩොලරය අතර විනිමය අනුපාතිකය පාලනය කිරීම ජයග්රහණයක් ලෙස හුවා දැක්වීම
මාර්තු මාසයේ පළමු සතියේදීම ශ්රී ලංකා රුපියලේ කඩා වැටීම විදේශ විනිමය වෙළෙඳපළ තුළ දැකගත හැකි විය. ඊට පෙර මහ බැංකුව එදිනෙදා සිය වෙබ් අඩවියෙහි පළ කරන ලද්දේ ඇ.එ.ජ. ඩොලරයක් සඳහා වන මිලදී ගැනුම් අගය හා විකිණුම් අගය පිළිවෙළින් රු. 197ක් හා රු. 203ක් ලෙසයි. නමුත් අපගේ බැංකු පද්ධතිය තුළ මෙකී අගයයන්ට මිලදී ගැනීම සඳහා ඇ.එ.ජ. ඩොලර නොවීය. යම් කෙනෙකුට ඇමරිකානු ඩොලර් හදිසියේ අවශ්ය වූයේ නම් ඔවුනට ඒවා රු. 250 – 260 යන ගැනුම් හෝ විකුණුම් මිලට නිදහසේ ගනුදෙනු වන, අවිධිමත් වෙළෙඳපළ හෙවත් කළු කඩවලින් මිලට ගැනීමට සිදුවිය. මහ බැංකු වෙබ් අඩවියේ පළවූ මෙම මිථ්යා සහගත විනිමය අනුපාතය එම ආයතනයේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්යක්ෂක විසින් හුවා දක්වා ඇත්තේ මාස 11ක් තරම් දිගු කාලයක් ශ්රී ලංකා රුපියල ස්ථාවරව පවත්වා ගත් ආකාරය ජයග්රහණයක් ලෙස දක්වමිනුයි (පහත දිගුව මගින් එම වීඩියෝව නැරඹිය හැක. (https://youtu.be/LpRQs4AGpBA)
ඔහුගේ මෙම පැහැදිලි කිරීමට පෙර මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ එකී පාලනය මගින් මහ බැංකුව, ආර්ථික හා මිල මට්ටම් ස්ථායිකරණය හා මූල්ය පද්ධතියේ ස්ථායීතාවය නම් සිය ප්රධානතම මෙහෙයුම් ඉලක්කයක් ජය ගෙන ඇති බවයි.
ආර්ථිකයේ හා මිල මට්ටම් ස්ථායීතාවයෙහි සැබෑ අර්ථය: වැඩිපුර ඉල්ලූමක් හෝ වැඩිපුර සැපයුමක් නොමැති වීම
මා විසින් මීට ඉහතදී පළ කළ ලිපියක් මගින් දක්වන ලද ආකාරයට ආර්ථික හා මිල මට්ටම් ස්ථායී තත්ත්වයක පවත්වා ගැනීම යනු උද්ධමන අනුපාතය යාන්ත්රිකව පහළ මට්ටමක පවත්වා ගැනීමම නොවේ, ආර්ථිකයේ වන සියලූම අංශවල සාර්ව ආර්ථික ස්ථායීභාවයයි, නම් වශයෙන් දක්වුවහොත් ඒවා; රාජ්ය ආදායම් අංශය, දේශීය මූල්ය අංශය, බාහිර අංශයයි එනම් වැඩිපුර ඉල්ලූමක් හෝ වැඩිපුර සැපයුමක් භාණ්ඩ වෙළෙඳපළේ ඇති නොවේ. නමුත් ආර්ථිකයේ අතුරු අංශයන්හි අසමතුලිතතාවය නිසා වෙළෙඳපළේ අමතර ඉල්ලූමක් හෝ අමතර සැපයුමක් ඇතිවුවහොත් මහ බැංකුවේ ප්රමුඛතම අරමුණක් වන ආර්ථික හා මිල මට්ටම් ස්ථායීකරණය සිදු කිරීමට අපොහොසත්වී ඇති බව ප්රත්යක්ෂ වේ. (මෙම ලිපිය පහත දිගුව මගින් කියැවිය හැකිය. https://www.ft.lk/columns/central-banke28099s-mandateis-
to-attain-both-e28098economice28099-ande28098pricee280/ 4-51258).
මෙම ත්රිත්ව අංශයන් අසමතුලිතතාවයකින් යුක්ත වීම නිසා – මධ්යක අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%ක්, මුදල් සැපයුමේ ප්රසාරණය 40%කට වඩා වැඩිවීම සහ ආර්ථිකයේ බාහිර අංශයේ 2019 දෙසැම්බර් සිට මේ දක්වා වන මස 25ක කාලය තුළ සම්පූර්ණ හිඟය (ඌනතාවය* ඇ.එ.ජ. ඩොලර් බිලියන 8.2ක් වීම – වෙළඳපළේ නිරන්තර අමතර ඉල්ලූමක් ඇතිවීමටත් එමගින් උද්ධමනය 17%ක් ඉක්මවා වැඩි වීමටත් විනිමය අනුපාතය දැඩි ලෙස කඩා වැටීමටත් හේතු විය.
එමෙන්ම, මහ බැංකුව විසින් පෙරකී පරිදි ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීම යථාර්ථයෙන් ඉවතට යෑමකි. ඇත්ත වශයෙන්ම ගතහොත් විධිමත් පද්ධතියකට පිටතින් විශාල කළුකඩ ව්යාපාර ව්යාප්තව තිබීම, අත්යවශ්ය භාණ්ඩ සඳහා මේසා විශාල පෝලිම්වල ජනතාවට රස්තියාදු වීමට සිදුවීම තුළ කිසිදු මහ බැංකුවකට තමන් සිය අරමුණු අත්පත් කර ගෙන ඇති බවට උදම් ඇනිය නොහැක.
මෙයින් කියැවෙන්නේ මහ බැංකුවේ නායකත්වය ඇතුළු මුදල් මණ්ඩලයේ සාමාජිකයන් නැවතත් පාසල් ගොස් මහ බැංකුවක ක්රියාත්මක මූලධර්මයන් ඉගෙනගත යුතු බව නොවේද.
අසමත්වූ දේශීය යාන්ත්රණ වැඩපිළිවෙළ වර්තමානයේ සිදුවන ශ්රී ලංකා රුපියලේ කඩා වැටීම සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත සිදුවීමක් නොවේ. බොහෝ මාස ගණනක සිටම ස්වාධීන විශ්ලේෂකයින් රජයට හා මහ බැංකුවට අනතුරු ඇඟවූයේ විදේශ සංචිතයන්හි උපකාරය නොමැතිව රු. 200 යන මධ්ය මට්ටමට රුපියල හා ඇ. ඩොලරයට වන විදේශ විනිමය අනුපාතය පාලනය කිරීම අමනෝඥ ක්රියාවක් බවයි.
නමුත් මහ බැංකුව සිය මුරණ්ඩු ප්රතිපත්තීන් ඉදිරියට ගෙන යමින් ජනාධිපතිතුමා පවා මුලා කරන්නට වූයේ මෙම මිල මට්ටමට ඇ. ඩොලරයක් සඳහා වන විනිමය අනුපාතය පවත්වා ගැනීමට අවශ්ය සංචිත අප රට සතුව ඇති බවත් උපකාර ලබා ගැනීමට අන්තර්ජාතික මූල්ය අරමුදල වෙත යෑමට හෝ විදේශීය ණය ප්රතිව්යුහගතකරණයට කිසිදු අවශ්යතාවයක් නොමැති බවත් හඟවමිනි. මහ බැංකු අධිපතිව සිටි ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා මෙම තත්ත්වය ඔහුම පමණක් දන්නා ප්රතිපත්ති උපායක් වෙත ඈඳනු ලැබිය; ඉන්පසු මහ බැංකු අධිපතිවූ කබ්රාල් මහතා එකී උපාය හඳුන්වාදුන්නේ දේශීය ප්රතිපත්ති මාලාවක් ලෙසයි, මෙම වැඩපිළිවෙළේ ප්රධාන අංගයන් එය සය මස් මාර්ග සටහනක් ලෙස 2021 ඔක්තෝබර් 1 වැනිදා වෙළෙඳපළට හඳුන්වාදෙන ලදි.
එහි ප්රධානතම අංගය වූයේ මිත්රශීලී අසල්වාසී රටවලින් හා මහ බැංකුවලින් තාවකාලික පදනම යටතේ ණය පහසුකම් ලබා ගැනීමයි. මේ දේශීය යාන්ත්රණයේ වූ අවදානම වූයේ එකී රටවලින් බලාපොරොත්තු වූ මුදල් අවශ්ය ප්රමාණයන්ගෙන් නොලැබුණහොත් බාහිර සහයෝගයක් නොමැතිව ශ්රී ලංකා රුපියල කඩා වැටීමට ඇති හැකියාවයි. 2022 මාර්තු පළමු සතියේදී සිදුවූයේ මෙයයි. මහ බැංකුව සිය වෙබ් අඩවියේ රු. 197 – 203 යන මායා අගයයන් පළ කිරීමෙන් දැන් වැලකී ඇත. ඒ වෙනුවට දැන් පළවී ඇත්තේ රු. 250 – 260 යන අගයයනුයි. නමුත් වාණිජ බැංකු තොරතුරු මාර්ග හෙළි කරන්නේ කවුන්ටර හරහා කෙරෙන ගනුදෙනුවලදී මෙම අගය ඇ. ඩොලරයකට රු. 265 – 275 සීමාවේ ඇති බවයි.
මෙයට සමගාමීව රුපියල පා කෙරූ පළමු දවසේදීම කළු කඩයේ විනිමය අනුපාතිකයන් මෙම අනුපාත සමග එක්රැුස් වන්නට විය. කෙසේ වුවද විධිමත් බැංකු පද්ධතිය තුළ මෙම මිල මට්ටම්වලට පවා අවශ්ය තරම් විදේශ විනිමය නොමැති වීම නිසා කළු කඩ තුළ ඉහළ විනිමය අනුපාතයක් එතැන් සිට ඇති විය. මෙම තත්ත්වය ඇති වූයේ පොලී අනුපාත ඉහළ නොදැමීම සහ අවශ්ය මූල්ය පහසුකම් අන්තර්ජාතික මූල්ය අරමුදල වෙතින් ලබා නොගැනීම යන අවශ්ය කරන සහයෝගී ප්රතිපත්ති හඳුන්වාදීමෙන් තොරව රුපියල පා කිරීම නිසායි. තවමත් ඉතා හොඳින් විධිමත් වෙළෙඳපළට සමාන්තරව ක්රියාත්මක වන මෙම කළු කඩ ව්යාපාරය මහ බැංකුවේ ප්රමුඛතම සතුරා මෙම කළුකඩ ව්යාපාරයයි, එමගින් මහ බැංකුව ක්රියාත්මක කරන ප්රතිපත්තිවල සාර්ථකත්වයට බාධා ඇති කරනවා.
පා කිරීම තහනම් වචනයක් ද?
රුපියල පා කිරීම මගින් සිදු වූයේ වෙළඳපළේ ඇති ඉල්ලූම හා විදේශ මුදල් සැපයුම යන කරුණු මත විදේශ විනිමය අනුපාත තීරණය වීමයි. මෙලෙස රුපියල පා කිරීම පහසු කටයුත්තක් නොවේ. එය සාර්ව ආර්ථික උපක්රමයක් ලෙස සාර්ථක කර ගැනීමට තවත් වැඩ කටයුතු බොහොමයක් කළ යුතුයි.
නමුත් මහ බැංකුව විසින් මේ පිළිබඳව වෙළෙඳපළට නිකුත් කරන ලද වීඩියෝවේ දැක්වෙන ආකාරයට නම් ඔවුන් වෙළඳපළේ සිදුවන දේ ගැන අවබෝධයක් නොමැති බව දිස්වේ. එම හේතුව නිසා අධිපතිතුමා හා ආර්ථික පර්යේෂණ අධ්යක්ෂකතුමා පවසන්නේ ඔවුන් රුපියල හා ඇ. ඩොලර විනිමය අනුපාතය වඩාත් නම්යශීලි කළ බව මිස එම අනුපාතය පා කළ බව නොවේ. පා කිරීම යන වචනය තහනම් වචනය වන්නට ඇත.
සරල ලෙසම කිවහොත් නැවතත් 1977 – 2001 කාල පරාසයට යෑම බඳුය. එම අවධියේ අප රට නම්යශීලී විනිමය අනුපාතයක් සහිතව ක්රියාත්මක වුණි. රුපියල මුලින්ම පා කෙරුණේ 2001 ජනවාරි මාසයේදී එවකට මහ බැංකු අධිපති වූයේ දිවංගත ඒ. ඇස්. ජයවර්ධන මහතායි. ඔහු රුපියල පා කිරීමට සති කිහිපයකට පෙර සිටම ඉතා සූක්ෂම ලෙස සැලසුම් සංවිධානය කර ලදී. ඔහු එදා එය සිදු කළ ආකාරය අප සියල්ලන්ටම හොඳ ඉගෙනුමක් වන බව මාගේ අදහසයි.
2001 වසරේ රුපියල පා කිරීම සඳහා වූ ක්රියාවලිය
2001 වසරට පෙර ඇ.එ.ජ. ඩොලරය සඳහා මිලදී ගැනුම් හා විකිණුම් විනිමය අනුපාතිකය, මූල්ය පනතේ ප්රතිපාදනයන්ට අනුකූලව දෛනිකව ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලදී. වාණිජ බැංකු මෙකී ප්රකාශයට පත් අනුපාතික අගයයන් ආසන්නයේ සිය විදේශ මුදල් මිලදී ගැනුම් හා විකිණුම් පවත්වා ගත යුතු විය. නමුදු රටේ ආර්ථිකය තුළ දීර්ඝ කාලයක් තිස්සේ නිධන්ගතව පවතින ගෙවුම් ශේෂ හිඟය නිසා මහ බැංකුවට නිරන්තරයෙන් වෙළඳපළ වෙත විදේශ විනිමය සපයා මහ බැංකුව ප්රකාශයට පත් කරන විනිමය අනුපාතික ආශ්රිතව එම අගයයන් පවත්වා ගැනීමට සිදුවිය. මහ බැංකුවට ඔවුන් ප්රකාශ කරන විනිමය අනුපාතික අගයයන්ට අනුව වෙළඳපළට අවශ්ය කරන විදේශ මුදල් නිකුත් කිරීමට නොහැකි වුවහොත් එම අනුපාත ඉහළ යෑම හෝ විදේශ විනිමය ගනුදෙනු සඳහා කළු කඩ ව්යාපාර ප්රවර්ධනය වීම සිදුවේ. මෙම කළු කඩ ව්යාපාරය මහ බැංකුවේ ප්රධාන සතුරෙක් බව හඳුනා ගැනීම නිසා විනිමය මිලදී ගැනීම හා විකිණීම අතර පරතරය ඉහළ දැමීමට මහ බැංකුව කටයුතු කරන ලදී.
2000 වසරේදී මෙලෙස මෙම පරතරය 2% සිට 5% දක්වා වැඩි විය. නොවැම්බරයේදී 6% දක්වාත් 2001 ජනවාරියේදී 10% දක්වාත් වර්ධනය විය. මෙම පරතරය වැඩි වන වාරයක් වාරයක් පාසා වාණිජ බැංකුවල මෙහෙයුම් අනුපාත හා මහ බැංකුවේ විදේශ විනිමය විකුණුම් මිල ඉහළ යෑම සිදුවිය. එමගින් ශ්රී ලංකා රුපියල අවපතනය වීම සඳහා වන පීඩනය තවත් වැඩි විය. එහි ප්රතිපලය ලෙස පහරකෑම් දෙකකට ලක්වීමට සිදුවීමයි. ඒවා නම් මහ බැංකුව සිය විදේශ සංචිත දිය කර ගැනීමත් ඒ සමගම රුපියලෙහි වටිනාමක කඩා වැටීමත්ය. වර්තමානයේත් මෙම අනිටු ප්රතිවිපාක අපට අත්විඳින්නට සිදුව ඇත, නමුත් රුපියලෙහි අගය කඩා වැටීම ලෝකයෙන් සැඟවීම සඳහා මහ බැංකුව මායාකාරී විදේශ විනිමය අනුපාත සිය වෙබ් අඩවියෙහි පළ කරන්නට විය. එමගින් විදේශ විනිමය වෙනුවෙන් කළු කඩ ව්යාපාරය දරුණු ලෙස වර්ධනය විය.
කඩා වැටෙන විදෙස් සංචිත හා කළු කඩ ව්යාපාර මහ බැංකුවක ප්රබලතම සතුරන් වේ: ඒ.ඇස්. ජයවර්ධන
රට සතු විදේශ සංචිත වේගයෙන් කඩා වැටෙන්නට වූ අතර අධිපති ජයවර්ධනයන් ඊට අකමැති විය. 1998දී අපගේ විදේශ සංචිත ඇ.එ.ජ. ඩොලර් බිලියන 2ක මට්ටමේ විය; 1999දී එය ඇ.එ.ජ. ඩොලර් බිලියන 1.6 දක්වාත් 2000දී ඇ.එ.ජ. ඩොලර් බිලියන 1ක් දක්වාත් පහත වැටුණි. ඒ සමගම රුපියල කඩා වැටෙන්නට විය. 1998දී ඇ. ඩොලරයට සාපේක්ෂව රු. 68ක් ලෙසත් 1999දී 72ක් ලෙසත් 2000දී රු. 80ක් ලෙසත් විය. ඔබට විදෙස් සංචිත හා ඇ. ඩොලර් යන දෙකම අල්ලාගෙන සිටීමට නොහැක. ඔබ ඩොලරය අල්ලා ගෙන සිටියහොත් රටේ විදෙස් සංචිත අහිමිව නැවත ප්රකෘතිමත් කළ නොහැකි අවදානම් තත්වයකට රට පත්වනු ඇත. ඔබ විදෙස් සංචිත අහිමි කරගතහොත් ස්වෛරීත්වය, නිදහස, ආර්ථිකය යන මේ සියල්ල නැති වනු ඇත. මේ සියල්ලට වඩා දරුණු බලපෑම වන්නේ විදෙස් සංචිත නොමැතිව මහජනතාවගේ අත්යවශ්ය භාණ්ඩ ආනයනය හා කර්මාන්ත සඳහා අවශ්ය ආනයනික අමුද්රව්ය හිඟ තත්ත්වයකට මුහුණදීමට සිදුවීමයි. මේ තත්ත්වය රට තුළ අත්යවශ්ය භාණ්ඩ සඳහා පෝලිම් නිර්මාණය වීමටත්, කළුකඩ ව්යාප්ත වීමටත්, හොර පාරෙන් රටට මේ භාණ්ඩ ගෙන ඒම යන අනිසි විපාකයන්ට මුහුණදීමට සිදුවේ.
මේ සියල්ල මහ බැංකුවට එදිරි සතුරු බලවේග බව අධිපති ජයවර්ධනයන් හඳුනා ගන්නා ලද අතර ශ්රී ලංකා මහ බැංකුව මේ අන්තාරවන්ට ලක් කිරීමට ඔහු අකමැති විය.
ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන (ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපති)
සැකසුම මිලින්ද පීරිස්
No comments:
Post a Comment