රට දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පසුබිමක මේ වසරේ පැවති 74 වන ජාතික නිදහස් දින සැමරුම සඳහා රජය රුපියල් මිලියන 95කට ආසන්න මුදලක් වැය කර ඇති බවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගත් කරුණුවලින් අනාවරණය වී තිබේ.
මෙය පසුගිය වසර පහ තුළ නිදහස් දින සැමරුමකට වියදම් කළ වැඩි ම මුදල යි.
ඒ අනුව කොළඹ 07, නිදහස් චතුරශ්‍රයේ පැවති මෙම උත්කර්ෂවත් සැමරුම සඳහා රුපියල් මිලියන 94.7ක් වැය කර ඇතැයි අදාළ තොරතුරුවලින් අනාවරණය වී ඇත.
එම තොරතුරු අනුව, 2021 වසරේ නිදහස් සැමරුම වෙනුවෙන් වැය කළ මුදලට සාපේක්ෂාව රුපියල් මිලියන 15කට ආසන්න මුදලක් මෙවර උත්සවය වෙනුවෙන් වැය කර තිබේ.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම මුදලට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව (Department of Government Factory) සිදු කළ වේදිකාව සැකසිම, කොඩි කණු බෙදාදිම සහ රතු පලස නිකුත් කිරීම සඳහා වැය කළ රුපියල් මිලියන 37ක්, සංස්කෘතික ප්‍රදර්ශන පා ගමන පැවැත්විම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැය කළ රුපියල් මිලියන 19ක් ඇතුළත් වේ.
මීට අමතරව ජංගම වැසිකිළි පහසුකම් සඳහා රුපියල් මිලියන 15ක් ද, සත්කාරක වියදම් සඳහා රුපියල් මිලියන 2ක් ද, ඩිජිටල් තිරයක් සඳහා රුපියල් මිලියනයක් ද වැය කර ඇත.
ඊට අමතරව විදුලිය සඳහා රුපියල් මිලියන 11ක් ද, ජල පහසුකම් සඳහා මිලියන 2ක් ද ශබ්ද පද්ධති සහ පුටු සඳහා රුපියල් මිලියන 2ක් ද යොදවා වැය කර තිබේ.
මෙම තොරතුරු දැන ගැනිමේ අයැදුම්පත පෙබරවාරි 7 වන දින රාජ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද අතර පිළිතුර පරිපාලන අතිරේර්ක ලේකම්, රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිලධාරී P.S.P. අබේවර්ධන යන අය විසින් අප්‍රේල් 20 වන දින ලබා දෙන ලදි.
• රින් අලි
No comments:
Post a Comment