Wednesday, 9 February 2022


බාල, තරුණ, වැඩිහිටි සහ මහලු කොයි කවුරුත් කෑමට ප්රිය කරන පලතුරක් ලෙස මිදි හැඳින්විය හැකිය. විටේසි කුලයට අයත් ඉංග්රීසියෙන් Grapes (ග්රේප්ස්) නමින් හැඳින්වෙන මෙම පලතුරෙහි උද්භිද විද්යා නාමය Vitis Uinifera නම් වේ. ශ්රී ලංකාවට මිදි වගාව පෘතුගීසී මිෂනාරිවරුන් විසින් හඳුන්වා දී ඇති අතර අද වන විට යාපනය, පුත්තලම, අනුරාධපුරය, හම්බන්තොට හා මොනරාගල වැනි ප්රදේශවල වගා කරන බව සඳහන් කළ යුතුය. ශ්රී ලංකාවේ වගා කළ හැකි සෙසු සියලු පලතුරුවලට වඩා වැඩි ආර්ථික ප්රතිලාභයක් ලබා දීමට මිදි වගාව සමත් වී ඇත. දේශීයව පවතින අධික ඉල්ලුමත්, වැඩි මිලකට අලෙවි කර ගත හැකි වීම නිසාත් මිදි වගාව අද වන විට වියළි කලාපයේ පලතුරු වගාකරුවන් අතර ක්රම ක්රමයෙන් ජනප්රිය වීමට හේතු වී තිබේ.

නැවුම් පලතුරක් ලෙස ආහාරයට ගැනීම, වයින් නිෂ්පාදනය හා වියළි මිදි නිෂ්පාදනය යන ප්රධාන ප්රයෝජන තුන සඳහා මිදි වගා කරනු ලැබේ.
යාපනයට මිදි වගාව හඳුන්වා දීමේ ප්රමුඛතම පුද්ගලයා වන්නේ, ඉලන්ගෙයි තමිල් අරසු පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වන තුරෙයිරත්නම් මහතාය. වර්තමානයේ යාපනය වව්නියාව වැනි ප්රදේශවල බහුලව මිදි වගාව කර ගෙන යන අතර ශ්රී ලංකාවේ මිදි ප්රභේද කීපයක්ම වගා කරනු දැක ගත හැකිය. ඒ අනුව ඊශ්රායල් බ්ලු, කාඩිනල්, බ්ලැක් මස්කට්, තොම්සන් සීඩ්ල්ස්, සෙමිලෝන්, මස්කට් එම් අයි, වියළි කලාපයේ වඩාත් ජනප්රිය ප්රභේද වේ. ලෝකයේ බහුලව වගා කරනු ලබන මිදි විශේෂය වන්නේ විටිස් විනිෆෙරාය. එය කැස්පියන් හා කළු මුහුද අවට ප්රදේශයෙහි සම්භවය වී ඇතැයි සැලකේ.
මිදි වගා කිරීම
ඉතා ඉහළ ලාභයක් ගත හැකි මිදි වගාව ශ්රී ලංකාවේ ප්රචලිත කිරීම තුළින් මිදි ආනයනය සඳහා වසරකට වැය වන අති විශාල මුදල් ප්රමාණයක් මෙරටට ඉතිරි කර ගත හැකිය. වර්තමානයේ යාපනය දිස්ත්රික්කයේ සාර්ථකව මිදි වගා කරමින් ගොවි මහත්වරුන් ඉහළ ආදායමක් උපයා ගන්නා අතර මිදි අස්වනු අලෙවිය මඟින් උපයා ගන්නා ආදායමට සමාන ආදායමක් මිදි පැළ නිෂ්පාදනයෙන් ද උපයා ගත හැකි බව වාණිජ මිදි වගාකරන්නන්ගේ මතය වී ඇත. මේ සඳහා මිදි වගා කප්පාදුවේ දී ඉවතලන නීරෝගි දඬු කැබලි යොදා ගනු ලබයි. තවද බද්ධ ක්රමය හා අතු බැඳීම යන ක්රම මඟින් ද මිදි පැළ නිපදවා ගත හැකිය. මෙය මිදි වගාවෙන් ලැබෙන අමතර වාසියක් බව සඳහන් කළ යුතුය. මිදි දඬු කැබලි මඟින් ප්රචාරණය කරන අතර බද්ධ කිරීමෙන් ද ප්රචාරණය කළ හැකිය. මිදි වගාව ක්රම තුනකට සිදු කළ හැකිය. එනම් පන්දලම් ක්රමය, වැට ක්රමය හා පඳුරු ක්රමය යනුවෙනි.
ශ්රී ලංකාවේ වැඩි වශයෙන් වගා කරන්නේ පන්දලම් ක්රමයටය. පන්දලම් ක්රමයට වඩා අඩු අස්වැන්නක් වැට ක්රමය හා පඳුරු ක්රමය යන දෙකේ දී ලැබෙන නිසා එම ක්රම භාවිතය ඉතා අඩුය. මිදි වගාව සඳහා යෝග්ය වනුයේ ඉතා හොඳින් ජලය බැස යන සැහැල්ලු ගැඹුරු පසක් සහිත ස්ථානයකි. පසෙහි මැටි ස්වභාවය අධික වීම මිදි වගාවට යොග්ය නොවේ. පසෙහි ගැඹුර මීටර් 1–2 පමණ තිබේ නම් වගාවේ මුල් වර්ධනය ඉතා හොඳාකාරව සිදු වීමට ඉඩ ලැබේ.
පස මතු පිටට ආසන්නව චූර්ණමය නොවන දුඹුරු පස් ඇති ප්රදේශ මෙන්ම අමතර ලවණ අධික පස් හා ජලය පවතින ප්රදේශ ද මිදි වගාව සඳහා යෝග්ය නොවේ. පසෙහි ගැඹුර මීටර් 2–2 1/2 පමණ වූ හොඳින් ජලය බැස යන ජල සම්පාදන පහසුකම් සහිත හා හිරු එළිය හොඳින් ලැබෙන ස්ථාන වීම මිදි වගාව සඳහා වඩාත් යෝග්ය වේ. වගාව සඳහා පසෙහි පී එච් අගය 6.5 – 7.5 පමණ තිබීම සුදුසුය.
පැළ සිටුවීමට පෙර හොඳින් දිරාපත් වූ ගොම, කොළ පොහොර ආදිය යොදා වළවල් පිරවිය යුතුය. කප්පාදු කරනු ලබන සෑම අවස්ථාවකම පසුව වැලෙහි සිට මීටරයක් පමණ දුරකින් සෙන්ටිමීටර් 30 පමණ පළල ප්රදේශයක සෙන්ටිමීටර් 20–25 පමණ ගැඹුරට පස් ඉවත් කළ යුතුය. පසුව කාබනික හා රසායනික පොහොර යොදා පස්වලින් වැසිය යුතුය. මෙලෙස පස් ඉවත් කිරීමෙන් මතුපිට ප්රදේශයේ ඇති මුල් කැපී කිරි මුල් හට ගනියි. එවිට පොහොර වැඩි ප්රමාණයක් භෝගයට උරා ගැනීමට ඉඩ සැලසේ.
දඬු කැබලි සිටුවීමේ දී පහළ කැපුම් පෘෂ්ඨයේ කුඩා කිර මුල් හටගෙන ඇති සහ දණ්ඩේ ඉහළ කෙළවර මෝදුවීමට ආසන්න වී ඇති දඬු කැබලි පමණක් බඳුන් ගත කිරීමට තෝරා ගත යුතුය. තෝරා ගත් දඬු කැබැල්ල කිරි මුල් නොකැඩෙන පරිදි බඳුනේ හරි මැදින් බඳුන් මාධ්ය මත ප්රවේශමෙන් තැන්පත් කළ යුතුය.
පැළය සිට වූ බඳුනට දිලීර නාශක යෙදීම ද සිදු කළ යුතුය. දඬු කැබලි මෙලෙස බඳුන්වල සිටුවා සති 2–3 ගත වූ පසු අංකුර වැඩීම ආරම්භ වේ. මෙසේ ඇති වූ පැළ මාස 3–4 පමණ කාලයක දී ක්ෂේත්රයේ සිටුවිය හැකිය.
සාමාන්යයෙන් මිදි පැළ සිටුවීමට වඩාත් යෝග්ය කාලය වන්නේ, පෙබරවාරි සිට මාර්තු දක්වාත්, ජූනි සිට අගෝස්තු දක්වාත් වැසි රහිත කාලයන්ය. පන්දලම් ක්රමයට වගා කිරීමේ දී පැළ අතර මීටර් 7.6 ද, පේළි අතර මීටර් 3.6 ද පරතරයක් ලබා දෙයි. වළවල් සැකසීමේ දී අඩි 3 වළක් සෑහේ. වළකට කාබනික පොහොර මූලික වශයෙන් සැපයිය යුතු අතර කප්පාදුවෙන් පසුව සෑම විටම හොඳින් කාබනික පොහොර සපයා දීම වැදගත් වේ.
මිදි වැල කප්පාදු කිරීම
මිදි වැලක් සිටුවා මාස 18කට පසුව පළමු කප්පාදුව කළ හැකිය. එතෙක් වැල පුහුණු කර පන්දලම මත වැවෙන්නට ඉඩහැරිය යුතුය. අනවශ්ය හා රෝගි කොටස් ඉවත් කිරීමට ද, වැඩීම පාලනය කර වැල්වල හැඩය ආරක්ෂා කර ගැනීමට ද හා මල් අංකුර උත්තේජනය කර එමඟින් වැඩි අස්වැන්නක් ගැනීම වැනි කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මිදි වැලක් කප්පාදු කළ යුතුය. කප්පාදුවෙන් පසු කාලය මාස 3–3 1/2ක් පමණ වියළි කාලයක් පැවතීම හොඳ අස්වැන්නක් ගැනීමට වැදගත් වෙයි. මේ නිසා වසරකට දෙවතාවක් කප්පාදු කළ හැකි අතර, දෙසැම්බර් සහ ජනවාරි මාස දෙකේ දී එක වරක් ද, මැයි සහ ජුනි මාස වලදී තව වරක් ද කප්පාදු කළ හැකිය. කප්පාදුව සඳහා අක්රියව ඇති වැලක් තෝරා ගත් පසු පැළ පාමුල සිට මීටරයක් දුරින් අඩියක් පළල අඟල් 8ක් පමණ ගැඹුර කානුවක් කපා එහිදී පැන්සලක් පමණ මුල් ඉතිරි කර කුඩා මුල් කපා දැමිය යුතුය. එතැන් සිට දින 5–7 ට පසු වැල කප්පාදු කරන අතර එහි දී වැලේ ඇති සියලු කොළ පාට කොටස් ඉවත් කරන අතර පාර්වික අතුවල ගැට 3–6 ප්රමාණයක් ඉතිරි කර අනෙක් සියල්ල ඉවත් කළ යුතුය.
කප්පාදු කර දින 5–7 කින් අංකුර සක්රිය වේ. එවිට කපා ඇති කානුව පිරෙන සේ කාබනික පොහොර හා නිර්දේශිත පොහොර ප්රමාණය එකතු කර කානුව වසා හොඳින් ජලය සැපයීම කළ යුතු වෙයි. ඉන් පසු අස්වනු නෙළීමට දින10කට පමණ පෙර ජලය සැපයීම නැවැත්විය යුතුය. මෙසේ කිරීමෙන් මිදි ගෙඩිවල පැණි රසය වැඩි කර ගැනීමට උපකාරී වේ. වැල් කප්පාදු කිරීමෙන් පසු මල් සහිත නව රිකිලි හට ගන්නා අතර, එක් පාර්වික අත්තක මල් කිනිති 3–5 අතර ප්රමාණයක් හට ගත හැකියි. වසර 3 ඉක්ම වූ වැලකින් වරකට කිලෝග්රෑම් 25ක් ඉක්මවා අස්වැන්න ගත හැකිය. වසර 30 ක පමණ කාලයක් වගාවෙන් අස්වැන්න ගත හැකිය.
මිදි වගාවේ රෝග
මිදි වගාවේ බහුලව දැකිය හැකි රෝග ලෙස පුස් රෝග සඳහන් කළ හැකිය. ඒ අතර යටි පුස් රෝගය සහ පිටිපුස් රෝගය බහුලව පවතියි. මේ සඳහා නිර්දේශිත දිලීර නාශක භාවිතය වැදගත් වෙයි. මීට අමතරව කෘමි හානි කීපයක් ද දැකිය හැකිය. හානිය දරුණු නම් නිර්දේශිත කෘමි නාශක භාවිත කිරීම සුදුසු වෙයි. මිදි පැළෑටි නීරෝගිව තබා ගැනීම සඳහා පළිබෝධකයන්ගෙන් ආරක්ෂා වීම වැදගත්ය. මිදි සලබයා, මැක්කන් හෝ තුනී කිනිතුල්ලන් වැනි කෘමීන් විසින් තරුණ රිකිලිවලට බොහෝ විට පහර දෙනු ඇත. මෙම පළිබෝධකයන් පාලනය කිරීම සඳහා රසායනික ද්රව්ය භාවිත කළ හැකිය. බොහෝ විට ක්ලෝරෝෆොස් මේ සඳහා භාවිත කෙරේ. ඒ වෙනුවට සබන් ද්රාවණයකින් පැළෑටිවලට ප්රතිකාර කිරීම ද කළ හැකිය. උදෑසන හෝ සවස ඒවා තරුණ රිකිලිවලට ඉසීම වැදගත් වේ. පළිබෝධකයන්ට අමතරව දිලීර රෝග තරුණ මිදි සඳහා ද භයානක ය.

එම්. තාරික්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...