ඉදිරි වසර 20 තුළ මෙරට විදුලි ඉල්ලුම 7% සිට 10% දක්වා අගයකින් වැඩි වෙයි
මෙරට විදුලි පරිභෝජනය වාර්ෂිකව මෙගාවොට් 200කින් පමණ වැඩි වේ
ප්‍රධාන නගර ආසන්නයේ මහා පරිමාණ ජීව වායු ජීරක ඇති කළහොත් කසළ සහ බලශක්තිය පිළිබඳ ප්‍රශ්න බොහෝ දුරට විසඳේ
බලශක්තිය රටකට තීරණාත්මකය. සෑම රටක්ම ඒ පිළිබඳ අවධානය යොමු කරයි. එදා මෙදා තුර ලෝකයා එම අවශ්‍යතාව පිරිමසා ගන්නා විධික්‍රම රැසකි. ඉන් සමහරක් ඉතා දිගු කලක් තිස්සේ පවතියි. ඇතැම් ප්‍රභව මේ වන විටත් යල්පැන ගොසිනි. ඒ එකිනෙක භාවිතයෙන් ඉවත්ව යන විට අලුතෙන් තවත් බලශක්ති උත්පාදන විධි කෙරෙහි අන්තර්ජාතික ප්‍රජාව යොමු වනු පෙනේ.
යම් පද්ධතියකට වැඩ කිරීමට ඇති ශක්තිය බලශක්තිය වශයෙන් සරලව අරුත් ගැන්වේ. එහි යම් යම් දෑ ක්‍රියා කරවීමට බලය ගැබ්ව ඇත. ඒ අතින් අන්තර්ජාතික ප්‍රජාව ස්වාභාවික ප්‍රභව කෙරෙහි ද දැඩි ලෙස නැඹුරුව සිටින සෙයකි. වර්ෂ 2050 වන විට පොසිල බලශක්තිය මෙලොවින් අවසන් වෙතැයි පර්යේෂකයන් අනුමාන කිරීමත් සමඟ මේ ගැටලුව තවත් උග්‍ර වූ සැටියකි.
ඒ අනුව සූර්යා ලෝකය, උදම්, සුළඟ, තරංග සහ භූ තාප ආදි නැවත නැවත හට ගන්නා සම්පත් මඟින් බලශක්ති අවශ්‍යතාවෙන් කොටසක් හෝ උත්පාදනය කෙරෙහි ලෝකය අවධානය යොමු කර ඇත. ඉන් සූර්ය තාපය පමණක් සලකා බැලූව ද එයින් මෙලොව සියල්ලන් එක් වසරකදී භාවිත කරනවාටත් වඩා ඉහළ බලශක්තියක් එක් හෝරාවකදී මුදා හැරෙන වග පර්යේෂණාත්මකව තහවුරු කෙරුණකි. රට පුරා සූර්ය බලශක්තිය කෙරෙහි නැඹුරුවක් රාජ්‍ය මට්ටමින් ඇති කර තිබේ. රාජ්‍ය ආයතනවල විදුලි බිලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගැනීම එහි අපේක්ෂාවකි. එමෙන්ම, විදුලි බලය හැකි උපරිම වශයෙන් අරපරෙස්සමෙන් භාවිත කරන ලෙසට ද රාජ්‍ය ආයතනවලට රජය දැනුම් දී තිබේ. ඒ පිළිබඳ පසුවිපරම් කිරීම් ද නොකඩවා සිදු කෙරේ.
මන්නාරම ඇතුළු ප්‍රදේශ කිහිපයක සුළං විදුලි බලාගාර ද පුනරීන් හා සියඹලාණ්ඩුව ප්‍රදේශවල මෙගාවොට් 100ක සූර්ය බලාගාර ආදි වශයෙන් බලශක්ති බලාගාර ඇති කරමින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අතින් පෙර නොවූ විරූ ඉදිරි ගමනකට අප රට යොමුව ඇත. ඒ, වර්ෂ 2030 වන විට මෙරට මුළු බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපයා ගැනීමේ උදාර අරමුණ පෙරදැරිවය.
එසේම, ජල විදුලි උත්පාදනය මෙරට ප්‍රමුඛ වූව ද, බොහෝ රටවලට අනුව එය එසේ නොවේ. ඊට සුදුසු භූ විෂමතාවක් ඒ ඒ රටවල නැතිකම එයට ප්‍රධානතම හේතුවකි. ලොව ජල විදුලිය නිපදවන රටවල් අතළොස්සක් දක්නට ලැබෙන්නේ එහෙයිනි. ඒ කෙසේ වෙතත් ජල විදුලියෙන් එපිටට, එසේත් නැතිනම් විකල්ප බලශක්ති ප්‍රභව කෙරෙහි රට රටවල අවධානය යොමුව තිබේ.
ගල් අඟුරු, ඛනිජ තෙල් තවමත් ඒ අතින් බහුලව භාවිත වන ඒවාය. මිලෙන් අධික වුව ද, පරිසර හිතකාමී නොවුණ ද බොහෝ රටවල් තවම ඊට වැඩි බරක් තබා ඇත. බ්‍රිතාන්‍ය තවමත් සැලකිය යුතු ප්‍රතිශතයකින් බලශක්ති අවශ්‍යතාව ගල් අඟුරු මඟින් සපයා ගනී. ගල් අගුරු තාප බලාගාර එරට තවමත් දක්නට ලැබේ.
ගල් අඟුරු යනු දැවැන්ත පරිසර දූෂකයක් වශයෙන් සැලකේ. ඉන් අත්මිදීමට අන්තර්ජාතික ප්‍රජාව මංපෙත් සොයනු පෙනේ. ඒ අනුව ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ ගල් අඟුරු, සොයා ගන්නා ලද විකල්ප බලශක්ති ප්‍රභවයකි. එහිදී ගල් අඟුරු පිලිස්සීමෙන් හයිඩ්‍රජන් වායුව ලබා ගැනීමත්, ඉනික්බිතිව ඉතිරි වෙන අපද්‍රව්‍ය නැවත භූගත කිරීමත් හඳුනා ගත හැකිය.
න්‍යෂ්ටික බලය
ඇතැමෙක් න්‍යෂ්ටික බලය පිළිබඳ බියක් උපදවා ගත හැකිය. ඒ, න්‍යෂ්ටික බලය පිළිබද කුකුසක් ඇති වීමෙනි. එහෙත් අවදානමෙන් තොරව මිනිසාට ඉන් වැඩ ගත හැකිය. ඒ වග පර්යේෂණාත්මකව තහවුරු කර ඇත. අන්තර්ජාතික බලශක්ති අධිකාරිය ඒ පිළිබඳ නිරන්තර පර්යේෂණවල නිරත වෙයි. ඒ ඇසුරෙන් නිදර්ශන එළි දක්වයි. ඒ අනුව ඉතා අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ලොව භාවිත කරන වෙනත් ක්‍රමවලට වඩා වැඩිපුර බලශක්තියක් උත්පාදනය කළ හැකිය.
කසළ යනු ලොවට ප්‍රබල ගැටලුවකි. ඉන් පරිසරය අපවිත්‍ර කෙරේ. එමඟින් විෂබීජ ආදිය පැතිරේ. ඊට පිළියම් ලොවම එක්ව සොයනු පෙනේ. ඒ පිළිබඳ කෙරෙන පර්යේෂණ බොහොමයකි. ඒ ඇසුරෙන් නව සොයා ගැනීම් රැසක් එළි දක්වා තිබේ.
ආර්ථික අතින් ඉතා දියුණු රටවල් කසළවලින් බහුවිධ ප්‍රයෝජන ලබා ගැනීම අතින් ඉහළ තැනක පසුවේ. එහෙත් එයින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ආර්ථික වශයෙන් කසළ ඵලදායි අයුරින් යොදා ගත නොහැකි වගක් නොහැඟේ. එහිදී දියුණු තාක්ෂණය වැදගත් බව සැබෑවකි. එහෙත් එය එකම තීරකය නොවේ. අනෙක, තාක්ෂණය උපක්‍රමශීලිව අඩු වියදමින් ළඟා කර ගැනීමටත් රට රටවලට පුළුවන. සෑම රටක්ම නවෝත්පාදනවලට වැඩි ඉඩක් පිරිනමනු පෙනේ. එය අඩු වියදම් බලශක්ති ප්‍රභව සොයා යෑමේදී රුකුලක් වනු ඇත.
ජීව වායුව
මෙකල මෙරට සමාජයේ ද එල්. පී ගෑස් පිළිබඳ නිතර කතාබස් කෙරෙනු ඇසේ. නිතර එහි මිල ඉහළ යෑමත්, ආනයන පමා වෙත්ම එම පමාව රටටම තදින් දැනෙන්න වීමත් නිසා මුළුතැන්ගෙයි වියහියදම් කෙරෙහි කවුරුත් පාහේ නැවත සිතා බලනු පෙනේ. ඒ, විකල්ප බලශක්ති කෙරෙහිය. දැනටමත් දර ළිප, භූමිතෙල් ළිප ආදි විකල්ප කරා ඇතැම්හු යොමුව සිටිති. එහෙත් ඒ කරා ද ළඟා වීම අපහසු වන්නේ නාගරිකරණය, ඉන්ධන මිල වැනි කරුණු හේතුවෙනි.
අද වන විට එය ජාතික ප්‍රශ්නයකි. අන්තර්ජාතික වශයෙන් අපනයන ක්‍රියාවලියට දියුණු රටවල් පවා මෙකල බලශක්ති අර්බුදයට මුහුණපානු පෙනේ. වෙනදාට වඩා විදේශ විනිමය ඉපයීම අතින් ද බොහෝ රටවල් ගැටලුවලට මුහුණපායි. මෙරටට ද එය එසේමය.
එහෙත් මුළුතැන්ගෙයින් ඒ ගැටලුව කුණු කඳු තෙක් උඩුදුවන්න කලින් විසඳා ගැනීමට දැන් පුළුවනි. එවිට කුණු කඳු නාය ගිය අපකීර්තිමත් ඉතිහාසයක් ද නැවත මෙරටට උදා නොවනු ඇත. එසේම, විශාල පිරිවැයක් ද ඊට අවශ්‍ය නොවේ. නිවෙසේ වර්ග අඩි හතරක ඉතා කුඩා ඉඩක් වුව ද ඊට සෑහේ. පොළොව මතුපිට මෙන්ම භූගතව ද ජීව වායු ජීරකය සවි කළ හැකිය. මේ වන විට ලොකු කුඩා දෙයාකාරයෙන්ම ජීව වායු ජීරක නිපදවා ඇත. ඒ, ලීටර 1000, ලීටර 500 සහ ලීටර 175 ආදි වශයෙනි. අපහසුවකින් තොරව නිවෙසේදීම එම පද්ධතිය සකසා ගත හැකිය. නොඑසේ නම් රුපියල් 75,000 පමණ මුදලකින් සකස් කර ගත හැකි ජීව වායු ජීරකයක් අවුරුදු 15ක පමණ කාලයක් පුරා ගැටලුවකින් තොරව භාවිතයට ගත හැකිය. ඉන් අත්වන තවත් අමතර ප්‍රයෝජන රැසකි.
කසළ යනු, නිවෙසට මෙන්ම පළාත් පාලන ආයතන ඇතුළු රටතොට සෑම තැනකම දැවෙන ප්‍රශ්නයකි. ජීව වායු ජීරකය ඊට කදිම නිදසුනකි. ගෙවත්තට අගනා කාබනික පොහොරක් ජීව වායු නිෂ්පාදනයෙන් පසුව ඉතිරි වන ද්‍රාවණයෙන් ලැබේ. වස විෂ නැති ගෙවතු බෝග වගාවකට එය කදිම මඟකි. එසේම එය කදිම කෘමිනාශකයකි. තවමත් කුණු මෙරටට සම්පතක් නොවේ. දිනකට ටොන් 7000ක් පමණ කසළ ප්‍රමාණයක් මෙරට එක්රැස් වන බව වාර්තා වේ. එයින් ටොන් 4460ක් තරම් ඉහළ ප්‍රමාණයක් දිරාපත් වන ඒවාය. එයින් මුදල් මැවිය හැකිය. ජීව වායු නිෂ්පාදනය ඊට කදිම මඟකි. එසේම විදුලිය උත්පාදනය ආදි තවත් ඵලදායි පියවර රැසකි. එහෙත් තවමත් මුළුතැන්ගෙයින් ඉවත දමන බත්, එළවළු කැබැලි, පලතුරු ලෙලි ආදියෙන් මෙතරම් වික්‍රමයක් කළ හැකි වග බොහෝ දෙනකු නොඅදහනවා වන්නට පුළුවන.
එම අපද්‍රව්‍ය කිලෝග්‍රෑමයකින් පමණක් ජීව වායු ලීටර 150ක් උත්පාදනය කළ හැකි වග මේ පිළිබඳ වසර ගණනාවක් පර්යේෂණ කළ ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ( NERD) තහවුරු කර ගෙන ඇත. මේ අනුව සිව් දෙනකුගෙන් යුතු පවුලකට එක් වේලකට අවශ්‍ය බත් සහ වෑංජන ජීව වායු ලීටර 900ක් වැනි ප්‍රමාණයකින් උයා ගැනීමට හැකිය.
අනෙක් අතට එල්. පී ගෑස් පිළිබඳ භීතිකාවක් ඇති කරගත්තකුට ජීව වායුව කෙරෙහි අනියත බියක් ඇති විය හැකිය. එහෙත් එවැන්නක් සිදු නොවේ. මෙය ඉතා අඩු පීඩනයක් සහිත වායුවකි. එය පරිසරයට අහිතකර නොවන්නකි. කලින් කලට ඇසෙන එල්. පී ගෑස් සම්බන්ධ බව කියන පිපිරීම් ආදිය ජීව වායුව නිසා ඇති නොවන බවට පර්යේෂකයන් තහවුරු කර ඇත.
බස්නාහිර පළාත මෙරට ජනාකීර්ණම පළාතය. නිවාස ලක්ෂ 15ක් පමණ එහි වෙතැයි ගණන් බලා තිබේ. මේ අනුව ඒ එක් නිවෙසක එක්රැස් වන කුණුවලින් 50%ක් ජීව වායු නිෂ්පාදනයට යෙදවූවද මෙරටින් එල්. පී ගෑස් වෙනුවෙන් පිටරටට ඇදී යන ජාතික ධනය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉතිරි වෙයි. එය රුපියල් කෝටි ගණනකි. එහි අතුරු ඵලයක් වශයෙන් ලැබෙන දියර පොහොරෙන් වගා බිම් හෙක්ටයාර් ගණනක් වුව ද සරුසාර කෙරේ. එමඟින් නිවෙසේ ජීවන වියදමටත් සහනයක් සැලසේ.
ජීව වායු ජීරකය සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ පර්යේෂණවලදී එයින් වැඩි ජීව වායු ඝනත්වයක් ලබා ගත හැකි අන්දම සොයා බැලේ. ඒ අනුව ඉවතලන කුණු සමඟ වැටමාර කොළ මුසු කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකිය. ඒ, පැය 24කට අමතර ජීව වායු ලීටර් 76ක් ලබා ගනිමිනි. තව දුරටත් වැටමාර කොළ වියළා සැකසූ පවුඩර් භාවිතයෙන් ජීව වායු ජීරකයේ ඵලදායීතාව වැඩි කර ගැනීමට කටයුතු කරමින් සිටිතැයි ජාතික ඉංජිනේරු සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ ජීව වායු පිළිබඳ පර්යේෂණ අංශය භාර ඉංජිනේරු සුනිල් කරුණාවර්ධන මහතා පවසයි. එමඟින් සොයා ගනු ලැබූ මේ තාක්ෂණය ව්‍යවසායකයන්ට පැවරීම ඔස්සේ වාණිජ වශයෙන් ජීව වායු ජීරක මෙන්ම විශාල ගොවිපොළ මඟින් මහා පරිමාණයෙන් ජීව වායු නිපදවීම කෙරෙහි දැන් මෙරට විශාල උද්‍යෝගයක් ඇතිවී තිබේ. මේ කෙරෙහි මහල් නිවාස සංකීර්ණවල වෙසෙන ජනතාවගෙන් වැඩි ආකර්ෂණයක් දක්නට ලැබේ. දැනටමත් ඒ කෙරෙහි පාරිභෝගිකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී ඇත. කොළඹින් මෙන්ම පිට පළාත්වලින් ද එය එසේමය.
ජීව වායුව ඇසුරෙන් විදුලිය
චීනය, ජීව වායුවෙන් විදුලි උත්පාදනය කිරීම ඔස්සේ ලොවටම හපන්කම් පෙන්වන රටකි. වැඩි විදුලි පරිභෝජනයක් සහිත කාලවේලාවලදී ජීව වායුවෙන් උත්පාදනය කරන විදුලිබලයෙන් එරට බොහෝ දුරට වැඩ ගනියි. 2020 වර්ෂය වන විටත් ජර්මනිය ජීව වායුව මඟින් මෙගාවොට් 5400ක් පමණ නිපදවා ගනු ලැබිණි. එය මෙරට වාර්ෂික විදුලි බලශක්ති ප්‍රමාණය මෙන් දෙගුණයකි. අප්‍රිකා කලාපීය රටවල් පවා ජීව වායුවෙන් වැඩ ගනිද්දී සෙසු රටවල් ද ඒ කරා වැඩිපුර යොමු වෙන බවක් දක්නට ලැබේ.
ජීව වායුව ඇසුරෙන් මෙරට තුළ මෙගාවොට් 3000ක් වත් විදුලිය නිපදවා ගතහොත් එහි අතුරු ඵල වශයෙන් දිනකට ඝන පොහොර ටොන් 2000ක් පමණ නිරායාසයෙන් නිපදවා ගැනීමට පුළුවනි.
මෙරට ප්‍රධාන නගර ආසන්නයේ මහා පරිමාණයෙන් ජීව වායු ජීරක ඇති කළොත්, ඒ ඒ පළාත්වල එක්රැස් වන කුණු ඇසුරෙන් ජීව වායුව මෙන්ම විදුලිය ද නිපදවමින් පළාත් පාලන ආයතනවලට එම ජනතාවට වැඩි සේවයක් සැලසිය හැකිවේ. එවිට ඇතැම් විට දැනට දින ගණන් එක තැනම පවතිමින් සෞඛ්‍ය ගැටලු හා දුර්ගන්ධය ඇති කරන කුණු වෙනුවෙන් පළාත් පාලන ආයතන සහ කුණුවලින් බලශක්තිය උත්පාදනය කරන වෙනත් ආයතන ඔස්සේ කසළ සඳහා ජනතාවට මුදල් ගෙවන තත්ත්වයක් ඇති කළ හැකිය. මේ වන විටත් ජර්මනිය ඒ අතින් ඉදිරි ගමනක යෙදී සිටියි. එරට ගෘහාශ්‍රිතව, කුඩු කළ බඩඉරිඟු ශාකයේ කොළ සහ නාගරික අපද්‍රව්‍ය යොදා ගනිමින් ජීව වායුවත්, විදුලි උත්පාදනයත් සිදු කරයි. කුඩා පවුල් පවා එමඟින් ඉතා විශාල අමතර ආදායමක් උපයා ගනී. ඩෙන්මාර්කය ද එරට උණු ජල අවශ්‍යතාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපද්‍රව්‍ය ජීරණය කිරීමෙන් උත්පාදනය කර ගනී. ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ භාවිතය නිසා එය ඉතා පහසු ක්‍රියාවලියක්ව තිබේ. මෙරටට ද සංචාරක හෝටල් බහුල ප්‍රදේශ ආශ්‍රිතව එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකිය. ඉන් ඉහළ බලශක්ති කළමනාකරණයක් ඇති කිරීමට ද අවස්ථාව ඇත.
මහජන උපයෝගිතා කොමිසම අවධාරණය කරනුයේ, මෙරට විදුලි පරිභෝජනය වාර්ෂිකව මෙගාවොට් 200කින් පමණ වැඩි වෙන බවකි. එසේම සෑම වසරකම පාහේ පෙර වසරට වඩා සියයට පහකින් පමණ විදුලි අවශ්‍යතාව වැඩි වෙයි. මෙරට ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව විදුලි පරිභෝජනය ඉහළ යෑමක් වාර්ෂිකව දක්නට ලැබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ දත්තවලට අනුව ඉදිරි වසර 20 තුළදී මෙරට විදුලි ඉල්ලුම සියයට හතේ සිට සියයට දහය දක්වා අගයකින් ඉහළ යනු ඇත. ඒ වෙනුවෙන් රජයට හෝ බලශක්ති අමාත්‍යංශයට පමණක් හෝ මේ ජාතික ගැටලුවට පිළියම් යෙදීම දුෂ්කරය. ඒ වෙනුවෙන් මහජනතාවට පැවරෙන වගකීම ද ඉතා දැඩිය. එකිනෙකා ඒ මෙහෙවර නොඅඩුව ඉටු කළොත් මෙරට තුළ බලශක්ති අර්බුදයක් ඇති නොවේ.
නුවන් මහේෂ් ජයවික්‍රම
No comments:
Post a Comment