Monday, 4 April 2022

''මහජන විරෝධය සහ පොලිස් නිලධාරීන්ගේ හෘද සාක්ෂිය'' 1971- 1988- 1989 කැරැල්ලට සමාන මෙම සිද්ධිය විශ්රාමික SDIG තැබූ සටහන See more ⬇️


"මේ දිනවල මුළු රට ම එක ම ගිනි ජාලාවක් බවට පත්වෙමින් තිබෙනවා. දැනට මාස කිහිපයකට පෙර ආරම්භ වූ විදුලි අර්බුදය ගෑස් සහ ඉන්ධන සැපයීම අඩාළ වීම, එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩ වල හිගකම සහ අධික ලෙස මිල වැඩිවීම වැනි කරුණු මෙම ගිනි ජාලාව වඩාත් තීව්‍ර කිරීමට එක්කරන ලද ඉන්ධන බවට පත් වී තිබෙනවා. මෙම සිදුවීම් මාලාවට සමගාමීව මහජන විරෝධතා තැන්තැන්වල ආරම්භ වූ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂය මෙන්ම සිවිල් සංවිධාන ද මෙම උද්ඝෝෂණ වලට නායකත්වය දීමට මුල් වී සිටියත් ක්‍රමයෙන් එම තත්වය වෙනස් වෙමින් අද වන විට පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව බහුතරයක් වූ සිවිල් පුරවැසියන් පවතින රජයට එරෙහිව එළිපිටම විරෝධතාවය ප්‍රදර්ශනය කිරීමේ තත්වයක් නිරීක්ෂණය වන අතර බහුතරයක් ජනතාව අද වනවිට වීදි සටන් සටන් වලට පවා අවතීර්ණ වී සිටිනවා මෙම විරෝධතාවල කූටප්‍රාප්තිය

ලෙස පසුගිය 31 වන දින නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශය ආසන්නයේ ප්‍රදේශයේ මහජනතාව විසින් ආරම්භ කරන ලද සාමාන්‍ය විරෝධතාවයක් ඉතා සුළු වේලාවක් ඇතුළත මහා ජන සමූහයක් බවට පත්ව ජුබිලිකණුව ප්‍රදේශය ආසන්නයේම පිහිටා තිබෙන වර්තමා ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වට කිරීම දක්වා ව්‍යාප්ත වූ අතර මෙම සිද්ධින් අවසන් වූයේ එම තත්වය මැඩ පැවැත්විම සඳහා පැමිණි හමුදා භටයන් ප්‍රවාහණය කරන ලද බස් රථයකට සහ පොලිස් ජිප් රථයක් ඇතුළු ත්‍රිරෝද රථ කීපයකට ගිනි තැබිමෙන් සහ සිවිල් පුරවැසියන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් ද සියයකට වැඩි පිරිසක් තුවාල ලැබිමෙනුයි.

මෙම සිද්ධිවලට සම්බන්ධ බවට සැක කෙරුණු සිවිල් පුද්ගලයන් 58 දෙනෙකු මුල් අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන් 28 දෙනෙකු නීති විරෝධී ජන රාශියකට ඇතුළත්ව පොදු දේපල විනාශ කිරීමේ චෝදනා චෝදනාව මත අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම පිරිස අතරින් හය දෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීම් අනුව එම පුද්ගලයන් හය දෙනා උගත් මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර ඉතිරි සැකකරුවන් විසි දෙදෙනා ඇප මත මුදාහැරිමට උගත් මහේස්ත්‍රාත්තුමා තීරණය කරනු ලැබුවා. මහෙස්ත්‍රාත්තුමා මෙම ඇප දීමේ තීරණය ගනු ලැබුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ සැකකරුවන් සියලු ම දෙනා දින දාහතරක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරින්ද විසින් කරන ලද ඉල්ලීම ඉවත දමමිනුයි. මෙම සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥයින් 6 දෙනෙකු ඇතුළු නීතිඥයින් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් අධිකරණය හමුවේ වේච්ඡාවෙන්ම පෙනී සිටි අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිඥයන්ගේ අම්පොළසන් මැද අධිකරණ ශාලාවට පිවිසීමේ අවස්ථාව ලද එකක එකම සැකකරුවන් කණ්ඩායමක්

ලෙස මෙම පිරිස හඳුන්වා දීම නිවැරදි බවයි මගේ අදහස. අයුතු ජනරාශියකට ඇතුලත්වේ පොදු දේපල විනාශ කිරීමේ චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරුවන්ට ඇප ලබා දිම සාමාන්‍ය වශයෙන් සිදුවන්නක් නොවේ. එහෙත් විශේෂ අවස්ථාවක් ලෙස සලකා මෙම සැකකරුවන්ට ඇප ලබා දිමට මහේස්ත්‍රාත් මා විසින් ගනු ලැබූ තීරණය ඉතා නිවැරදි බවයි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ බහුතරයකගේ මතය

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙම සිද්ධියට අදාළව අධිකරණය වෙත ඉදිරිපත් කළ මූලික තර්ක දෙකක් තිබුනා ඉන් ප්‍රධානම තර්කය වුණේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද මුල් බි වාර්තාව නීතියට අනුව අසත්පුර්ණ එකක් බැවින් එම කරුණු පදනම් කරගෙන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම ඔවුනට සිදු කෙරෙන බලවත් අසාධාරණයක් බවයි. 1966 වර්ෂයේ නව නීති වාර්තාවක් ලෙස නෙතික පද්ධතියට එක් ව ඇති "ජයසිංහට එරෙහිව රජය" නව නීති වාර්තාවේ මෙම තත්වය ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එනම් යම් සැකකරුවකු හෝ සැකකරුවන් අපරාධ චෝදනාවන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන විට එම සිද්ධියට අදාළව සැකකරුවන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව පොලිස් විමර්ශනයට ලක් වූ සියලුම සාක්ෂි වල සම්පිණ්ඩනයක් එම බි වාර්තාවට ඇතුළත් විය යුතු බව සහ එම කරුණු නීතිමය විශ්ලේෂීණයකට භාජනය කර සැකකරුවන් සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ගය අධිකරණය විසින් තීරණය කළ යුතු බවයි. මෙම බී වාර්තාව අපරාධයට සම්බන්ධව සැකකරුවන්ගේ දායකත්වය වෙන් වෙන් වශයෙන් පිළිබිඹු කරන කැඩපතක් විය යුතු අතර එසේ නොවන අසම්පූර්ණ අවස්ථාවල සැකකරුවන්ට ඇප ලබා දිම හෝ ඔවුන් නිදහස් කිරීමේ තීරණයට එළඹීමේ අයිතිය අධිකරණය සතු වන බවයි.

මෙවැනි අවස්ථාවක මහේස්ත්‍රාත්වරයෙකු ගේ කාර්යභාරය කෙසේ විය යුතුද යන්න මැක්සිමස් ඩැනීට එරෙහිව පොලිස් පරික්යක සිරිනිමල ද සිල්වා නඩුවේදී හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මැතිනිය විසින් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එම නඩු තීන්දුවේ දක්වා ඇත්තේ සැකකරුවන් සම්බන්ධව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වාර්ත ඒ ආකාරයෙන්ම සැලකිල්ලට ගෙන සැකකරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමේ තත්ත්වයට මහේස්ත්‍රාත්වරුන් පත් නොවිය යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා යනු හුදෙක් රබර් මුද්‍රාවක් නොවිය යුතු බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. එබැවින් මෙම සැකකරුවන් විසි දෙදෙනා සම්බන්ධව උගත් මහේස්ත්‍රාත්තුමා ක්‍රියා කර ඇති ආකාරය ඉතා නිවැරදි වන අතර විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද පිස්සු නටන විට අවම වශයෙන් රාජ්‍ය පාලනය ඉතිරි ප්‍රධාන ප්‍රධාන පාලකයා වන අධිකරණය මෙසේ විචාරශිලිව බුද්ධිමත්ව කටයුතු කිරීම මෙරට සිවිල් පුරවැසියන් ලද විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය යුතුයි.

1971 කැරැල්ල සමයේදී කතරගම පුදබිමේ දි යුද හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරන ලද ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පසුව පැවති මහාධිකරණ නඩු විභාගයේ දී ද මෙම තත්ත්වය වැඩිදුරටත් හෙළිදරව් වුණා මෙම සිද්ධියේදී ප්‍රේවතී මනම්පේරිට වෙඩි තබන ලඳ මගේ මතකය හැටියට ලාන්ස් කෝප්‍රල් තිලකරත්න විත්තිකරුවකු ලෙස සිය විත්තිවාචකය

ලෙස දන්වා සිටියේ යුද හමුදාවේ ඉතා කනිෂ්ඨ නිලධාරියකු වූ තමා උසස් නිලධාරියා වූ ලෙස්ටිනන්ට් විජේසූරිය විසින් දෙනු ලැබූ නියෝගය ප්‍රකාරව ඔහු ප්‍රේමවතී මනම්පේරි තරුණිය ට වෙඩි තබා ඝාතනය කළ බවයි එහෙත් නියුරංබර්ග් නඩු තීන්දුව සිහිපත් කරමින් උගත් මහාධිකරණ විනිසුරුතුමා සිය තීන්දුවේ දක්වා සිටියේ අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට කිසිදු රජයේ නිලධාරියෙකු නීතියෙන් බැඳී නොසිටින බවයි.

එබැවින් මහජන උද්ඝොෂණ වීදි විරෝධතා මුළු රටපුරා ක්‍රියාත්මක වන මෙවැනි වකවානුවක පොලිස් හා හමුදා නිලධාරීන් ලෙස තමන් වෙත ලැබෙන නියෝගවල නීත්‍යානුකූල භාවය ගැන මනා අවබෝධයකින් යුතුව ඒවා ක්‍රියාත්මක කළ යුතුව පවතිනවා. එයට ප්‍රධානම හේතුව වන්නේ එම නියෝග වල අනීතික භාවය පරික්ෂාවට ලක්කෙරෙන වකවානුවල බොහෝ විට එම නියෝග ලබා දුන් පිරිස මේ රටේ වත් නො සිටින තත්වයක් උද්ගත විය හැකි බැවින් සහ එම පරික්ෂණයන්ට තනිව මුහුණ දීමට ඒවා ක්‍රියාත්මක කළ පොලිස් සහ හමුදා නිලධාරින්ට සිදුවන බැවිනුයි. මෙම තත්වය 1971 කැරැල්ල අවසානයේදී මෙන්ම 1988- 89 භීෂණ සමය අවසානයේදී ද උතුරේ යුද කලාපය තුළ සිදු වූ යම් යම් සිද්ධීන් සම්බන්ධව ද සිදුවනවා සහ ඒවාට මුල් වූ පොලිස් සහ හමුදා නිලධාරීන් එම අවස්ථාවල මුහුණ දී සිටි අසරණ භාවය වසර හතළිහකට ආසන්න සක්‍රිය සේවා කාලයක් හිමිව සිටි මා විසින් පැහැදිලිව දැක ඇති බැවින් මෙම තත්වය ගැන වමානයේ සේවයේ නියුතු පොලිස් හා හමුදා නිලධාරීන් දැනුවත් කිරිම මගේ යුතුකමක් ලෙස සලකා මෙම සටහන මුහුණු පොතට එක් කරනවා."


ප්‍රියන්ත ජයකොඩි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික )


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...