'විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරිම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මාර්තු 09 නිකුත් කෙරිණි.
පවත්නා තත්ත්වය අනුව විදුලිය අරපිරිමැස්මෛන් භාවිත කිරීම කළ යුත්තක් ම ය.
එහෙත්, විදුලිය පිරිමැසීම සඳහා යෝජිත කරුණු දෙකක් සම්බන්ධයෙන් සමස්ත සමාජයේ අවධානය යොමු විය යුතු ය.
එම යෝජනා වූයේ, "අධි ආරක්ෂිත සහ ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ග හැර අනෙකුත් සියලු ම මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දැමීම" සහ "පළාත් පාලන ආයතන මගින් පාලනය වන වීදි ලාම්පු අනවශ්‍ය අවස්ථාවලදී නිවා දැමීම්" ය.
මේ සම්බන්ධයෙන් පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙමින් ලිපියක් යොමු කර තිබිණි.
කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ
ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කාන්තා හා ළමා අපයෝජන සංඛ්‍යා දත්ත සැලකිය යුතු මට්ටමක ඉහළ අගයක පවතී.
එම දත්ත අනුව 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ බරපතළ ලිංගික අපරාධ (rape) 11998ක්, ලිංගික අපයෝජන 4806ක් සහ ළමා අපයෝජන 5891ක් වාර්තා වී ඇතැයි පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ සභාගත කෙරිණි.
එම සංඛ්‍යා ලේඛන අනුව අදාළ වසර 8ක කාලය තුළ දිනකට ශ්‍රි ලංකාව තුළ කාන්තාවන් 4 දෙනෙකු ලිංගික අපරාධවලට ගොදුරු වි තිබේ.
වීදි ලාමී නිවා දැමීමෙන් කාන්තාවගේ ආරක්ෂාවට වන බලපෑම ශ්‍රී ලංකාවේ තත්වය අනුව විදුලිය පිරිමැසීම සඳහා වීදි ලාම්පු නිවා දැමීම තව ත් සමාජමය ගැටලු රැසකට හේතු වනු ඇතැයි යන විද්වතුන්ගේ මතය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, "මහ දවල් මෙන් ම විදුලිය පැවතියදි පවා කාන්තාවන් නොයෙකුත් හිංසනයන්ට සහ අපයෝජනයන්ට ලක් වන රටක රාත්‍රියේ විදි පහන් නිවා දැමීම විශාල ගැටලුවක්," බව ය.
"මේ විදුලිය අර්බුදය ඇති වෙලා තියෙන්නෙ දිර්ඝ කාලීනව සිදුවූ වැරදි නිස යි. ඒ නිසා ඒ ප්‍රශ්න විසඳන්න ගන්න පොඩි පොඩි විසඳුම් හරහා වෙනත් බරපතළ ගැටලු නිර්මාණය වෙනවා නම් ඒ ගැන අවධානය යොමු කළ යුතු යි. අපි දන්නවා මේ රටේ කාන්තාව ලයිට් තිබුණ ත් පාරේ යද්දි කොයි තරම් පිඩාවන්ට ලක් වෙනවා ද කියන එක. ඒ වගේ තත්වයක් තුළ විදි ලාම්පු නිවා දමන්න ගත්ත තීරණයෙන් කාන්තාවන් සහ ළමුන් විශාල ලෙස අසරණ තත්වයකට පත් වෙනවා."
මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පෙන්වා දුන්නේ, මෙම තීරණය හරහා කාන්තාවන් දැඩි ලෙස අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බව ය.
"මේ තීරණය හරහා කාන්තාවන් දැඩි අනාරක්ෂිත තත්වයකට පත් වෙනවා. ඒක ගැන ඉතා ම අවධානයෙන් යුතුව සිතා බැලිය යුතු යි. කාන්තා පාර්ශවය මෙවැනි තීරණ හරහා දැඩි අසරණ තත්වයකට පත් වෙනවා. සමාජයේ නොයෙක් ගැටලු ඉස්මතු වෙන්න පුළුවන් මේ හරහා."
මේ සම්බන්ධයෙන් කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය කලා පීරිස් මහත්මිය දැක්වූයේ මෙවන් අදහසකි.
"අපි අහනේ ලයිට් නිවුවහම මොක ද වෙන්නේ කියලා. කාන්තාවන්ගේ ජීවිතවල ලයිට් නිවීම පවතින ක්‍රමය තුළ දිගින දිගට ම සිද්ධ වෙන දෙයක්. ගෑනියෙකුට රෑ වෙලා පාරේ යන්න බැහැ. කම්හලක වැඩ කරලා යන කාන්තාවකට රෑ බස් එකෙන් බැහැල යන්න බැරි තැනක විදුලි ලාම්පුවක් නිවා දාන එක ලොකු ප්‍රශ්නයක්. පැහැදිලිව ම ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව සංවේදිව දකින්න තරම් සමස්ත සමාජය මේකට බරක් දෙනවා ද කියන එක ගැටලුවක්.
රටේ අර්බුදයක් තියෙන තැනකදි මේ ආන්තික කණ්ඩායම් නැත්නම් සිමා කිරිමට ලක් වූ කණ්ඩායම්
මේ සමහර තීරණ ඉදිරියේදි කොයිතරම් තවදුරට ත් වැටෙනවා ද කියන එක විනිවිද දකින්න තරම් සංවේදී පරිසරයක් අද අපේ දේශපාලන රාමුව තුළ නැහැ." මේ අදහස් පළ කළේ, කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ය ආචාර්ය කලා පීරිස් මහත්මිය යි.
ඇය පෙන්වා දෙන්නේ, මෙවැනි අර්බුදයකදි රජය ගන්නා තීරණවලින් බලපෑමට ලක්වන පාර්ශව වෙනුවෙන් අවධානය යොමු කිරීම සමාජයේ වගකීමක් බව ය.
"කවුරුහරි පාරේ යද්දි ඒ පිළිබඳව විමසිලිමත් වීම, එවැනි තත්වයන් ඇති වන අවස්ථාවන්වලදී පෙනී සිටීම අපිට පොඩි හරි මෙහෙවරක් කරන්න පුළුවන් සමාජමය වගකීම මේ වගේ අර්බුදකාරී තත්වයකදී කතා කිරීම ඉතාමත් ම වැදගත් වෙනවා," ආචාර්ය කලා පිරිස් පැවසීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් ද අපි විමසීමක් කළෙමු.
ඇය ප්‍රකාශ කළේ විදි පහන් නිවා දැමීම හරහා කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වය පත්වන බව තමන් ද පිළිගන්නා බව ය.
එහෙත්, රට මුහුණ දී සිටින තත්වය සලකා බැලීමේදී විදි පහන් නිවා දැමිම වරදක් ලෙස සැලකිය
නොහැකි වුව ද, මේ හරහා කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වයකට පත්විම වැළැක්වීමට යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ඇය පෙන්වා දුන්නා ය.
No comments:
Post a Comment