වැලන්ටයින් දින ඉතිහාසය ආදි රෝමානු අධිරාජ්ය යුගය දක්වා දිව යයි. එක් පුරාවෘත්තයකට අනුව මේ දිනය ආදි රෝමයේ වෙනත් ආකාරයකට සමරා තිබේ. ඒ "ලියුපර්කාලිස්" උලෙළ නමිනි. මෙහිදී මිනිසුන්ගේ සරුභාවය සමරනු ලබන උලෙළක් වශයෙන් හැඳින්වෙයි. නමුත් යුරෝපාකරයේ ක්රිස්තු ධර්මය නැඟී සිටීමත් සමඟ ක්රි.ව. 496 දී පළමු ජෙලසියස් නම් පාප් වහන්සේ මෙම උත්සවය තහනම් කොට පෙර දී මෙම උත්සවය සැමරූ 15දා වෙනුවට පෙබරවාරි 14දා ශාන්ත වැලන්ටයින් දිනය ලෙස නම් කරනු ලැබිණි.
වැලන්ටයින් පිළිබඳ සටහන් කිහිපයක් තිබේ. ඉන් පළමුවැනි වැලන්ටයින් වන්නේ රෝමයේ ජීවත් වූ පූජකවරයෙකි. දෙවැන්නා වන්නේ ටර්නිහි ජීවත් වූ බිෂොප්වරයෙකි. තෙවැන්නා වන්නේ අප්රිකාවේදී වැලන්ටයින් නම් අයෙකි. ඔහුගේ මරණය හැර වෙනත් කිසියම් තොරතුරක් සඳහන් නොවේ. කෙසේ වෙතත් විමතියට කරුණක් වන්නේ, මේ තිදෙනාම පෙබරවාරි 14 වෙනි දිනයේදී සිහිපත් කරනු ලැබීමයි. ඔවුන් තම මතය වෙනුවෙන් පෙනී සිටීම නිසා මරණයට පත් කරනු ලැබූවන්ය. නමුත්, වැලන්ටයින් දිනය දා විශේෂයෙන්ම වඩාත් සමීප වන්නේ පළමුව සාකච්ඡා කළ වැලන්ටයින් පිළිබඳවය.
මෙම වැලන්ටයින් පූජකවරයා ක්රි.ව. 270 දී පමණ රෝමයේ ජීවත් වූ අයෙකි. එකල රෝම අධිරාජ්යයා වූයේ දෙවැනි ක්ලෝඩියස් නැමැති අධිරාජ්යවරයාය. මේ කාල පරිච්ඡේදයේ රෝම අධිරාජ්යයේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයකට ලක් වූ කාල වකවානුවකි. ගෝල් ජාතිකයෝ, වහල්ලු, හන්වරු හෝ උතුරු යුරෝපීය හා ආසියානු මොන්ගෝලියානුවන් විසින් රෝමය ආක්රමණය කරනු ලැබීමේ තත්ත්වයක් දක්නට ලැබිණි. එම නිසාම රෝම හමුදාවට වැඩි වැඩියෙන් සොල්දාදුවන් ද බඳවා ගනු ලැබිණි. එහිදී විවාහක පුරුෂයන් තම පවුල වෙත වැඩි බැඳීමක් දක්වනු ඇතැයි සිතූ ක්ලෝඩියස් අධිරාජ්යයා එකල තරුණ පුරුෂයන්ට විවාහය තහනම් කරනු ලැබීය.
විවාහය නිසා යුද්ධයේ දී පුරුෂයන් දුර්වල වෙතැයි විශ්වාස කළ ඔහු වඩාත් ශක්තිමත් සෙබළ හමුදාවක් පවත්වාගනු පිණිස මෙම නීතිය පනවනු ලැබීය. මේ හේතුවෙන් එකල රෝමයේ විසූ බොහෝ පෙම්වතුන් මහත් වූ පීඩාවකට පත් වූහ. අධිරාජ්යයාගේ මෙම නීතියට දැඩි විරෝධය දැක් වූ යථෝක්ත සඳහන් කළ පූජකවරයා තරුණ පෙම්වතුන්ට රහසේම විවාහ වීමට ඉඩකඩ සැලැස්වූයේය.
ඉතිහාස කතාව
නමුත්, වැඩි කලක් නොගොස්ම ඒ බව රෝම අධිරාජ්යයාට හෙළිදරව් විය. ඉන් පසු වැලන්ටයින් පූජකවරයා අත්අඩංගුවට ගනු ලැබීය. එපමණක් නොව ඔහු සිරගත කරනු ද ලැබීය. නමුත්, පූජකවරයාගේ උපකාරය නිසා විවාහයට පත් වූ තරුණ පෙම්වතකු විසින් සිර ගත කළ පූජකවරයාට උපහාර වශයෙන් සහ තෑගි වශයෙන් මල් යවන ලදී. ඒ වගේම වැලන්ටයින් පූජකයාට රෝග සුවපත් කිරීමේ අපූර්ව බලයක් ද තිබූ බව ප්රචලිත විය. මේ වැලන්ටයින්වරයා සිටි සිරිමැදිරියේ වූ ජේලර්වරයකුට මේ අසමාන පුවත දැන ගැනීමට ලැබිණි. ජේලර්වරයාගේ දෙනෙත් අඳ දියණිය සුවපත් කර දෙන ලෙස ඔහු පූජකවරයාගෙන් ඉල්ලා සිටියේය. ජේලර්වරයාගේ ඉල්ලීම පිළිගත් පූජකවරයා ඔහුගේ දියණිය සුව පත් කළේය. මේ සිදුවීමෙන් පසු ජේලර්වරයාගේ දියණිය හා වැලන්ටයින් පූජකවරයා අතර, ගැඹුරු මිත්රත්වයක් ගොඩනැඟිණි.
දෙවැනි ක්ලෝඩියස් අධිරාජ්යයා ද විටින් විට වැලන්ටයින් පූජකවරයා මුණ ගැසිණි. පූජකවරයාගේ ගෞරවනීයත්වය විසින් අධිරාජ්යයාගේ සිත තුළ යම් බලපෑමක් ඇති විය. නමුත්, තරුණ පුරුෂයන්ට විවාහ වීම තහනම් කළ නියෝගයට පූජකවරයා විරුද්ධ විය. අධිරාජ්යයා විසින් පූජකවරයා රෝම දෙවිවරුන්ගේ සරණ යැවීමටත් ඔවුන්ගේ අනුගාමිකයන් කිරීමටත් උත්සාහ දැරීය. නමුත්, එම උත්සාහය ව්යර්ථ වන්නේ පූජකවරයා කතෝලික දහම අත්හැරීම ප්රතික්ෂේප කළ බැවිනි. මෙයින් දැඩි කෝපයට පත්වන රෝම අධිරාජ්යයා වැලන්ටයින් පූජකවරයා මරා දැමීමට නියෝග කළේය. අධිරාජ්යයාගේ මෙම තීරණය නිසා ජේලර්වරයාගේ දියණිය බලවත් ලෙස කම්පාවට පත් වූවාය.
ආදර සාහිත්යය
මරණ දඬුවම පැමිණවීමට මොහොතකට පෙර ජේලර්වරයාගෙන් කොළයක් හා පන්හිඳක් ඉල්ලා ගත් පූජකවරයා ජේලර්වරයාගේ දියණිය අමතා සමු ගැනීමේ පණිවිඩයක් ලීවේය. ලිපිය ලියා අවසන ඔහු සටහන් කරන්නේ “මේ ඔබේ වැලන්ටයින් වෙතින්...යනුවෙනි. ඒ අනුව ක්රි.ව. 270 පෙබරවාරි 14 වෙනි දින රෝම අධිරාජ්යයා හමුවේ ජීවිත දානය ගැනීම වෙනුවෙන් සිය ප්රතිපත්ති වෙනස් නොකිරීමේ වරදට වැලන්ටයින් පූජකයා මරා දමනු ලැබීය. එතැන් පටන් වැලන්ටයින් පූජකවරයා සාන්තුවරයකු ලෙස සැලකීමට පටන් ගැණිණි. එසේම මෙතැන් පටන් සෑම වසරක් පාසාම රෝමයේ තරුණයන් සිය ආදරය දිනාගත් තරුණිය වෙත තමන් වැලන්ටයින් ලෙස හඳුන්වා ගනිමින් සිය අකුරෙන්ම ලියන ලද සුබ පැතුම් යැවීමට පෙබරවාරි 14 වෙනිදා යොදා ගැණිණ. අද අපි සමරන වැලන්ටයින් දිනයේ ඉතිහාස කතාව එයයි.
ආදරය හා විවාහය තහනම් කළ අඳුරු යුගයේ එකල පාච්මන්ට් කඩදාසියෙන් හදවත් හැඩය කපා ආදරය හා විවාහය තහනම් වූ සොල්දාදුවන් හා හිංසනයට පත් වූ ක්රිස්තියානුවන් අතර බෙදා හැරීමට පූජකවරයා කටයුතු කළේය. හදවතේ හැඩය ඔවුන්ට “දෙවියන්ගේ ආදරය සිහිපත් කළ අතර, විශ්වාසවන්ත කිතුනුවන් ලෙස ජීවත්වීමට ධෛර්යයක් ද දෙන ලදි. එදා සිට අද දක්වාම ආදරය ප්රකාශ කිරීම සඳහා හදවතේ සංකේතය යොදා ගනු ලබන්නේ ඒ අනුවයි. සියවස් ගණනාවකට පෙර වැලන්ටයින් නමින් හැඳින්වූ ඒ ක්රිස්තියානි පූජකවරයා සමඟින් ඇරඹුණු වැලන්ටයින් දින කතා පුවත කාලයේ හා යුගයේ වැලිතලාවට යට වී විවිධාකාර ස්වරූප ඔස්සේ වෙනස් වෙමින් හැඩ වෙමින් ඉදිරියට පැමිණෙන ලදි.
සාහිත්යයට, ගීත රචනයට, ග්රන්ථකරණය හා සිනමාව ඇතුළු බොහෝ නිර්මාණවලට මෙම සංකල්පය ව්යාප්තව ගියේය. කාලීනව විවිධ උත්සව පැවැත්විණි. ඒ අනුව පුරාණ රෝමයේ පෙබරවාරි 13 -15 සරුභාවය පිළිබඳ චාරිත්ර පැවැත්වීම අතින් වැදගත් වී ඇත. රෝම නගරයට දුර බැහැර පළාත්වලින් පැමිණෙන ජනතාව උත්සව පවත්වා ඇති අතර, බඳුනක් තුළ බහාලූ ගැහැනු පිරිමි නම් එක් කරමින් ඔවුන් යුවළක් ලෙස සලකන අවස්ථාවක් “ලුපර්කලියාර්” නමින් හැඳින් වූ උත්සවයේ තිබී ඇතැයි සැලකේ. එසේම වැලන්ටයින් දිනය ප්රථමවරට ශෘංගාරාත්මක ආදරය සමඟ යා වී ඇත්තේ ජෙෆ්රි චොසර්ගේ “ Parlement of foules ” නම් පද්යයත් සමඟය. එය 1381 මැයි 02 දා බ්රිතාන්යයේ දෙවැනි රිචඩ් රජුගේ විවාහය නිමිත්තෙන් රචනා කරන ලද්දකි. 1797 දී බ්රිතාන්යයේ ග්රන්ථ ප්රකාශකයකු විසින් “ The young man’s valentine water ” යනුවෙන් පොතේ ප්රකාශයට පත් කළේ ආදරය ප්රකාශ කිරීමට අපහසු ආදරවන්තයන්ට අත්වැලක් වීමටය. ඉන්පසු ඒත්, සමඟ ආදර ප්රකාශන හා සිතුවම් සහිත කාඩ්පත් මුද්රණය විය. 19 වැනි සියවස වෙද්දී ලේස් හා රිබන් යොදාගත් සැරසිලි ජනප්රිය විය. අමෙරිකාවේදී මේ කාඩ්පත් ඉතා ජනප්රිය වී ව්යාපාරයක් බවට පත් විය. මේ ආදී ආකාරයට වැලන්ටයින් කාඩ් විකාශනය වූ අතර, අද වන විට මේ කාඩ්පත් මුළු ලොව පුරාම ප්රචලිත වී ඇත. එපමණක් නොව රෝස මල්, චොකලට් ඇතුළු තෑගි භාණ්ඩ ද ලෝකය පුරා හුවමාරු වේ.
වැලන්ටයින් ආගමනය
ආදරවන්තයන්ගේ දිනය පෙබරවාරි 14 ලෙස නිර්මාණය වූයේත් ප්රචලිත වූයේත් එලෙසටය. නමුත්, මේ සංකල්පය ශ්රී ලංකාවට ආගමනය වූයේ මෑත කාලයේදීය. එය මෙරටට ගෙන්වා තරුණ ප්රජාව අතර වඩාත් ව්යාප්ත කර ප්රචලිත කළේ මෙරට මාධ්යයයි.
වැලන්ටයින් සංකල්පය වෙළෙඳුන්ට ඉතා හොඳ වාණිජ සංකල්පයකි. එයින් ඉතා හොඳ ආදායමක් ඉපයූහ. නව වාණිජ ලෝකය විසින් නිෂ්පාදන හා සේවාවන් මේ සංකල්පය තුළින් ඉතා හොඳින් විකිණෙන්නට විය. එබැවින් වෙළෙඳපොළටත්, මාධ්යයටත් වැලන්ටයින් දිනය ඉතා ඉහළ වටිනාකමකින් යුක්තය. එනිසාම මේ දිනයට සතියකට පමණ පෙර සිටම ඊට සූදානම ද මහ ඉහළින් සිදු කරති. මීට නතු කර ගන්නේ හිරිමල්වියේ වෙසෙන තරුණ තරුණියන්ය.
තරුණ ප්රජාව යනු අලුත් අලුත් දෑ අත්හදා බැලීමට හා වැලඳගැනීමට ඉතා නැඹුරුතාවයක් දක්වන පිරිසය. ඒ වගේම වාණිජ ලොවට ග්රහණය කරගත හැකි පහසුම වයස් කාණ්ඩයත් ඔවුන්ය. එබැවින් ඔවුන් ඉලක්ක කර ගනිමින් මාධ්ය ආයතන හා නව ලිබරල් වෙළෙඳපොළ විසින් සිය භාණ්ඩ හා සේවා ඉතා යහමින් විකුණා ගනිති. එයින් ලාභ ලබති. වත්මන් වෙළෙඳපොළෙහි ඉතා ඉහළින්ම විකිණෙන හා ඉල්ලුම ඇති සංකල්පය මෙය බවට තරුණ තරුණියන් පොළඹවන්නේ මේ හුදු මාධ්ය හා වෙළෙඳපොළ විසිනි.
ලිබරල් වෙළෙඳපොළ හා මාධ්ය
ලිබරල් වෙළෙඳ පොළ තුළ නොවිකිණෙන දෙයක් නැත. ඕනෑම සංකල්පයක් ඉතා ඉහළ අගයකට විකුණා මුදල් උපයාගත හැකිය. එසේම ලොව වසාගෙන පැතිර ගිය කොරෝනා වයිරසය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් මිනිසුන් කොටු කර සිර කර තිබිණි. ඔවුන්ගේ සිතුවිලි ද සිර වී තිබිණි. නමුත්, එන්නත්කරණය හේතුවෙන් එදා තරම් මරණ බියක් අද නොදැනෙන තත්ත්වයක් ඇත. එසේ හෙයින් ඕනෑම ගමනක්, බිමනක් යෑම හා තම හිතවතුන් මුණ ගැසීමට කොරෝනා අවහිරයක් සේ නොගැනේ.
මේ තත්ත්වය මෙසේ වෙද්දී මාධ්ය හා වෙළෙඳපොළ විසින් වැලන්ටයින් නැමති වාණිජ පරමාර්ථ ඔස්සේ දුවන හුදු සංකල්පයකට රිසි සේ පණ පොවමින් සිටී. තරුණ සිත් අන්ධානුකරණයකට ලක් කරමින් මාධ්ය ආයතන විසින් විවිධ වැඩසටහන් ද පෙළගස්වමින් සිටී. ඊට පරමාදර්ශ ලෙස ගන්නේ ද වැඩි දෙනාගේ කතා බහට ලක්වන චරිතයන්ය. ඔවුන්ගේ පුද්ගලික ජීවිත ආදර්ශයකට ගත හැකි ඒවා නොවේ. ඕනැම වයසක සිටින අයෙකුට වුව මේවා දුටු විට යටි සිතේ සැඟව ඇති ආශාවන් උද්දීපනය වන්නට පුළුවන.
සමාජ විද්යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලූ කල්හි ආර්ථික, සමාජ සංස්කෘතික හර පද්ධතින්වලට මෙමඟින් එල්ල වන්නේ මරු පහරකි. එපමණක් ද නොවේ. පවතින ආර්ථික අවපාතය හේතුවෙන් කුමන හෝ අයුරකින් මුදල් සොයා ගැනීමට තරුණ සිත් පොළඹවති. ඔවුන් විටෙක අපරාධයක් හෝ සොරකමක් සිදු කර හෝ පෙම්වතියට ආදර තෑග්ගක් දීමට උත්සාහ කරන්නේ මේ හේතුවෙනි. ආදර ත්යාග හුවමාරු කරනවාට වඩා දුරදිග යමින් තමන්ගේ ජීවිතයේ වටිනාකම් ද පරිත්යාග කරන්නට ඇතැම් තරුණ පිරිස් යොමුවීම කනගාටුවට හේතුවකි.
සමාජ විද්යාත්මක පසුබිම
වැලන්ටයින් දිනය පිළිබඳ සමාජ විද්යාත්මක පසුබිමකින් සාකච්ඡා කිරීම වැදගත්ය. මේ ගැන අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්යාලයේ ශ්රී පාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා මෙසේ පැවසීය. " වත්මන් අර්බුදකාරී තත්ත්වය තුළ වැලන්ටයින් උත්කර්ෂවත් ලෙස සැමරුවොත් අන් සියල්ල අමතකව යා හැකියි. ඒ නිසා තාරුණ්ය වඩාත් හොඳින් දැනුම්වත් කළ යුතුයි. එසේ නොවුණහොත් අයහපත් ප්රතිඵල උත්සන්න විය හැකියි. ඒ නිසා ජාතික වශයෙන් වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. මේ දිනය තමන්ගේ ප්රශ්න විසඳාගැනීමට පමණක් පාවිච්චි කරනවාට වඩා සමස්ත සමාජයේ යහපත සහ මිනිසුන් අතර සහනයක් ඇති වන ආකාරයට පාවිච්චි කිරීම වැදගත්. ඉවක් බවක් නැතුව ව්යාපාරික අරමුණු පමණක් ප්රමුඛ කොට ගෙන පවත්වාගෙන ගිය හොත් තවදුරටත් අප ප්රපාතයකට ඇද වැටෙනවා. ඒ වගේම ආදරය පිළිබඳ ආකල්පය පවා බොහෝ දුරට අවතක්සේරු විය හැකියි. ශ්රී ලංකාව වැනි රටක ආදර සම්බන්ධතා ප්රවර්ධනය කර ගැනීමට ඕනෑ තරම් ක්රම තියෙනවා. සෑම වසරකම එක දිනයක් පමණක් නොවෙයි එය අවස්ථානුකූලව පවත්වා ගෙන යා යුතුයි. නමුත්, මේ දිනයේ ලිබරල් වෙළෙඳ පොළ ක්රමය තුළ පාවිච්චි කරන විදිහ, තරගකාරීත්වය යන කාරණා යම් කිසි නියාමනයකට ලක් විය යුතුයි."
ආදරවන්තයන්ගේ දිනයට වෙළෙඳ වටිනාකමක් හිමිවීම ගැන කොළඹ විශ්වවිද්යාලයේ සමාජ විද්යා අධ්යයන අංශයේ ආචාර්ය මොහමඩ් මහීෂ් මෙසේ පැවසීය. " ඉස්සර අපි කුඩා කාලේ වැලන්ටයින් දිනය කියලා දෙයක් තිබුණේ නෑ. පෞද්ගලික මාධ්ය ආවට පස්සේ තමයි මේ වගේ දේවල් ආවෙ. මේ අය තමන්ගේ මාධ්ය තමන්ම හොඳයි කියා ගන්නවා. ජනප්රියතාව පවත්වාගෙන යන්න මාධ්ය විවිධාකාර දේවල් ප්රචාරණය කරනවා. ආදරවන්තයන්ගේ දිනය කියන්නෙත් මේ ජන සමාජයෙන් පැමිණි බලපෑමක්. මෙයින් තරුණයා පරිභෝජනවාදී සමාජයට තල්ලු කරනවා. ආදරවන්තයන්ගේ දිනයට වෙළෙඳ වටිනාකමක් දෙනවා. මේ ආකාරයට සිවිල් සමාජයට අනවශ්ය බලපෑමක් ජන සමාජයෙන් එල්ල කරනවා. මල්, චොකලට්, ක්ලබ් යෑම ආදිය එදාට වැඩිපුර කතාබහට ලක් වෙනවා. ඉහළ සමාජයේ අය මේවා පරිභෝජනය කරනවා. නමුත් ගම්වල තරුණ ප්රජාව මේවාගේ ගොදුරු බවට පත් වෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික විද්යුත් මාධ්ය තමයි මේවා කරන්නේ. මේ සංකේතාත්මක පරිභෝජන ලෝකයේ ආදරයත් එක් සංකේතයක්. මේ තුළ තරුණයා අතරමං වෙනවා."
මෙයින් සමාජයක් හෝ රටක් යහපත් මාර්ගයකට ප්රවිෂ්ට නොවන්නේ නම් එරටේ නීතිරීති හා රාජ්ය මැදිහත්වීම ද සිදු කළ යුතු අවකාශයක් පවතින බව පෙන්වා දෙමු.
ශ්යාමා සමරසිංහ
No comments:
Post a Comment