ඉකුත් බ්රහස්පතින්දා (2022/02/24) යුක්රේන ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයටම සුවිශේෂී දිනයක් ලෙස ඉතිහාසගතව හමාරය. මේ බ්රහස්පතින්දා මහ පාන්දර කීයෙව් නගරවාසීන් නින්දෙන් අවදි වූයේ රුසියානු මිසයිල වැස්සක් සේ සිය නිවාස දොරකඩටම පතිත වනු සැබෑවටම අත්දකිමිනි. යුක්රේනය පුරා මේ වනවිටද කාලතුවක්කු ප්රහාර ගිගුම් දෙයි. අසල්වැසි රාජ්යයන්ද රුසියානු කෝපය හේතුවෙන් භීතියට පත්ව සිටියි. මේ ඇරඹී ඇත්තේ 3 වැනි ලෝක යුද්ධයේ මුල් වටයදැයි යන සැකය දැන් ලෝකය පුරා පැතිර හමාරය.
මාස ගණනාවක් තිස්සේ රුසියානු ජනාධිපති පුටින් සහ අමෙරිකාව ප්රමුඛ බටහිර බලවතුන් අතර පැවැති පම්පෝරී කතා සහ වහසි බස් අතර උත්සන්න වූ යුධ ආතතිය සහ මංමුලා සහගත රාජ්ය තාන්ත්රික වෙස්වළාවන්ගෙන් පසු රුසියාව සිය සැබෑ මුහුණුවර ලොවට පෙන්වා දුන්නේ තමන් සුළුකොට තැකීමේ වරදට පසුතැවෙන්නටවත් අවස්ථාවක් බටහිරට නොදෙමිනි. නාහෙට නාහන රුසියානු නායකයා සිය රටේ ආරක්ෂාවට තදබල බලපෑමක් වීමට මෑතක සිට තතනන යුක්රේනයට එරෙහිව සම්පූර්ණ යුද්ධය ඇරඹීය.
සෙසු ලෝකයේ අඬහැර, බලපෑම් නොතකා රුසියානු ජනාධිපති පුටින් යුක්රේනය තුළ මිලිටරි මෙහෙයුමක් ඇරඹීමට තීන්දුව දුන්නේ ඉකුත් බ්රහස්පතින්දාය. බ්රහස්පතින්දා පහන්වනවාත් සමඟ යුක්රේන අගනගරය දෙසින් මිසයිල පිපිරුම් හඬ ඇසෙන්නට විය. පසුව තුර්කි සීමාවට ආසන්න මුහුදු බඩ ඔඩෙස්සාව ගිගුරුම් දුන්නේය. රුසියානු බෝඩරය අසබඩ කාර්කිව් දෙසින් නැගුණු දිගුදුර කාලතුවක්කු ප්රහාර නාදය මධ්යම සහ නැගෙනහිර යුක්රේනය ඔස්සේ ගිගුම් දෙමින් පැතිර ගියේය. රුසියාව දකුණ, නැගෙනහිර සහ උතුරේ සිට ගොඩබිමෙන් සහ ගුවනින් එකවර පෙරමුණු 3කින් සිය ප්රහාරය අරඹා තිබුණි .සිවිල් පුරවැසියන් සහිත ස්ථාන 34කට වැඩි ගණනක් ආරම්භක බෝම්බ ප්රහාරයට ලක්ව තිබුණි.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්රහස්පතින්දා පහන් පැයේ දරුණු කථාවක් පවත්වමින් කියා සිටියේ ''අවුරුදු අටක් තිස්සේ කියෙව් පාලනය විසින් අපයෝජනයට හා ජන සංහාරයට ලක්වූ ඩොන්බාස් කලාපයේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා විශේෂ මිලිටරි මෙහෙයුමක් පැවැත්වීමට'' තමන් තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත්, රුසියාව යුක්රේන ප්රදේශ අත්පත් කර ගැනීමට සැලසුම් කරන බවට වූ චොදනාව ඔහු ප්රතික්ෂේප කළේය. ''අපි බලහත්කාරයෙන් කිසිවෙකු මත කිසිවක් පටවන්නේ නැත.'' එහෙත් එහිදී අණතුරු අඟවමින් පුටින්, “රුසියාවට ඇඟිලි ගැසීමට හෝ තර්ජනය කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට ''ඔබේ ඉතිහාසයේ ඔබ කිසිදා අත්විඳ නැති ප්රතිවිපාකවලට'' මුහුණදීමට සිදුවනු ඇතැයි තදින් කියා තිබුණි. ඒ අනුව සිදුනොවුණා නම් හොඳ යැයි ලෝකයම සිතා සිටි බරපතළ යුද්ධයක් විනාඩි කිහිපයක් තුළ ඇවිළ ගියේය.

ව්ලැඩිමීර් පුටින් මුළුමනින්ම යුද්ධය ප්රකාශ කිරීමෙන් පසු යුක්රේනයේ සෑම ප්රදේශයකම පාහේ සටන් ඇවිල ගියේය. හමුදා කඳවුරු, ගුවන් තොටුපොළ, නගර සහ වරායන් මෙන්ම කාර්කිව් සිට කියෙව් දක්වා සහ ඩොනෙට්ස්ක් සිට ඔඩෙස්සා දක්වා රටේ සමස්ත පාලනය රැක ගන්නට යුක්රේන හමුදා රුසියානුවන් සමඟ සටන් කරමින් සිටියහ. සටන ඇරඹී කෙටි කලකින්ම කියෙව් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි කූප්රකට චර්නොබිල් බලාගාරයේ සහ එම නගරයේ පාලනය රුසියානු හමුදා විසින් අත්පත් කර ගත්තේය.
යුක්රේනියානුවන් සමහර නගරවලින් පලායාමට පටන්ගත් අතර දිගුවාහන පෝලිම් දක්නට ලැබිණි. රුසියානු හමුදාව පැය කිහිපයක් ඇතුළත යුක්රේනයේ සියලුම ගුවන් ආරක්ෂක සහ ගුවන් කඳවුරු ආක්රමණය කළ බව ප්රකාශ කළේය. යුක්රේන හමුදා රුසියානු හෙලිකොප්ටර් පහක් බිම හෙළා, ටැංකි දුසිම් ගණනක් විනාශ කර, අවම වශයෙන් පුටින්ගේ හමුදා භටයින් 80ක් අල්ලාගෙන 800කට තුවාල කළ බවට මුල් ආරංචි මාර්ග වාර්තා කළේය.
නමුත් සිකුරාදා අලුයම වනවිට තත්ත්වය සහමුලින්ම වෙනස් විය. යුක්රේනයේ අගනුවර ගුවන් බෝම්බ ප්රහාරයට ලක් වූ අතර, ව්ලැඩිමීර් පුටින්ගේ යුද ටැංකි කියෙව් දෙසට සැතපුම් 20ක් ආසන්නයට පැමිණ තිබිණි. යුක්රේනයේ නියෝජ්ය ආරක්ෂක අමාත්යාංශය පැවසුවේ ඔවුන්ගේ මිසයිල නාශක ආරක්ෂක පද්ධති මගින් එක් මිසයිලයක් අක්රිය එල්ල කළ බවයි. තවත් මිසයිලයක් නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට පහර දුන් බව රජය පවසයි. ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන්ව ඇති අතර ඔඩෙස්සා දූපත රුසියාව අත්පත් කරගෙන තිබුණි.

මෙතෙක් බටහිරට ආවඩමින් මංමුලා වී සිටි ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි - Volodymyr Zelensky, තම ආධාරයට පැමිණීමට අපොහොසත් වූ බටහිර බියගුල්ලන්ට එරෙහිව කෝපයට පත්ව චෝදනා කළේය. ඒ රුසියානු හමුදාවන්ට මුහුණදීම සඳහා තම රට “තනිකර දමා ඇති” බව පවසමිනි. සටනේ පළමු දිනයේ 137 දෙනෙකු මියගිය පසු ජනාධිපතිවරයා මධ්යම රාත්රියෙන් පසු තම ජාතිය අමතමින් වීඩියෝ දේශනයකදී, තම මියගිය සෙබළුන් (වීරයන්) ලෙස හැඳින් වූ අතර, කටුක අවසානය දක්වා තමා ජනතාව සමඟ රැඳී සිටින බව අවධාරණය කළේය. ඔහු මෙසේ පැවසීය: ''ඔවුන් මිනිසුන් මරා දමන අතර සාමකාමී නගර හමුදා ඉලක්ක බවට පත් කරයි. එය වරදක් වන අතර එයට කිසිදා සමාව නොදෙනු ඇත. අපේ රාජ්යය ආරක්ෂා කර ගැනීමට අපටම පවරා අපව තනි කර ඇත. අප සමඟ එක්ව සටන් කිරීමට සූදානම් කවුද? මට කවුරුත් පේන්නේ නැහැ. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ගැන සහතිකයක් දෙන්න සූදානම් කවුද? හැමෝම බයයි.!'' ඇත්තෙන්ම යුක්රේනයේ සැබෑ තත්ත්වය ඒ වචන තුළ රැව් දුන්නේය.
මෙම සති අන්තයේ යුක්රේන අගනුවර රුසියානු හමුදා විසින් වටකරනු ඇතැයි දැන් අපේක්ෂා කෙරෙන අතර දැනටමත් රටේ යුද ප්රතිරෝධය ඵලදායී ලෙස අඩපණ වී තිබේ. මේ නිසා රුසියාව බොහෝදුරට මේ කරන්නේ යුද්ධයක් නැති ඒකපාර්ශ්වීය යුද්ධයකි.

යුද්ධය ආරම්භයත් සමඟ යුද විරෝධී උද්ඝෝෂණද රුසියාව තුළින්ම පැන නැගී තිබේ. ඒවා මර්දනයටද පියවර ගෙන තිබුණි. බොහෝ රුසියානුවන් මේ ප්රහාර ගැන දැනගත්තේ සවස් කළ විදෙස් මාධ්ය වලිනි. ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් වන OVD-Info වලට අනුව රුසියාව පුරා අවම වශයෙන් නගර 44ක පැවති යුද විරෝධී විරෝධතාවලදී සිකුරාදා අවම වශයෙන් පුද්ගලයින් 1675 දෙනෙකු රඳවාගෙන තිබූ අතර ඔවුන්ගෙන් අවම වශයෙන් 919 දෙනෙකු මොස්කව්හි සිටි අයයි. රුසියාව අවසරයකින් තොරව පෙළපාළි තහනම් කර තිබේ, නමුත් රුසියානුවන්ට තනි පුද්ගල විරෝධතා පැවැත්විය හැකිය. යුද විරෝධී විරෝධතාවලට සහභාගී වීම නඩු පැවරීමට සහ අපරාධ චෝදනාවලට තුඩුදිය හැකි බවට බලධාරීන් බ්රහස්පතින්දා පුරවැසියන්ට අනතුරු ඇඟවීය. නමුත් සෙසු ලෝකය පුරා දැනටමත් දස දහස් ගණනක් වීදී බැස සිටිති.

එක්සත් ජාතීන්ගේ ප්රධානියා පසුගිය හදිසි ආරක්ෂක කවුන්සිල රුස්වීම ආරම්භ කළේ: “මනුෂ්යත්වයේ නාමයෙන්, ඔබේ හමුදා නැවත රුසියාවට ගෙන එන්න.”යැයි පුටින්ට හදිසි ආයාචනා කිරීමෙනි.
නවතම වර්ධනයන්ගෙන් පසුව මුල්වරට කතා කරමින් ජෝ බයිඩන් රුසියාවට එරෙහිව තවත් සම්බාධක ප්රකාශයට පත් කළ නමුත් ගැටුම මාස ගණනාවක් පැවතිය හැකි බවට අනතුරු ඇඟවීය. ව්ලැඩිමීර් පුටින් සමඟ කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව පවසමින් එක්සත් ජනපද හමුදා යැවීමට කරන ඇමතුම්වලටද හේ විරුද්ධ විය.
ඔහු බ්රහස්පතින්දා මිලිටරි ප්රහාරය දියත් කිරීම සම්බන්ධයෙන් රුසියාව හෙළාදුටු අතර රුසියාවට අපනයනය කළ හැකි දේ සම්බන්ධයෙන් නව දැඩි සම්බාධක සහ සීමාවන් ප්රකාශයට පත් කළේය.
''මෙය රුසියානු ආර්ථිකය මත ක්ෂණිකව සහ කාලයාගේ ඇවෑමෙන් දැඩි පිරිවැයක් පැටවෙනු ඇත. අපි මෙම සම්බාධක සැලසුම් කර ඇත්තේ රුසියාවට දිගුකාලීන බලපෑම උපරිම කිරීමට සහ එක්සත් ජනපදයට සහ අපගේ මිත්ර රටවලට ඇති බලපෑම අවම කිරීමට'' ඔහු පැවසීය.
මෙම සම්බාධක සඳහා යුරෝපා සංගමයේ සාමාජිකයින් 27 සහ G7 සාමාජිකයින් සහභාගී වන බව ඔහු පැවසුවේ එක්සත් ජනපදය මෙය තනිවම නොකරන බව සනාථ කිරිමටය.

බටහිර එසේ සම්බාධක පනවද්දී චීනයේ රේගු ඒජන්සිය බ්රහස්පතින්දාම රුසියාවේ සියලුම ප්රදේශවලින් තිරිඟු ආනයනය අනුමත කරන ලදි. එය බටහිර සම්බාධකවල බලපෑම අවම කිරීමට හේතුවිය. පුටින් බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගි වන ඉහළම විදේශීය ආගන්තුකයා බවට පත්වීමෙන් පසු රුසියානු තිරිඟු සහ බාර්ලි චීනයට ආනයනය කිරීමට පෙබරවාරි 8 වැනි දින රජයන් දෙක එකඟතාවක් ප්රකාශයට පත් කළේය. මේ ඒ අනුව ගත් තීන්දුවකි.

ලොවපුරා මූල්ය ආයතන දහස් ගණනක් සම්බන්ධ කරන අධි ආරක්ෂිත ජාලයක් වන SWIFT වෙතින් රුසියාව ඉවත් කිරීමේ ''න්යෂ්ටික විකල්පය'' ලෙස ඇතැමුන් හඳුන්වන ආර්ථික ප්රහාරය ක්රියාත්මක කිරීමට යුරෝපා සංගම් නායක ෙයා් දැන් සලකා බලමින් සිටිති.
ඒ හැර රුසියාවේ විශාලතම මූල්ය ආයතනය වන Sberbank සහ එහි අනුබද්ධිත ආයතන 25 එක්සත් ජනපද මූල්ය පද්ධතියෙන් කපා දමන්නට පියවර ගෙන ඇත. රුසියාවේ දෙවැනි විශාලතම බැංකුව වන VTB බැංකුව සහ එහි අනුබද්ධිත සමාගම් 20 මත ''සම්පූර්ණ අවහිර කිරීම් සම්බාධක''.පැනවීම ඇතුළු තවත් විශාල රුසියානු බැංකු තුනකට ''සම්පූර්ණ අවහිර කිරීම් සම්බාධක'' (Bank Otkritie, Sovcombank OJSC සහ Novikombank) පැනවීමටද කටයුතු යොදා තිබුණි. රුසියන් සිවිල් ගුවන් සේවා තහනමක් මුලින්ම එංගලන්තය පැනවීය. පසුව තවත් රටවල් ඒ පියවරට එක්වූහ. පුටින් පාලනයට හිතවාදී සහ එහි ආර්ථිකයට කෙලින්ම උරදෙන රුසියානු සහ බෙලෝරුසියානු ධනවතුන් 300කට ආසන්න පිරිසකගේ සංචරණ ගනුදෙනු සහ වත්කම් තහනමක්ද අමෙරිකාව ඕස්ට්රේලියාව ඇතැම් රටවල් පනවා ඇත.
3 වැනි ලෝක යුද්ධය
දැන් මේ යුද්ධය අපේ කාලයේ මුහුණ දෙන 03 වැනි ලෝක යුද්ධය බවට පත්වීමට අවශ්ය සාධක රැස්වෙමින් පවතී. අමෙරිකාව ප්රමුඛ රටවල් සහ ආයතන 34ක් එක් පසෙකය. රුසියාව සමඟ චීනය තවත් පසෙකය. මේ බෙදුම තුළ සිදුවිය හැකි හානිය පසුගිය යුද්ධ දෙකේම හානිය යටපත් කරන තරම් විශාලය. විශේෂිතම කාරණාව නම් මෙහිදී ඩිජිටල් යුද්ධයකටද මඟපෑදී තිබිමයි. ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම්, ට්විටර් සහ වට්ස්ඇප් වැනි අන්තර්ජාල දැවැන්තයින් වෙත බලපෑම් කිරීමට ව්ලැඩිමීර් පුටින්ට උත්සාහ කළ හැකිය. ඔන්ලයින් බැංකු සහ ජංගම දුරකථන ගනුදෙනු කපාහරිනු ඇත, රෝහල් පද්ධති සැපයුම් සේවා සහ ප්රවාහන ජාල බිඳ වැටෙනු ඇත. ගෝලීය භාණ්ඩ ප්රවාහනය මේ වනවිටත් අනතුරට ලක්ව ඇත. මේ නිසා ලෝකයේම ආර්ථිකය විනාඩි කිහිපයකින් වෙනස් විය හැකිය.

රුසියාවේ මූලාරම්භය නවවන සියවසේ කීවන් රුස් ලෙස හැඳින්වෙන ගෝත්ර එකතුවක් දක්වා දිව යයි. එය කියෙව් සහ දැනට යුක්රේනයට අයත් අනෙකුත් නගරවල නිවහන විය. මේ නිසා බොහෝ රුසියානුවන් යුක්රේනය ඔවුන්ගේම ජාතියේ වැදගත් කොටසක් ලෙස සලකයි.
9 වැනි ශතවර්ෂයේ ඇති වූ ඒ මධ්යකාලීන රාජ්යය වර්තමාන කියෙව් වටා කේන්ද්රගත විය. නූතන රුසියාව සහ යුක්රේනය යන දෙකටම අත්තිවාරම දැමූ මුතුන් මිත්තන්ගේ ඒකාබද්ධ නිජබිම එයයි. ඒ අනුව ඉපැරණි කියෙව් මොස්කව් සහ යුක්රේන ජාතිකවාදයටත් ඒ සියල්ලට මඟ පෑදූ සෝවියට් සංගමයටත් වසර 100 කටත් එහා අතීතයකට හිමිකම් කියන පොදු උරුමයකි.
අනෙක් අතට මෑත ඉතිහාසයේ පැරණි සෝවියට් ජනරජයක් ලෙස සඳහන් වන, නූතන යුක්රේනය රුසියාව සමඟ ගැඹුරු සමාජ හා සංස්කෘතික සබඳතා පවත්වා ගත් පාලනයකි. එහි ඔඩෙස්සා වැනි නගරවල රුසියානු භාෂාව ප්රමුඛ භාෂාව වන අතර රුසියානුවන් යුක්රේනයේ ප්රධාන නගර සියල්ලේම බහුතර ජනවාර්ගික කණ්ඩායමද වේ.

රුසියාවේ ආරක්ෂා සම්බන්ධයෙන් ගත් කළ යූක්රේනය සුවිශේෂී මර්මස්ථානයකි. එය අතීත තිත්ත මතක රුසක්ද සහිතව මොස්කව් වෙත වැටුණු ගොඩබිම් පාලමකි. යුක්රේනයේ පාලනය අතට ගැනීමෙන් රුසියාවට එරෙහිව පැමිණිය හැකි ආක්රමණයන්ගෙන් ආරක්ෂා වීමට ස්වාරක්ෂක කලාපයක් ලැබෙනු ඇතැයි පුටින් විශ්වාස කරයි. පසුගිය වසර 500 තුළ රුසියාව බටහිරින් කිහිප වතාවක්ම ආක්රමණය කර ඇති අතර, යුරෝපියානු තැනිතලාව නමින් හැඳින්වෙන යුක්රේනයද අයත් විශාල පැතලි භූමි ප්රදේශයක් හරහා එම හමුදා පැමිණියහ. 1605 දී පෝලන්තය ආක්රමණය කළ අතර 1812 දී නැපෝලියන් යටතේ ප්රංශ ජාතිකයන් යටතට පත් විය. ජර්මානුවන්ද කලින් ලෝක යුද්ධ දෙකේදීම එසේ කළහ.
යුරෝපීය තැනිතලාව රුසියානු දේශසීමාව අසල සැතපුම් 2000ක් දක්වා විහිදෙන අතර මොස්කව් වෙත සෘජු මාර්ගයක් සපයයි. පුටින්, ඔහුට පෙර සිටි අනෙකුත් රුසියානු නායකයන් මෙන්, තම රාජ්යය වටා ස්වාරක්ෂක කලාප පුළුල් කිරීම ඔස්සේ සහ රුසියානු බලපෑම ඇති ප්රදේශ පිහිටුවීම ඔස්ෙස් මෙම භූගෝලීය සීමාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා උත්සාහ කර ඇත. ඓතිහාසික වශයෙන්, කසකස්තානය, පෝලන්තය සහ යුක්රේනය වැනි ජාතීන් ආරක්ෂක හේතූන් මත රුසියාව විසින් එලෙස ඈඳාගෙන ඇත.

නමුත් මේ අවට රටවල් එකිනෙක ස්වාධීන වෙමින් සිය අභිමතය පරිදි බටහිර හිතවතුන් සේ ක්රියාකිරීම සෝවියට් සංගමය බිඳවැටීමත් සමඟ ඉහළ ගියේය. විශේෂයෙන්ම නේටෝව මේ රටවල් ඈඳා ගනිමින් රුසියාව වටා සිය බලපෑම වර්ධනය කරගන්නට යෙදුණි. මේ අනුව 1997 සිට එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය, චෙක් ජනරජය, ස්ලෝවැකියාව, හංගේරියාව, රුමේනියාව, ස්ලෝවේනියාව, ක්රොඒෂියාව, මොන්ටිනිග්රෝ, උතුරු මැසිඩෝනියාව, ඇල්බේනියාව සහ බල්ගේරියාව නේටෝවට එකතු වී ඇත. පුටින්ට සහ ඔහුගේ ආධාරකරුවන්ට මෙය බටහිර සතුරන් රුසියාවට සමීප වන බවට සාක්ෂියක් විය.
ඔහු නේටෝ ව්යාප්තිය %තර්ජනාත්මක^ ලෙස හඳුන්වමින් යුක්රේනය නේටෝවට සම්බන්ධ වීමේ අපේක්ෂාව තම රටට පැවැත්මේ තර්ජනයක් බව කියා සිටින්ට වූයේ ඒ අනුවය. මෑතකදී යුක්රේන පාලකයා නෙටෝව සමඟ සම්බන්ධ වීමට ප්රසිද්ධියේ උත්සාහ දැරීමත් අමෙරිකානුවන් කෙරේ වැඩි විශ්වාසයක් තබා කටයුතු කිරිමත් සමඟ දැන් ඇවිළ යන මේ යුද්ධය ඇරඹීමට පරිසරය සැකැසුණේය.
කෙසේ වෙතත්, නේටෝවේ හිටපු නියෝජ්ය උත්තරීතර අණදෙන නිලධාරි ජෙනරාල් ශ්රීමත් රිචඩ් ෂිරෙෆ් අනතුරු ඇඟවූයේ යුක්රේනය ආක්රමණයෙන් ඔප්පු වන්නේ පුටින් ඉපැරුණි සෝවියට් සංගමය යළිත් යථා තත්ත්වයට පත් කිරීමට තදින්ම අධිෂ්ඨාන කර ගෙන ඇති බවට කලක් තිස්සේ පැතිර තිබූ මතය බවයි.
I සුගත් පී. කුලතංගආරච්චි
No comments:
Post a Comment